ආතරයිටීස් සුව කරන සේපාලිකා මල් සත්කාරය

health tips

සේපාලිකා පිළිබඳ විමසා බැලීමේදී එකවරම සිහියට නැගෙන්නේ එහි හට ගන්නා පුෂ්පවේ. එනම් මල් වර්ග අතර  වඩාත් සුවදවත් අලංකාරවත් මල් වර්ගයක් ලෙස සේපාලිකා ප්‍රචලිත වේ.  බහුවාර්ෂික ශාක විශේෂයන් අතුරින් මීටර් 10ක් පමණ උසට වැඩෙන සේපාලිකා පදුරු ආකාරයට ද වැඩෙන ශාකයකි. මෙහි පත්‍ර සරල සම්මුඛව පිහිටන අතර තරමක රලු ස්වභාවයක් ගනී. මෙහි විශේෂය වන්නේ රාත්‍රී කාලයේදී සේපාලිකා මල් පිපී පවතින අතර උදෑසනට එම මල් බිම වැටීමයි. එනම් Nyctanthaceae උද්භිද කුලයට සේපාලිකා ශාකය අයත් වේ. 

ගෙවතු අලංකාරය සදහා සේපාලිකා ශාකය වගා කරන අතර  ඖෂධයක් ලෙස ද භාවිතයට ගනී. එනම් සමේ රෝග, වා පිත් සෙම් කිපීම්, පණු රෝග, උණ, ආමාශගත රෝග, ස්වසන රෝග, මාංශ පේශීන් ලිහිල් කිරීමට, හිසකෙස් ආශ්‍රිත ගැටලු සඳහා ආදී වශයෙන් ශරීරය හටගන්නා ලෙඩ රෝග රැසකට සේපාලිකා යොදා ගනී. 

ඖෂධයක් ලෙස සේපාලිකා ශාකයේ මුල්, පොතු, කොල, මල් ආදී වශයෙන් සෑම කොටසක්ම පාහේ යොදා ගනියි. ඒ අනුව සේපාලිකා වල ඖෂධීය භාවිතයන් පහත පරිදි පෙන්වා දිය හැකිය. 

හිසකෙස් ආශිත ගැටලු සඳහා ගුණදායක වේ. හිසෙහි ඇතිවන හිස්සොරි, අධික වියළි බව නිසා ඇති වන කොරල ගතිය, අකලට හිසකෙස් වැටීම ආදී හිසකෙස් ආශ්‍රිත ගැටලු සුවපත් කර ගැනීම සඳහා සේපාලිකා ඇට අඹරා හිසෙහි ආලේප කිරීම වඩාත් යෝග්‍ය වේ. මෙම ක්‍රියාවලිය අවසානයේ දී හිසකෙස් ආශ්‍රිත ගැටළු සුවපත් වී හිසකෙස් වර්ධනය වීම සිදුවේ. 

සෙම බුරුල් කරයි. සෙම් කෝප වීම් සඳහා සේපාලිකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. ඒ අනුව සෙම බුරුල් කිරීම සඳහා  සේපාලිකා ඇට චූර්ණය මන්චාඩි දෙකක් පමණ ගෙන බුලත් කොලේ යුෂයෙන් බීමෙන් සුවපත් කරගත හැකිය. එමෙන්ම ඇදුම තත්වය හා ක්ෂය රෝගය ද මෙම සේපාලිකා ඖෂධය මඟින් සුවපත කරයි. 

සමේ රෝග සුව කරයි. චර්ම රෝග සුවපත් කිරීම විෂයෙහි සේපාලිකා වඩාත් ගුණදායක වේ. එහිදී සේපාලිකා පොතු චූර්ණය ට දෙහි ඇඹුල් මුසුකර සමේ රෝග පවතින ස්ථානයන්හි බාහිරින් ආලේප කිරීම වඩාත් යෝග්‍ය වේ. 

පණු රෝග සුව කරයි. විශේෂයෙන් කුඩා දරුවන්ට වැළඳෙන පණු රෝග තත්ත්වයන් සඳහා ගැටලුවකින් තොරව ලබා දිය හැකි විරේචනයක් ලෙස සේපාලිකා පෙන්වා දිය හැකිය. මේ සඳහා සේපාලිකා කොළ යුෂ වලට මී පැණි හා ලුණු මිශ්‍රකර පානය කිරීම යෝග්‍ය වේ. මෙමගින් කිරි පණු රෝගය සහ වටපණු රෝගය සුවකර ගත හැකිය. 

