මේ විදියට අත පය හිරි වැටෙනවානම් නුදුරේදී ඔබට හැදෙන රෝග 5 ක්

health tips

හිරිවැටීම කියන දේ ඔබ අපි හැමෝම අත්විද තියෙන තත්ත්වයක්. එකම ඉරියව්වක වැඩි වේලාවක් සිටීම නිසා සාමාන්‍යයෙන් අපේ අත් පා ඇගිලි ආදිය හිරිවැටීමට ලක් වෙනවා. නින්දේදී අත් මත හිස තබා සිටීම, දිගු වෙලාවක් වාඩී වී සිටීමෙන් හෝ දුරකථනය අල්ලාගෙන සිටීමෙන් ආදී වශයෙන් හිරිවැටීම් ඇති වෙනවා. එවිට ඒ තෙරපී ඇති ප්‍රදේශයට ලැබෙන රුධිර සැපයුම අඩාල වීමෙන් හිරිවැටීමක් ඇතිවෙලා කෙටි වේලාවක් තුළ එය නැතිව යනවා. නමුත් හිරිවැටීම කියන තත්ත්වය අසාමාන්‍ය වෙන්නට හැකි අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් අපි සාමාන්‍ය තත්ත්වයක් ලෙසට සලකා නොසලකා හැරියොත් එය බරපතල සෞඛ්‍ය ගැටළුවක් දක්වා වර්ධනය වනතුරු අපිට හඳුනා ගන්නට අපහසු වෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ආකාරයට අපි අත්විදින අත් පා හිරිවැටීමක් සාමාන්‍ය තත්ත්වයක්  නිසා ඇතිවන්නක්  ද යන්න හඳුනා  ගන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව. මොකද මෙවැනි ලක්ෂණ විවිධ රෝගාබාධවල රෝග ලක්ෂණ ලෙස මතු වන්නට ඉඩකඩ පවතින නිසා.

නොසලකා හැරිය යුතු  නොවන  හිරිවැටීමක් හඳුනා ගත හැකි ලක්ෂණ 

සාමාන්‍ය හිරිවැටීමක් සහිතව යම් යම් වෙනස්කම් හෝ ලක්ෂණ ඔබ අත්විදින්නේ නම් එය සාමාන්‍ය හිරිවැටීමක් නොවෙන්නට පවතින ඉඩකඩ බොහොමයි. ඒ නිසා එවැනි ලක්ෂණ මොනවද යන්න දැන සිටීම ඔබට ඉතා වැදගත් වේවි.

