පිළිකා කියන්නේ අද සමාජයේ බොහෝදෙනෙක් පීඩා විදින බෝ නොවන රෝගී ගණයට අයත් භයානක රෝගයක්. ඒ නිසාම පිළිකා කියන නම ඇසුවත් සිතට ගෙන දෙන්නේ මහත් බියක්. මාරාන්තික රෝගයක් විදියට සමාජයේ පවතින පිළිකා සෑම එකක්ම මාරාන්තික නැහැ. නමුත් සෑම පිළිකාවක්ම නිට්ටාවට සුව කරන්නට බැහැ. අද මුළු ලෝකයම පිලිකාව විසින් වෙලාගෙන අවසන්. අදටත් මේ පිළිකා මාරයා පරදන්නට සියයට සියයක් සාර්ථක ප්‍රතිකර්මයක් සොයාගෙන නැහැ.
ඒ නිසාම මේ දරුණු රෝගයෙන් ආරක්ෂා වී සිටීම තමයි වඩා සුදුසු. අපේ යහපත් පුරුදු නිසා බොහෝ පිළිකා ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්. එසේ පහසුවෙන්ම වළක්වා ගන්නට හැකි පිළිකාවක් තමයි මුඛ පිළිකා කියන්නේ. නමුත් මෙය සුළුවට ගත යුතු තත්ත්වයක් නොවෙයි. දැනට සිදුකර ඇති සමීක්ෂනවලට අනුව මුඛ පිළිකා නිසා මියයන ප්‍රමාණය රටවල් 172 ක් අතුරින් ලංකාව සිටින්නේ 8 වැනි ස්ථානයේ. ඉතින් ඒ නිසාම මුඛ පිළිකාවක් ඇතිවෙන්නට කලින් හඳුනා ගැනීම ඉතා වැදගත්.
මුඛ පිළිකා ඇතිවෙන්නට බලපාන අයහපත් පුරුදු වැඩි වශයෙන් පිරිමි පාර්ශවය තුළ පවතින නිසා මෙම පිළිකා නිසා මරණයට පත්වෙන පිරිස අතර පිරිමි පාර්ශවය ඉහළින් සිටිනවා. ඒ නිසාම අපේ රටේ මුඛ පිළිකා හේතුවෙන් දවසකට අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකුවත් මරණයට පත්වෙනවා.
මුඛ පිළිකා වර්ග අතුරින් බහුල වශයෙන්ම ඇත්තේ මුඛයේ අපිච්ඡිද පටකයේ ඇතිවන මුඛ අපිච්ඡ්ද සෛල පිළිකාවයි. මෙය ඉතා වේගයෙන් පැතිරෙන සුව කරන්නට අපහසු පිළිකා තත්ත්වයක්. ඉතා විශාල ප්‍රදේශයක ඉක්මනින් ව්‍යාප්ත වන මේ පිළිකා නිසා ඉතාමත් දුක්ඛිත ආකාරයට මරණයට පත් වෙන්නට සිදු වෙනවා. ඒ නිසා මුඛ පිළිකා ඇතිවීමේ අවදානම් සහිත කණ්ඩායම් පිළිබඳව අවබෝධයක් ලබාගෙන තිබීම වැදගත්.
මුඛ පිළිකා ඇතිවීමේ අවදානම් කණ්ඩායම්

- බුලත්විට නිතර සපන්නන් ( පුවක් හා දුම්කොළ සමඟ )බුලත් කොළවල, බුලත් දඩු හා නැටිවල පිළිකාකාරක අඩංගු වෙනවා. පුවක්වල ඇති ඇල්කොලෙ වර්ග හතරක් පිළිකාකාරක බව සොයාගෙන තියෙනවා. දුම්කොළවල පිළිකා ජනක 28 ක් ඇති බව සොයාගෙන තියෙනවා.
- නිතර දුම්පානය කරන්නන්
- දුම්කොළ සැපීමට ඇබ්බැහිවූවන්
- පුවක් පැකට් (බාබුල් බීඩා ) ආදී පුවක් ආශ්‍රිත නිෂ්පාදන සපන්නන්
- මත්පැන් පානය කරන්නන්මධ්‍යසාරවල ඇති එතනෝල් හා ඇතැම් රසායනික පිළිකා ඇති කරන අතර ඇතැම් බියර් සහ විස්කි වර්ගවලත් මේ පිළිකාජනක පවතින බව අනාවරණය කරගෙන තියෙනවා.
- අයහපත් මුඛ සෞඛ්‍යයක් ඇති අය
- දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය
- මුඛ පිළිකා ඇතිකරන අනෙකුත් අවදානම් සාධක
- ජානමය සාධක
- වයිරස් හා දිලීර ආසාද
- විකිරණ නිසා සෛලවල ඇතිවන විකෘති තත්ත්වයන් ඒ වගේම,
- දවසට බුලත් විට 3 කට වඩා සපන අය
- දිනකට බුලත් විට 1-3 ත් සපන වයස අවුරුදු 30 ට වැඩි, පුරුද්දක් ලෙස දුම්පානය කරන සතියකට වරක්වත් මත්පැන් පානය කරන අය
- දවසකට පුවක් පැකට් එකක් හෝ සපන අය
- අනිවාර්යයෙන්ම දන්ත වෛද්‍යවරයෙක් හමුවට ගොස් මුඛය පරීක්ෂා කරවා ගත යුතුයි.
මුඛ පිළිකාවක් ඇති බව හඳුනා ගත හැකි ලක්ෂණ

