මුඛ පිළිකා (oral cancers) රෝගය පුද්ගලයින් අතරේ හඳුනාගැනීමට ලැබෙන තවත් බරපතල සෞඛ්‍ය ගැටලුවක්. මෙම පිළිකා තොල්,කම්මුල් අභ්‍යන්තර බිත්ති,ඛේට ග්‍රන්ථි,විදුරුමස්, තල්ල ආදි මුඛයේ පිහිටි නොයෙකුත් ස්ථාන ආශ්‍රිතව වර්ධනය වීමට ඉඩ තිබෙයි.මෙම පිළිකා වර්ධනය වන ස්ථානය අනුව විවිධාකාරයේ පූර්ව රෝග ලක්ෂණ සිරුර තුළ පෙන්නුම් කිරීමට පටන්ගනියි.
මුඛය තුළ වර්ධනය සෑම ගෙඩියක්ම (tumor) පිළිකාවක් ලෙස හැඳින්විය නොහැකියි. ඇතැම් ඒවා කිසිසේත්ම පිළිකා නොවන අතර පූර්ව පිළිකා අවදානම පෙන්නුම් කරන ඇතැම් ගෙඩි තත්වයන් ද මතුවිය හැකියි. මුඛ පිළිකා අතරින් 90% වඩා ශල්කමය සෛල පිළිකා (squamous cell carcinoma) තත්වය ලෙස හඳුනාගනියි.මෙම පිළිකා ඇතිවන්නේ මුඛ කුහරයේ ආස්තර (බිත්ති) වලය. ඒවා ක්‍රමයෙන් මුඛයේ අනෙකුත් කොටස් දක්වා ගැඹුරින් පැතිරෙයි.ඛේට ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා ඉතා දුර්ලභය.
මුඛයේ පිළිකාවක් වර්ධනය වීම ආහාර පාන ගැනීම, කතා කිරීම සහ හුස්මගැනීම වගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් වලට බාධා ඇතිකිරීමට පටන්ගනියි.මෙම රෝගය කොතරම් අවදානම් ද කියා ඔබට වැටහෙනවා ඇති.මුඛ පිළිකාවක රෝග ලක්ෂණ මුල් කාලයේදීම හඳුනාගැනීම හරහා බොහෝ තත්වයන්ට සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බව සඳහන් වෙනවා.
ඉතින් අපි බලමු මුඛ පිළිකාවක අවදානම පෙන්නුම් කරන සිරුරේ මතුවිය හැකි පූර්ව රෝග ලක්ෂණ මොනවාද කියලා!
- මුඛයේ හෝ තොල් වල සුවනොවන තුවාලමෙය වඩාත් බහුලම රෝග ලක්ෂණයයි.විදුරුමස්, දිව, ටොන්සිල හෝ කම්මුල් ඇතුළත (කොපුල්) බිත්ති වල රතු හෝ සුදු පැල්ල්ම ද දැකිය හැකිවෙයි.තොල් මත, මුඛය තුළ, බෙල්ල හෝ උගුරේ මස් ගුලියක් ලෙස නෙරා තිබීම (lump) හෝ කම්මුල් වල සම දැඩි ලෙස ඝනකම් වී ඇතිබවක් ද දැනිය හැකියි.
- දිගින් දිගටම පවතින උගුර තුවාල වී ඇති ගතිය හෝ උගුරේ යමක් සිරවී ඇතිබවක් නිතර දැනීම
- කටහඬ බැරැණ්ඩි වීම හෝ වෙනස්වීම , දිව හෝ මුඛයේ හිරිවැටුණු ගතිය, මුඛයේ වේදනාව හෝ රුධිරය ගැලීම සහ සැපීමට,ගිලීමට හෝ දිව හෝ හකු සෙලවීමට අසීරුවීම, කන් හෝ හකු වල වේදනාව, දිගින් දිගටම පවතින මුඛ දුර්ගන්ධය, කථාවිලාසයේ වෙනස්කම්, දත් වැටීම හෝ දත් කැක්කුම් මතුවීම ලක්ෂණයි.
- පැහැදිලි හේතුවක් නොමැතිව දිගින් දිගටම සිරුරේ බර අඩුවීම, සිරුරේ තෙහෙට්‍ටුව, ආහාර අරුචිය අත්දැකීම තවත් ලක්ෂණ කිහිපයකි.මෙවැනි ලක්ෂණ මතුවන්නේ මෙම රෝගයේ අවසන් අවධි වලදීය.
මුඛ පිළිකා ඇතිවීමට බලපාන අවදානම් සාධක සහ හේතු

- ස්ත්‍රී/පුරුෂ බව කාන්තාවන්ට වඩා පුරුෂයින් අතර මෙම රෝගය බහුලයි.බොහෝ විට මත්පැන් සහ දුම්කොළ භාවිතය මීට ප්‍රධාන හේතුවයි.
- වයස වයස අවුරුදු 55-60 ඉක්මවූවන් අතර මේ තත්වය බහුලව හඳුනාගනියි.තරුණ පුද්ගලයින් තුළ ද මුඛ පිළික ඇතිවෙයි.
