පුංචි බබාලා ඉන්න අම්මලාට නිතරම මුහුණ දෙන්න වෙන භයානක අත්දැකීමක් තමයි දරුවාව නිතර වැටීම නිසා හිසේ ගෙඩි ගැසීම් වගේ තත්ත්වයන් ඇති වෙන එක. කොතරම් පරිස්සමට බලා ගත්තත් මේ වගේ අනතුරු දරුවන්ට නිතර සිද්ධ වෙනවා. මේ වගේ අවස්ථාවලදී අම්මලා බොහෝ වෙලාවට දැඩි ලෙස බය වෙනවා. නමුත් මේ පිළිබඳව හරි අවධානයක් ඔබ තුළ තිබුනොත් එයින් දරුවාට වන හානිය අඩුකර ගන්නට පුළුවන්. ඒ නිසා අපි අද කතා කරමු මේ වගේ අනතුරක් වෙලා දරුවාගේ හිස ගෙඩි ගැසීමට ලක්වුණොත් අම්මා කෙනෙක් විදියට ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා පිළිබඳව.
සාමාන්‍යයෙන් හිස වටා තියෙන හිස්කබල වටා පවතින සම සාමාන්‍ය සමට වඩා බොහෝ රුධිර නාලවලින් සමන්විත වෙනවා. ඒ නිසා සුළු අනතුරකින් පවා ඒ රුධිර නාල පුපුරා ලේ ගැලීමක් සිද්ධ වෙන්නට පුළුවන්. මේ නිසා ගෙඩි ඇතිවෙනවා. ලේ ගැලීම නතර වුණාට පස්සෙ ගෙඩියක් ආකාරයේ ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ. වේදනාවක් සහිතව අතට අහුවෙන ගෙඩියක් බවට පත්වෙන මේවායේ විශාලත්වයෙන් සිදුවුණු අනතුරේ දරුණු බව හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා.
මුහුණ ඉදිරිපස, නළලේ ඇතිවන ගෙඩි තරමක් දරුණු බවින් අඩුයි. නමුත් කන දෙපස කනට ඉහළින් සහ පිටුපස ඇති වන ගෙඩි ගැසීම ටිකක් දරුණුයි. ඉතින් ඒ නිසා ඔබ මේ පිළිබඳව හොඳ අවධානයකින් යුක්ත වෙන එක දරුවාට සිදුවන අනතුරේ බරපතළ බව අවම කර ගන්නට උපකාරී වෙනවා.
වැඩිහිටියන්ගේ හිස වගේ නෙමෙයි කුඩා දරුවන්ගේ හිසේ තියෙන අස්ථි මෘදු සහ ප්‍රත්‍යස්ථභාවයකින් යුක්තයි. අපේ හිස තදින් යමක ගැටුණොත් පැලීමකට ලක් වෙන්න පුලුවන්. අස්ථිවලට හානි වෙන්නටත් පුළුවන්. නමුත් දරුවෙකුට මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ හරිම කලාතුරකින්. මොකද දරුවන්ගේ අස්ථි නිසි පරිදි අස්ථිභවනය වෙලා නැති නිසා. එය දරුවාගේ මොළය අනතුරුවලින් ආරක්ෂා කරනවා.මේ වගේ අනතුරකදී දරුවන්ගේ අස්ථි සුළු වශයෙන් නැමීමකට ලක්වීම නිසා ලොකු අනතුරක්ක් සිද්ධ වෙන්නේ නැහැ .
මේ නිසා මෙවැනි අනතුරකදී බොහෝ සෙයින් බය වෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒ වගේ අවස්ථාවකදී ඔබ මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න.

- දරුවාව සන්සුන් කරගන්න. වැඩිහිටි ඔබත් සන්සුන් වෙන්න.
- කිසිම අවස්ථාවක ගෙඩි ගැසී ඇති ස්ථානය අතුල්ලන්නට එපා. එවැනි අවස්ථාවක අභ්‍යන්තර රුධිර ගැලීමක් තිබුනොත් එය වඩාත් තීව්‍ර වෙන්නට මෙය හේතුවක් වෙන්නට. පුළුවන්.
- අයිස් වතුරෙන් තවන්න. මෙවැනි අනතුරකදී කළ හැකි හොඳම පිළියම තමයි අයිස් වතුර ස්වල්පයක් පිරිසිදු රෙදි කැබැල්ලකින් පොඟවා ගෙන ඉතාමත් මෘදු ලෙස ගෙඩි ගැසී ඇති ස්ථානය තැවීම. මෙය විනාඩි 10 ක් පමණ කාලයක් සිදු කිරීමෙන් දරුවාට දැනෙන වේදනාවත් අඩුවෙලා යනවා. ඒ වගේම යම් විටෙක අභ්‍යන්තර රුධිර ගැලීමක් කියනවා නම් ඒ තත්ත්වයත් නතර වෙලා බාහිර ඉදිමුමත් අඩුවෙලා යනවා. ඔබට සීතල ජලය සොයා ගන්නට හැකියාවක් නැත්නම් මේ සඳහා සාමාන්‍ය ජලය භාවිතා කරන්න. පැය දෙකකින් නැවත නැවත දවසට හතර පස් වරක් පමණ මේ ආකාරයට සිසිල් ජලය මගින් මෘදුව තවන්න.ඒ නිසා පුංචි දරුවන් ඉන්න නිවෙසක අනිවාර්යෙන්ම ජලයෙන් පෙගවූ පිරිසුදු තුවායක් පිරිසිදු භාජනයකට දාලා ශීතකරණයේ පහළ කොටසේ තබා ගන්න මේ වගේ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න.