සර්ප විෂ නසයි. සර්ප දෂ්ඨනයේදී සිදුවන විෂ ශරීරගත වීම සුව කරගත හැකි ඔසුවක් ලෙස සේපාලිකා පෙන්වාදිය හැකිය. මේ සඳහා සේපාලිකා පොතු චූර්ණය අරත්ත අල යුෂ සමඟ මිශ්‍රකර සර්ප විෂ ශරීරගත වූ පුද්ගලයින්ට ලබාදීම තුළින් එම විෂ නසා ගත හැකිය. 

ආතරයිටීස් සුව කරයි. ආමවාතය හෙවත් ආතරයිටිස් රෝගය නිසා ඇති වන සන්ධි වේදනාවන් සඳහා සේපාලිකා කොළ කොටා ඒවායින් වේදනා ඇති ස්ථානයේ පැලැස්තර යෙදීම මගින් සහ සේපාලිකා කොළ යුෂ මිලි ලීටර් හැටක් පමණ දිනකට පානය කිරීම මේ සඳහා වඩාත් යෝග්‍ය වේ. 

ක්ෂුද්‍ර ‍ජීවීන් නාශනය කරයි මේ අනුව බැක්ටීරියා හා දිලීර යන ක්ශුද්‍ර ජීවීන් ශරීරයෙන් විනාශ කිරීමේ හැකියාව සේපාලිකා කොළ වලට පවතී. විශේෂයෙන් මෙහිදී සේපාලිකා කොළ තැම්බූ ජලයෙන් ඇඟ සේදීම ස්නානය කිරීම පවා වඩාත් යෝග්‍ය වේ. 

වියළි කැස්ස සුව කරයි. සේපාලිකා කොළ ගෙන පල්පයක් වන ආකාරයට සියුම්ව අඹරා ඊට මීපැණි මිශ්‍රකර ආහාරයට ගැනීමෙන් කල් පවතින වියලි කැස්ස ඉතා ඉක්මනින් සුවපත් කරගත හැකිය. 

අධි රුධිර පීඩනය සඳහා ගුණදායක වේ. මේ සඳහා සේපාලිකා කසාය වඩාත් යෝග්‍ය වේ. එනම් මේ සඳහා සේපාලිකා කොළ හය හතක් ගෙන වතුර මිලි ලීටර් 200 ක ට දමා  එය මීටර් සීයක් වන තෙක් සිදුවා ඊට ගම්මිරිස් කුඩු ස්වල්පයක් හා දෙහි ඇඹුල් බින්දු කිහිපයක් මිශ්‍රකර දිනකට දෙතුන් වතාවක් පානය කිරීම මගින් අධි රුධිර පීඩනය පාලනය කරගත හැකිය. සේපාලිකා කොළ තම්බා ගත් ජලය ශරීරයේ ඇතිවන ලෙඩ රෝග රැසකට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. ඒ අනුව 

  • මුත්‍ර පිටවීම පහසු කිරීමට 
  • ආහාර අරුචිය නැති කිරීමට 
  • අක්මා රෝග සඳහා
  • අර්ශස් රෝගය සදහා
  • ශරීරයේ පිත නිපදවීම සඳහා 
  • දීර්ඝකාලීන පවත්නා උණ රෝගය සඳහා යන රෝග තත්ත්වයන් සදහා සේපාලිකා කොළ තැම්බූ ජලය වඩාත් යෝග්‍ය වේ. 

සේපාලිකා වල ඖෂධීය භාවිතයන්ට අමතරව තවත් ප්‍රයෝජන රැසක් පවතී. විශේෂයෙන් මෙහි පවතින සුවඳ ගුණය නිසා සගන්ධ තෙල් නිෂ්පාදනය සඳහාද සේපාලිකා  යොදා ගනී. ඊට අමතරව සිවුරු පඬු ගැන්වීම සඳහා, සුවඳ විලවුන් වර්ග නිෂ්පාදනය සඳහා, කෘමිනාශක නිෂ්පාදනය සඳහා ආදී වශයෙන් බහු ප්‍රයෝජන රැසක් අත්කර දෙන ශාක විශේෂයක් ලෙස සේපාලිකා ශාකය පෙන්වා දිය හැකිය.