  • හිරිවැටීමත් සමඟ මුහුණේ  ස්වභාවය වෙනස්වීම මෙහිදී විශේෂයෙන්ම මුඛයේ හැඩය වෙනස්වී මුඛයේ ඇදවීමක් වගේ තත්ත්වයකට ඔබ පත් වන්නේ නම් එය  නොසලකා හරින්නට එපා.
  • හිරිවැටීම සමඟ  කතා කරන්නට අපහසුවීම 
  • හිරිවැටීම සමඟ කෙටි හුස්ම ගැනීම 
  • හිරිවැටීමත් සමඟ හිසේ කැක්කුමක් ඇතිවීම මේ ලක්ෂණ බොහෝවිට ආඝාතය ආදී දරුණු රෝග තත්ත්වයක් හේතුවෙන් ඇතිවන ලක්ෂණ වන්නට ඉඩකඩ පවතිනවා. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට මොළය ආශ්‍රිත පිළිකාවක් වර්ධනය වීමකදී වුණත් හිරිවැටීම සමඟ මෙවැනි ලක්ෂණ අත්විදින්නට ඔබට සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී ඔබ හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. මොකද විශේෂයෙන්ම ආඝාතය ආදී රෝගයකදී රෝගීයාව ප්‍රතිකාර සඳහා යොමු කිරීම ප්‍රමාද වීම මොළයට හානි ඇති කරන්නටත් එය නැවත යථා තත්ත්වයට පත් කල නොහැකි  හානියක් දක්වා වුණත් ගමන් කරන්නට ඉඩකඩ ඇති නිසා. 
  • අතේ ඇඟිලි හිරිවැටීමත් සමඟ වේදනාවක් ඇතිවීම මේ තත්ත්වය බොහෝවිට ඇති වෙන්නේ එකම ඉරියව්වකින් වැඩි වේලාවක් යම් කාර්යයක නිරතවීම නිසා. වැඩිවේලාවක් පරිගණයේ වැඩකටයුතු සිදු කිරීම සහ එහිදී යතුරු පුවරුව සහ මවුසය දිගු වේලාවක් භාවිතා කිරීම නිසා මාංශපේශීවලට හානි සිදුවීම හා ස්නායුවලට බලපෑම් ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ හිරිවැටීම සහ වේදනාව ඇතිවෙනවා. යතු වැඩ කිරීම, ලිවීම ආදී සියුම් අත්වැඩ, මෝටර් සයිකල් පදවාගෙන යාම, බසයේ එල්ලීයාම ආදිය නිසාත් මේ හිරිවැටීම් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. වැඩවලදි අත්වලට විවේකය ලබාදීමෙන් හෝ අයිස් තැබීමෙන් මෙය සමනය කරගන්නට හැකිවුණත් දරුණු වුණොත් මේ සඳහා ශල්‍ය  කර්මයක් පවා කරන්නට සිදු වෙනවා.ඒ හැරුණාම විටමින් B 12 ඌණතාවය ආදී පෝෂණ ඌණතා හේතුවෙන් පවා මේ හිරිවැටීම සහ වේදනාව ඇති වෙන්නට පුළුවන්. මේ තත්ත්වය කාපල් ටනල් සින්ඩ්රෝමය ලෙසයි හඳුන්වනු ලබන්නේ. මෙය කාන්තාවන් අතර සුලභ වුණත් පිරිමි පාර්ශවයටත් ඇතිවෙන අවස්ථා පවතිනවා.
  • පාදයේ ඉදිකටුවලින් අනින ස්වභාවය ඇතිවීම සහ පුළුන් මත ඇවිදින ස්වභාවය දැනීම  මේ තත්ත්වය බොහෝදුරට ඇතිවෙන්නේ රුධිරයේ සීනි මට්ටම වැඩිවීමෙන් ස්නායුවලට සිදුවන හානිය හේතුකර ගෙනයි. රුධිරයේ සීනි අධි සාන්ද්‍රනය නිසා පාදවල ඇති ස්නායු පෙගි පෙගී තිබෙන විට ඒ ස්නායුවල අගිස්ස පහසුවෙන් දුර්වල වෙනවා. මේ තත්වය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම ඉතා අසීරු නිසා දියවැඩියා තත්ත්වය නිසිපරිදි පාලනය කිරීම වැදගත් වෙනවා.
  • හිරිවැටීම සමඟ අතපය චලනය කළ නොහැකි වීම මේ ලක්ෂණය බොහෝවිට තයිරොයිඩ් ග්‍රන්ථියේ ආසාදන නිසාවෙන් ඇති වන්නට පුළුවන්. හෝර්මෝන නිපදවීමේ අඩුපාඩු සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ දුර්වලතා නිසා  ස්නායුක සංවේදනය අඩපණ වීමේ ඉඩකඩක් තියෙනවා.මේ සඳහා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය සඳහා ඖෂධ ලබා ගැනීම ඉතා සුදුසුයි.

හිරිවැටීම් ඇති වෙන්නට බලපාන හේතු 

  • වැරදි ඉරියව්වලින් බර එසවීම කොඳු ඇට පෙල එකමත එක පිහිටි තැටි එහා මෙහාවීමෙන් ෂුෂුම්නාව තෙරපීමකට ලක්වීමෙන් අදාල ස්ථානයේ ඇති ස්නායු අවහිරවීමෙන් හිරිවැටීම් ඇතිවෙන්නට පුළුවන්.  එය ඇතැම්විට ෂුශුම්නාවෙන් පහළ කොටස්වල විවිධ ආබාධ ඇති කරන්නත් හේතුවක් වෙනවා.
  • ඒකාකාරීව දිගු වේලාවක් වැඩකටයුතුවල නිරත වීම 
  • දියවැඩියාව 
  • වයසට යාමත් සමඟ ඇතිවන කොඳුඇට පෙලේ කශේරුකා හා අස්ථිවල සිදුවන වෙනස්කම් 
  • මත්පැන් භාවිතය 
  • නහර ගැට ගැසීම 
  • කාටිලේජ ගෙවීයාම
  • කශේරුකා එකිනෙකට ලිස්සා යාම
  • තදබල පහරක් වැදීම හෝ අනතුරකට බඳුන් වීම 
  • අධික ලෙස වෙහෙස වී වැඩ කරීම අධික ලෙස ව්‍යායාම් කිරීම නිසා අයන සමතුලිතාවය බිඳවැටීම (සෝඩියම් හා කැල්සියම් )
  • දේහයේ ඇති තුවාල 
  • තයිරොයිඩ් ආසාදන 

විවිධ  හේතු නිසා අපේ දේහයේ හිරිවැටීම් ඇති වන්නට පුළුවන්. නමුත් ඒවා සෑම එකක්ම සාමාන්‍ය හිරිවැටීමක් ලෙස නොසලකා හරින්නට එපා. හිරිවැටීම බොහෝවේලාවක් ගතවනතුරු යථා තත්ත්වයට පත් නොවීම සහ හිරිවැටීම සමඟ ඉහත සඳහන් කළ යම්  වෙනස්කම් ඇත්නම් ඒ සඳහා වහාම වෛද්‍ය  ප්‍රතිකර ලබා ගන්නට කටයුතු කරන්න.