- මෙවැනි අනතුරක් සිදුවුණු පසු දරුවන් නිදිකරමින් ඒ තත්ත්වය සමනයට බොහෝ මව්වරුන් කටයුතු කළත් එය සිදු නොකළ යුත්තක්. දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බැලුවොත් බරපතළ ලෙස හිස වැදීමකින් පසුව පැය දෙකක් ගතවන තුරුවත් දරුවන් නිදි කරවීමෙන් වැළකී සිටිය යුතු බව තමයි වෛද්‍ය උපදේශය වෙන්නේ.
- පැය 24ක කාලයක් තුළ දරුවා පිළිබඳව වඩාත් විමසිල්ලෙන් පසුවන්න. මේ අනතුර නිසා දරුවාට බරපතළ යම් ගැටලුවක් අභ්‍යන්තරයේ ඇතිවෙලා තියෙනවා නම් ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා දරුවා පිළිබඳව විමසිල්ලෙන් සිටින එක හරිම වැදගත්. ඒ කාලය තුළ මේ වෙනස්කම් හඳුනා ගන්නට පුළුවන් නම් පමා නොවී වෛද්‍යවරයෙකු හමුවට යන්න.
- හිසේ කැක්කුම
- අසාමාන්‍ය ලෙස වඩා දෙවරක් හෝ තුන්වරක් වමනය දැමීම
- ඉතා වේගයෙන්ව සහ අක්‍රමවත් ලෙස හුස්ම ගැනීම
- වෙනදාට වඩා දරුවා අලසව සහ අපහසුවෙන් සිටීම
- අසාමාන්‍ය ලෙස නිදා ගැනීම
- ආලෝකය දෙස බලන්නට නොහැකිවීම
- කලන්තය
- නොනවත්වා හැඬීම
- කෙලින් ඇවිදීම අපහසුවීම
සැලකිලිමත් වෙන්න.

- ඔබ කිසිම විටෙක ගෙඩි ගැසී ඇති ස්ථානය ඇතිල්ලීමෙන් වළකින්න.
- උණු අළු පොට්ටනි හෝ උණු බත් ආදියෙන් තැවීමෙන් වළකින්න.
- වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ආලේපන වර්ග ආලේප නොකරන්න.
මෙවැනි ගෙඩියක් සාමාන්‍යයෙන් මෙය සතියක් සති කිහිපයක් යන විට නැතිවී යනවා. මෝකද මේ රුධිර කැටිය ඉබේම ශරීරය මඟින් උරාගන්නා නිසා. නමුත් රුධිර කැටිය තරමක් විශාල වීම පසුකාලයක රුධිර කැටිය ඉවත්වීම සම්පූර්ණ නොවී කැල්සියම් ලවණ තැන්පත් වී කුඩා ගැටිත්තක් ලෙස ඉතිරි වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම බාහිර තුවාලයක් හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා රුධිර කැටිය පැසවීමට ලක් වුණොත් එය සුළු ශල්‍යකර්මයකි සුද්ධ පවිත්‍ර කළ යුතු වෙනවා.
මේවා පොඩි කිරීම හෝ දියකර හැරීමට තැත් කිරීම සුදුසු නැහැ. එවැනි දේවල් සිදුකිරීම තුළින් හිස් කබලට හානියක් සිදුවෙලා ඇත්නම් එය වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම හිස් කබලේ ඇතුලත ඇතිවන පිපිරීම් සහ තැලීඉම් නිසා කන පිටුපස සහ ඇස් වටා ලේ ගැලීම් හෝ තැලීම් ඇති වෙන්නත් පුළුවන්.
ඒ නිසා නළල හැරැණාම අනෙක් තැන්වල ගෙඩි ඇති විට සහ ඒවා සෙන්ටිමීටර් තුනට වඩා විශාල වන විට ඇස් වටා කන පිටුපස ලේ ගලා ගොස් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු කළ යුතුයි.
ඉතින් දරුණු ලෙස හිස වැදීමකින් ඇතිවන හානිය නිසා ඇතැම් විට දරුවාගේ දෑත් දෙපා අප්‍රාණික වීම, දීර්ඝකාලීන ආබාධ ඇතිවීම, කථන ආබාධ ශ්‍රවන ආබාධ ආදියත් ඇති වෙන්නට හැකි නිසා මෙවැනි තත්ත්වයන්වලින් දරුවා ආරක්ෂා කර ගැනීම වගේම එවැනි අනතුරකදී නිවැවැරදි ප්‍රථමාධාර ලබාදීමත් හරිම වැදගත්.