- වේදනාවක් සහිතව හෝ රහිතව ඇතිවන කාලයක් පවතින සුදු පැහැති හෝ රතු පැහැ ලප මේ සුදු ලප සුදු පැහැ ගැටිති වශයෙන් දකින්නට පුළුවන්. මේවා මුඛයේ කෙලවර වගේ කම්මුලේ ඇතුල් පැත්තේ දකින්නට පුළුවන්. වැඩිපුර බුලත් සපන පැත්තේ කම්මුල්වලත් යට ඇන්දේ දත්වලට යාබදවත් දුම්පානය කරන අයගේ මුඛයේ කෙලවරත් මේ ලප ඇතිවෙන්නට පුළුවන්.රතු පැහැ ලප පිළිකාවක් වීමේ වැඩි ඉඩකඩක් පවතින නිසා ඒ ලප වඩාත් අන්තරාකාරීයි.
- අසාමාන්‍ය දැවිල්ල සහිත සුදු හෝ රතු ලප
- කට ඇරීමේ අපහසුතාව දිව නැමීමේදී ඇතිවන අපහසුතාවය මේ තත්ත්වය බුලත් විට පුවක් හා පුවක් ආශ්‍රිත නිෂ්පාදනවලට ඇබ්බැහිවූවන් අතර දකින්නට පුළුවන්. පුවක්වල ඇති අල්කලොයිඩ් නම් රසායනික සංයෝගය මේ තත්ත්වයන්වලට හේතුවෙනවා. මේ තත්ත්වය ඇති වූ අයගේ උඩු තොල සහ යට තොල් සුදුමැලිව මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් හට ගන්නවා. දිව මතුපිට තුනීවීමෙන් දිලිසෙන ස්වභාවයක් ගන්නවා.මුඛ ශ්ලේශ්මලය ක්‍රමයෙන් ඝන වී තද ස්වභාවයක් ගන්නවා. මේ නිසා මිරිස් සහිත ආහාර ගැනීමට අපහසු වෙනවා. ඒ වගේම කාලයක් ගතවෙත්ම මුඛය විවර කිරීමේ ප්‍රමාණය අඩුවී මුඛය යන්තමින් හෝ විවර කරන්නට නොහැකිව යනවා.ඒ නිසා ආහාර ගැනීම පවා අපහසු කරනවා.
- කතාකිරීම අපහසු වීම
- මුඛය තුළ දිගුකල් පවතින ගැටිති මුඛය තුළ කාලයක් තිස්සේ පවතින ගැටිති මුඛ පිළිකාවක පෙර නිමිත්තක් වීමට පුළුවන්.ඇතැම්විට මේ ගැටිති කාලයත් සමඟ ක්‍රමයෙන් විශාල වී තුවාල බවටත් පත්විය හැකි අතර එවැනි තත්ත්වයකදී වෛද්‍ය පරීක්ෂණයකට යොමුවීම ඉතා වැදගත්.
- මුඛයේ කාලයක් පවතින සුව නොවන තුවාල
මුඛ පිළිකාවලින් වැළකෙන්නට කළ යුතු දේ

- බුලත්විට සැපීමෙන්, පුවක් ආශ්‍රිත නිෂ්පාදන සැපීමෙන්, දුම්පානය හා මත්පැන් පානයෙන් වැළකීම
- බුලත්විට කෑමෙන් පසුව මුඛය පිරිසිදු කිරීම
- සමබල ආහාර වේලක් ලබා ගැනීම
- එළවලු පලතුරු ආහාරයට එකතු කර ගැනීම
- යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම.
- තේ පානය කිරීම
- වසරකට වරක් දන්ත වෛද්‍යවරයෙක් හමුවී මුඛය පරීක්ෂා කරවා ගැනීම
ස්වයං මුඛ පරීක්ෂාවක් සිදු කරන ආකාරය
- මෙය මාසයකට වරක් කළ යුතුයි.
- හොඳින් ආලෝකය ඇති ස්ථානයක් තෝරා ගන්න.
- අත් සබන් යොදා සෝදා පිරිසිදු කර ගන්න.
- කෘතීම දත් ඇදි ඇත්නම් ඉවත් කරන්න.
- මුහුණ බලන කණ්ණාඩියකින් මුහුණේ අසාමාන්‍යතා ඇත්නම් නිරීක්ෂණය කරන්න.
- පසුව ඇඟිලිවලින් තොල පිටතට ඇද උඩු තොල සහ යටි තොල ඇතුළු පැත්ත පරීක්ෂා කරන්න.
- මුඛය හොඳින් විවෘත කර කම්මුලේ ඇතුළත බිත්ති හොඳින් පරීක්ෂා කරන්න.
- දිව පිටතට ඇද දිවේ උඩ යට සහ දෙපැත්ත ආදී සෑම පැත්තක්ම පරීක්ෂා කරන්න.
- දිව උඩු තල්ලේ ගාවා දිවේ යටි පැත්ත සහ මුඛයේ පතුළ නිරීක්ෂණය කරන්න.
- දිව එළියට දමා උඩු තල්ල පරීක්ෂා කර අත්ලෙන් ගෙල දෙපස ඉදිරිපස, නිකට යට පිරිමදිමින් වසා ගැටිති ඉදිමී ඇත්දැයි පරීක්ෂා කරන්න.