හාට් ඇටෑක් පවා ක්ෂණිකව ඇති කරන රුධිර නාලවල තැන්පත් වී ඇති තෙල් ඉවත් කරන ක්‍රම 10 ක්

health tips

 අපේ ශරීරයේ සෑම සෛලයකටම අවශ්‍ය කරන පෝෂක, ඔක්සිජන්, ජලය වගේ සෑම දෙයක්ම බෙදා බෙදාහරින්නේ රුධිරය මගින්. ඉතින් මේ රුධිරය ගමන් කරන්නේ රුධිර නාල හරහා. අපේ ශරීරයේ කොලෙස්ටරෝල් අධික වීමෙන් ඒ කොලෙස්ටරෝල් මේ රුධිර නාලවල තැන්පත් වුනොත් මේ රුධිරය ගමන් කරන මාර්ගය අවහිර වීම නිසා ඒ කර්තව්ය හරියට සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා හදවතට සිද්ධ වෙනවා වැඩි පීඩනයකින් රුධිරය පොම්ප කරලා  දිගින් දිගටම රුධිරගමනය පවත්වාගෙන යන්න. හදවත මේ දරන උත්සාහයේදී අනවශ්‍ය විදිහට හෘදය වස්තුව වෙහෙසට පත්වෙනවා. ඉතින් එහි අවසාන ප්‍රතිඵලය තමයි හෘදයාබාධ ඇතුළු විවිධ වූ හදවත් ආබාධවලට පුද්ගලයාව ගොදුරු වෙන එක.

 නිරෝගීව ජීවත් වෙන්නට  කොතරම් විවිධ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් දැනුවත් කළත් බොහෝ දෙනෙක් තමන් රෝගියෙක් බවට පත්වන තුරුම ඒවා ගැන එතරම් උනන්දුවක් දක්වන්නෙ නැහැ. නමුත් ලෙඩක් ඇති වෙන්න කලින් ඒවා වළක්වා ගන්න අපිට විවිධ ක්‍රම තියෙනවා. 

කොලෙස්ටරෝල් රෝගයෙන් පෙළෙන කෙනෙක්ට හෘදයාබාධ ඇතුළු බරපතල ගැටළු ඇතිවෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි කොලෙස්ටරෝල් තැන්පත්වීමෙන් රුධිර නාල අවහිර වීම .

අපි අද මේ කියන්න යන ආහාරපානවලට පුළුවන්  රුධිර නාලවල තැන්පත් වෙලා ඇති කොලෙස්ටරෝල් දියකර රුධිර නාල පිරිසිදු කර රුධිර ගමනාගමනය පහසු කරන්නට. ඒ නිසා ඔබේ ආහාර වේලට නිතර මේ ආහාර එකතු කර ගන්න උනන්දුවක්  වුණොත් ඔබගේ රුධිර නාල සම්බන්ධ ගැටලු බොහොමයක් දුරට අඩු කර ගන්නට අවස්ථාව ලැබෙනවා. 

කහ-ආහාර පිසීමට භාවිතා කරන කහවල අඩංගු වෙන ප්‍රධානම සංඝටකයක් තමයි curcumin. කර්කියුමින් කියන polyphenol සංයෝගය අපේ ශරීරය තුළ අඩංගු වෙන අහිතකර කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය 26% කින් අඩුකරන්නට සමත් බව පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි පිළිකා ඇතුළු බොහොමයක් රෝගාබාධවලින් ආරක්ෂා වෙලා ඉන්න කහ අපිට උදව් වෙනවා. ඒ  නිසා ඔබ එදිනෙදා පිළියෙල කරන ව්‍යංජනවලට කහ ටිකක් වැඩිපුර එකතු කරාට කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි පානයට ගන්නා  කිරි වීදුරුවට කහ ස්වල්පයක් එකතු කර පානය කිරීමත් රුධිර නාල පිරිසිදු කරගන්නටත්  නිරෝගී ජීවිතයක් ගත කරන්නටත්  හරිම වැදගත්.

