ඉක්මණින් බර අඩු කරන ඕට්ස් කැඳ සතු ගුණ 12 ක්

health tips

ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්නට නම් දිනපතාම වගේ අපේ ආහාර අතරට ධාන්‍ය වර්ග එකතු කරගත යුතු බව ඔබ දන්නවා. ඉතින් ඕට්ස් කියන්නේ ලෙඩරෝග බොහොමයකටම ගුණදායක සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහොමයක්ම අත්කර ගන්නට හැකි ධාන්‍ය වර්ගයක්.මේ ඕට්ස් සතු උසස් පෝෂණ ගුණය නිසාම සෞඛ්‍යයමය ආහාර නිෂ්පාදනයේදීත් බහුලව යොදා ගැනෙනවා. ඉතින් අද අප ගෙවන කාර්යබහුල ජීවන රටාවත් සමඟ උදෑසන ආහාරය ගැන එතරම් සිතන්නට කාලයක් නැහැ. ක්ෂණික කෑමක් ගෙන කුසට දාගෙන දවසේ වැඩ කටයුතු ආරම්භ කරන බොහෝදෙනෙක්ට වගේම කිරි පිටි නැතුව දවස ආරම්භ කරන්නට නොහැකි බොහෝදෙනෙක්ටත් ගුණාත්මක බවින් යුක්ත හොඳම උදෑසන ආහාරයක් මේ ඕට්ස් ධාන්‍ය වර්ගයෙන් සකස් කර ගන්නට හැකියාව තියෙනවා. අද අපි බොහෝදෙනෙක් ලෙඩ ඇති කර ගන්නේ කට පරෙස්සම් කර ගන්නේ නැති නිසා. ඔන්න මේ ගැටළු බොහොමයකටම හොඳම විසඳුම තමයි ඕට්ස් කැඳ කියන්නේ. ඉතින් අපි කතා කරමු මේ ඕට්ස්වලින් අපේ දේහයට කොතරම් වාසි ලැබෙනවාද කියලා.

ඕට්ස්වල ඔමේගා 3 මේද අම්ල බහුලව අඩංගු වෙනවා. ඒ වගේම එහි මැග්නීසියම්, පොටෑසියම්, නිකොටීන් අම්ලය, කැල්සියම් වගේම තන්තු අන්තර්ගත වෙනවා. ඕට්ස්වල සීනි ඉතා අවම ප්‍රමාණයකින් අන්තර්ගත වීමත් නිසා ඉතාම විශීෂ්ට ආහාරයක් විදියටත් බොහෝ ලෙඩවලට දිව ඔසුවක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. ඕට්ස් ධාන්‍ය වර්ගය සුප් එකක් ලෙස කැඳ ලෙස කිරි පානයක් ලෙස ආදී ආකාර බොහොමයකට ඉතා රසවත්ව වගේම ගුණවත්ව සකස් කරගන්නට පුළුවන්. ඉතින් අද අපි කතා කරන ඕට්ස් කැඳ මුළු ලෝකයේම ජනප්‍රියම උදෑසන ආහාරය බවට පත් වෙලා. ඉතින් ඕට්ස් කුමන රෙසිපියකට සකසා ගත්තත් එය සුපිරිම ආහාරයක් බව අවිවාදයෙන්ම පිළිගත හැකි කාරණයක්.

ඕට්ස් කැඳ සකස් කරගත හැකි ආකාරය 

අවශ්‍ය ද්‍රව්‍ය  

  • මේදය රහිත දියර කිරි කෝප්ප 1 
  •  ඕට්ස් කෝප්ප 1 
  • පිරිසිදු මී පැණි තේ හැදි 2 
  • කුඩා කැබලිවලට කපාගත් කෙසෙල් ගෙඩි 1 ක් 
  • කුරුඳු කුඩු තේ හැදි ¼ ක් 

සාදා ගන්නා ආකාරය මුලින්ම කිරි ටික හොඳින් උණු  කරගෙන පිරිසිදු බෝල් එකකට දමන්න. එයට කපාගත් කෙසෙල් ගෙඩි, මී පැණි සහ කුරුඳු කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එය වසා මිනිත්තු 10 ක් පමණ තබා තලපයක් වූ පසුව උදෑසන ආහාරය සඳහා ලබා ගන්න. මේ ඕට්ස් කැඳ සඳහා මී පැණි වෙනුවට සීනි එකතු කරන්න එපා. එය මෙහි පෝෂණ ගුණය අඩු කරන්නට එය හේතුවෙන නිසා.