සුදු ළූණු -ආහාරවල සුවඳ, රසය, ගුණය වැඩි කරගන්නට මුළුතැන්ගෙට නැතුවම බැරි සුදු ළූණු  කුළුබඩුවක් විතරක්ම නෙවෙයි. තවත් විටෙක විශිෂ්ට ගණයේ ඖෂධයක්. විශේෂයෙන්ම ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින්නට පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා විදිහට හොඳම ආහාරයක් තමයි සුදුළූණු . දැනටමත් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අධික නම් දිනපතාම සුදුළූණු බික් 4ක් වත් ආහාරයට එකතු කරගන්න ඕන.  අමුවෙන් හෝ උණුවතුරෙන් තම්බා ගෙන හෝ එහෙමත්  නැත්නම් ව්‍යංජනවලට ටිකක් වැඩිපුර එකතු කරලා හරි දෛනිකව අවශ්‍ය ප්‍රමාණයට සුදුළූණු  ආහාරයටයට එකතු කර ගන්නවා නම් කොලෙස්ටරෝල් නිසා ඇතිවන බොහෝ රෝග තත්ත්වයන් නැති කරගන්නට හැකියාව ලැබෙනවා.

මාළු-මස්වල වගේම පෝෂණ ගුණයක් මාළුවලත් අන්තර්ගත වෙනවා. ඒත් මස්වලට වඩා මාළු සුවිශේෂී වන්නේ ඒවායේ මේදය සහ කොලෙස්ටරෝල් ඉතාම අඩු මට්ටමකින් අඩංගු නිසා. විශේෂයෙන්ම මාළුවල තියෙන මේදය වැඩි ප්‍රමාණයක් ඔමේගා ත්‍රී මේද අම්ල විදිහට තමයි පවතින්නේ. එය  අපේ හදවතට ඉතාම ගුණදායකයි. සැමන්, ටූනා, කෙලවල්ලා, මැකරල් වගේ මාළු  වර්ගවල ඔමේගා 3 මේද අම්ල වැඩිපුර අඩංගු වෙනවා.  විශේෂයෙන්ම කොලෙස්ටරෝල් අධික වීමෙන් ඇති වන භයානක රෝග තත්ත්වයක්න්වලින්  ආරක්ෂා වෙලා ඉන්නත් එය අතිශයින්ම වැදගත්.

ඒක අසංතෘප්ත මේද ඉහළ තෙල්  වර්ග-හදවත් රෝගවලින් පෙළෙන අය කොලෙස්ට්‍රෝල් නිසා පීඩාවට පත්වෙලා ඉන්න අය තෙල් වර්ග ආහාරයට එකතු කරගන්න තරමක බියක්  දක්වනවා. නමුත් ඒක අසංතෘප්ත තෙල් වර්ග අපේ හදවතට වඩාත් හිතකර ප්‍රතිලාභ ගෙනදෙන බව ඔබ දැනුවත් විය යුතුයි. හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරමින් අහිතකර කොලෙස්ටරෝල් රුධිර නාලවල එක්රැස් වීම වළක්වන්නට ඒවා දායක වෙනවා උදාහරණ ලෙස ඔලිව් තෙල් macadamia තෙල් සඳහන් කරන්න  පුළුවන්. 

ඔලිව් තෙල්-තෙල් වර්ග අතුරින් අපේ සෞඛ්‍යයට හිතකර තෙල් වර්ගයක් තමයි ඔලිව් තෙල් කියන්නේ. මේවායේ හදවතට හිතකර ඔමේගා ත්‍රී මේද අම්ල බහුලවම අඩංගු වෙනවා. ඊට අමතරව ඔලිව් තෙල්වල අඩංගු වෙන ඒක සංතෘප්ත මේදය සැලකෙන්නේ අපේ ශරීරයට වඩාත් හිතකර මේද ප්‍රභේදයක් විදිහට. එනිසා ඔලිව් තෙල් අපේ ආහාරවලට එකතු කර ගත්තොත් මස් වර්ගවල තියෙන  සංතෘප්ත සහ  ට්‍රාන්ස්  මේදය  නිසා ශරීරයට ඇති විය හැකි අහිතකර බලපෑම්වලින් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම සෘජුව සහ වක්‍රව අපේ ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු ගන්නත් ඔලිව් තෙල් දායක වෙනවා. නමුත් ඔලිව් තෙල්  ගැඹුරු තෙලේ බැදීමේ කටයුතු සඳහා භාවිතා කිරීම හිතකර නැහැ . 

නිවිති-නිවිතිවල අඩංගු වෙන නයිට්‍රික් ඔක්සයිඩ් රුධිර කැටි ගැසීම අවම කරලා හදවත් ආබාධ ඇතිවීම අඩු කරනවා. විශේෂයෙන්ම නිවිතිවල අඩංගු වෙන විටමින් A සහ C අහිතකර කොලෙස්ටරෝල් රුධිර නාලවල තැන්පත් වීම වළක්වන්නටත් උදව් වෙනවා. ඉතින් ඒ නිසා හදවතට ගුණදායක පෝෂ්‍යදායි පලා වර්ගයක් විදිහට නිවිති සඳහන් කරන්න පුළුවන්. 

දෙළුම්-ප්‍රතිඔක්සිකාරක බහුලවම අඩංගු වෙන වඩාත් ගුණදායක පලතුරක් විදිහට සැලකෙන දෙළුම් ධමනිවල තැන්පත් වෙලා ඇති මේදය අඩු කර ගන්නට අපිට උදව් වෙනවා. විශේෂයෙන්ම දෙළුම් අපේ ශරීරයේ නයිට්‍රික් ඔක්සයිඩ් නිෂ්පාදනය උත්තේජනය කරමින් ධමනි  විවරකර රුධිරය ගලා යාම පහසු කරමින් ධමනි  තුළ රුධිර කැටි ඇතිවීම වළක්වනවා. කොලෙස්ටරෝල් රුධිර නාලවල තැන්පත් වීම විතරක් නෙවෙයි ධමනි පිරිසුදු කිරීම ඇතුළු තවත් සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහොමයක් ලබා ගන්නට දෙළුම් ආහාරයට ගැනීම වැදගත්. දෙළුම් දිනපතාම ආහාරයට ගන්නට අපහසු නිසා අඩුම සතියකට වරක්වත් දෙළුම් ආහාර ගන්නට උත්සාහයක් ගන්න.

ග්‍රීන් ටී  -ග්‍රීන් ටී  එහෙම නැත්නම් හරිත තේ ‍ප්‍රබල ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත්. ඒ නිසා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්නටත් කොලෙස්ටරෝල් නිසා ඇතිවිය හැකි භයානක රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නත්  හරිත තේ අපිට උදව් වෙනවා. රුධිරවාහිනී පිරිසිදුව සහ සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යන්නට උදව්වෙන ග්‍රීන් ටී දවසකට කෝප්ප දෙකක් පමණ පානයට ගැනීමෙන් ධමනි  අවහිර වීම පවා වළක්වා ගන්නට පුළුවන්. 

කුරුඳු– ලාංකීය අපි ආහාර පිසීමේදී එකතු කරන  කුරුදු ආහාරයට නොගෙන ඉවත් කරන නිසා කුරුදුවලින්  නිසි ප්‍රයෝජන අපේ ශරීරයට ලබාගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ව්‍යංජනවල ඇති කුරුඳු ආහාරයට ගැනීමත් කුරුඳු කුඩු තේ වශයෙන් පානයට ගැනීමත් මගින් කුරුඳුවල පෝෂණීය බව අපේ ශරීරයට නොඅඩුව ලබා ගන්න හැකියාව ලැබෙනවා. කුරුඳු කියන්නේ හදවතට ඉතාම හිතකර ආහාරයක්. ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා වේගවත් කරමින් රුධිර නාලවල තැන්පත් වෙලා ඇති කොලෙස්ටරෝල් දියකර හරින්නට කුරුඳුවලට තිබෙන හැකියාව විශේෂයි. 

තේ-ලාංකීය අපිට තේ නුහුරු නුපුරුදු පානයක් නෙවෙයි. නමුත් නිසිපරිදි ඒවා තැම්බෙන්නට නොහැර පානයට ගන්නා නිසා එයින්  අපේ ශරීරයට ලැබිය යුතු නිවැරදි පෝෂණය නොලැබී යන්නට ඉඩ කඩ තියෙනවා. අපේ රුධිර නාලවල බිත්ති ශක්තිමත් කරන්නට, රුධිර කැටි ඇතිවීම වළක්වන්නටත් ඉතා වැදගත් වෙන polyphenol තේ කුඩුවල  අඩංගු වෙනවා . මේවා වතුරට සම්ප්‍රේෂණය වෙන්නට නම් හොඳින් තැම්බීම  අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබ තේ පිළියෙළ කරද්දී විනාඩි තුනක් වත් ජලයේ හොඳින් තැම්බෙන්නට හැරීම ඉතා වැදගත්.

ඒ විතරක් නෙවෙයි  පැණි කොමඩු, දොඩම්, රනිල කුලයේ ශාක වන මුං ඇට , කඩල, බෝංචි, සෝයා, පරිප්පු ආදියත්  අලිගැට පේර ආදී පලතුරුත් රුධිර නාල පිරිසිදු කරන ආහාර අතරට ගැනෙනවා,