  • මේ ඕට්ස් කැඳ ගැනීමට පෙර හෝ පසුව කිරිපිටි පානය නොකරන්න. 
  • ඕට්ස් කැඳ පානයෙන් පැයක් ගත වීමට පෙර ජලය පානය නොකරන්න.
  • මේ ඕට්ස් දහවල් සහ රාත්‍රී ආහාරය සඳහා නොගෙන උදෑසන ආහාරය සඳහා ගන්නට වගබලා ගන්න. 

ඕට්ස් ආහාරයට ගැනිමෙන් දේහයට ලැබෙන ප්‍රතිලාභ

  • බඩවැල්වලට හිතකරයි. ඕට්ස්  සතුව ඇති අධික තන්තුමය ස්වභාවය බඩවැල් පිරිසිදුව තබා ගන්නටත් බඩවැල් නීරෝගීව තබා ගන්නටත් උපකාරී වෙනවා. ඒ වගේම බඩවැල්වල පිළිකා ඇතිවීම වැළැක්වීමේ අපූරු හැකියාවක් ද ඕට්ස් සතුයි.
  • සිරුරේ බර අඩු කරගන්නට උපකාරී වෙයි. වැඩි බර අඩුකර ගන්නට හොඳම ආහාරයක් වන ඕට්ස් දැඩි කුසගින්න අඩු කරනවා. ජීර්ණය වීම සඳහා වැඩි වේලාවක්  ගත වන නිසා ඉක්මනින් කුසගිනි ඇතිවන්නේ නැහැ. ඒ වගේම වැඩි ආහාර ප්‍රමාණයක් ගන්නත් බැහැ. එය බර පාලනයට බෙහෙවින් උදව් වෙනවා.
  • සිරුරේ ඇති නරක කොලෙස්ටරෝල් අඩු කරයි. LDL හෙවත් නරක කොලෙස්ටරෝල් අඩු කරන්නටත් HDL යන හොඳ කොලෙස්ටරොල්ල් වැඩි කරන්නටත් ඕට්ස්වලට හැකි නිසා හදවත් සෞඛ්‍යයටත් එය බෙහෙවින්ම  ගුණදායි වෙනවා. මෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් රුධිර නාලවල බිත්තිවලට සිදුවන හානි වළක්වමින් හදවත රැකදෙනවා.
  • හොඳ සමක් හිමිකර දෙයි. ඕට්ස්වල අඩංගු විටමින් වර්ග සින්ක් ආදිය අපේ සම දද, කුෂ්ඨ ආදියෙන් ආරක්ෂා කර සම පිරිසිදු කරනු ලබනවා. විෂ ද්‍රව්‍ය වගේම සමට හානිකර සංයෝගත් ඉවත් කර සමේ තෙතමනය ආරක්ෂා  කරන්නටත් උපකාර කරනවා. මෙහි අඩංගු මැංගනීස් සමේ ඉදිමුම්, දැවිලි හෝ පිලිස්සුණු  ස්ථාන යථා තත්ත්වයට පත්කර සමේ සෛල අලුත් කරනු ලබනවා.
  • මල බද්ධය සමනය කර මල හොඳින් පිට කරන්නට උපකාරී වෙයි.තන්තු බහුල නිසා ඕට්ස් ආහාරයට ගැනීමෙන්  ප්‍රමාණවත් තරම් මල ප්‍රමාණයක් ශරීරයෙන් පිට කරන්නට හැකියාව ලැබෙනවා. බඩවැල් අතරින් ගමන්  කරද්දි  ඕටස්වල ඇති තන්තු ඉතිරව ඇති නොදිරවූ ආහාරත් එකතු කරගෙන යනු ලබනවා. 
  • ප්‍රතිශක්තිය ඉහළ නංවයි.
  • රුධිර පීඩනය අඩු කරයි.  
  • රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරයි. 
  • අස්ථි පද්ධතිය ශක්තිමත් කර පටක වර්ධනය කරයි. 
  • රුධිරයේ හිමොග්ලොබින් වර්ධනයට දායක වෙයි. 
  • බඩ පිපිම නැති කරයි . 
  • ශරීරයේ නිපදවෙන එන්සයිමවල නිසි ක්‍රියාකාරිත්වය ඇති කරන්නට උපකාරි වෙයි. 

ඉතින් ඕට්ස් කැඳ උදෑසන ආහාරයට ඉතාම සුදුසු වගේම ඕට්ස් දිනපතාම ආහාරයට එකතු කරගැනීම වගේම ඕට්ස්  අඩංගු පාන හෝ කෙටි ආහාර ගැනීමත් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න මහඟු උපකාරයක් වෙනවා.