- පාරජම්බුල ආලෝකය එලිමහනේ රැකියා කරන පුද්ගලයින් තුළ තොල් වල හටගන්නා පිළිකා බහුලව හඳුනාගැනෙයි.අධික වෙලාවක් හිරු එළියට නිරාවරණය වී සිටීම මෙම අවදානම වැඩිකරයි.
- නිසි පෝෂණයක් සිරුරට නොමැතිකම පලතුරු සහ එළවලු හොඳින් ආහාරයට නොගැනීම මෙම පිළිකා අවදානම් ඉහළ යාමට බලපාන බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.
- ජානමය සින්ඩ්‍රෝම තත්වයන් උපතින් ලැබූ ජාන විකෘතිතා නිසා සිරුරේ ඇතැම් සින්ඩ්‍රෝම වර්ධනය විය හැකියි.මෙම තත්වයන් මුඛ පිළිකා අවදානම ඉහළ දමයි.Fanconi anemia එවැනි තත්වයකි. මෙය ඇතැම් ජාන තුළ උපතින්ම ඇතිවූ විකෘතිතා හේතුවෙන් රුධිරය ආශ්‍රිතව ඇතිවන ගැටලු තත්වයකි.ලාබාල වයසේදීම රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර නිරක්තියට (anemia/ aplastic anemia) තුඩුදිය හැකියි.මෙම තත්වයෙන් පෙළෙන පුද්ගලයින් තුළ මුඛ පිළිකා හටගැනීමේ අවදානම 500 ගුණයකටත් වඩා වැඩි බවයි සඳහන් වෙන්නේ. Dyskertasosis congenita යනු තවත් එවැනි තත්වයකි.
- නිසි මුඛ සෞඛ්‍ය සනීපාරක්ෂක පුරුදු නොමැතිකම දන්ත සහ මුඛ සෞඛ්‍ය පවත්වාගැනීමට පිරිසිදුකම ඉතා වැදගත්.දත් මැදීම වැනි පුරුදු නොමැතිකම නිසා වගේම බුරුල් දත් කුට්ටම් දිගටම පැලඳීමෙන් මුඛය තුළ ඇතිවන අපහසුතා (විශේෂයෙන් දුම්කොළ සහ මත්පැන් භාවිත කරන්නන් අතර) මුඛ කුහර පිළික අවදානම වඩාත් වැඩි විය හැකියි. මාස 06කට වරක් දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ මුඛ සෞඛ්‍ය පරික්ෂා කරවාගන්න.
- දුම්කොළ දුම්වැටි භාවිතය මුඛ පිළිකා රෝගීන් අතරින් 80%ම ඉන් පීඩා විඳින්නේ මෙම අහිතකර සෞඛ්‍ය පුරුද්ද නිසයි.සිගරට් පානය කිරීම, දුම්කොළ සැපීම හෝ නාසයෙන් ඉරීම වැනි පුරුදු සෞඛ්‍යයට ඉතා හානිකරයි.පුද්ගලයෙකු විසින් මේවා කොපමණ කලක සිට සහ කොතරම් වාර ගණනක් දිනකට භාවිත කරන්නේ ද යන්න මත මෙම පිළිකා හටගැනීමේ අවදානම තීරණය වෙයි.
- මද්‍යසාර අධික ලෙස මත්පැන් පානය කරන පුද්ගලයින් තුළ මුඛ පිළිකා වර්ධනය වීම බහුලය.මත්පැන් ,දුම්වැටි සහ දුම්කොළ සියල්ලම අධිකව භාවිත කරන්නන් තුළ මෙම අවදානම ඉතා වැඩිය.
- බුලත්විට දකුණු ආසියාතික රටවල බුලත්විට සැපීම ජනප්‍රිය පුරුද්දක්.බුලත් සමඟ දුම්කොළ සහ පුවක් මිශ්‍ර කර ආහාරයට ගැනීම මුඛ පිළිකා අවදානම ඉහළ දමන බව පෙන්වාදෙනවා. මුඛ පිළිකා හඳුනාගත හැක්කේ නිසි මුඛ සෞඛ්‍ය පරික්ෂාවකිනි. එහිදි දන්ත වෛද්‍යවරයා විසින් ඔබේ මුඛයේ කොටස් සහ බෙල්ලේ වසා ගැටිති පරික්ෂා කර බලයි.වෛද්‍යවරයාට රෝග ලක්ෂණ හඳුනාගත නොහැකි අවස්ථාවක පුද්ගලයාව කන්, නාස හා උගුර පිළිබඳ විශේෂඥයෙකුට (ENT) යොමුකරවයි.ගෙඩි,ගැටිති හෝ වෙනත් තුවාල වර්ධනය වීමක් එම වෛද්‍යවරයාට හඳුනාගත හැකිවේ නම් පුද්ගලයාව පටක විශ්ලේෂණයක් (tissue biopsy)සඳහා යොමුකරවයි. මේ සඳහා එම අසාමාන්‍ය වර්ධනය වීම් වල සෛල සාම්පල ලබාගනියි. මීට අමතරව පිළිකා සෛල හඳුනාගැනීමකදී නම් X කිරණ පරික්ෂාවක් සිදුකරනු ලැබේ. ඒ හරහා එම පිළිකාව හකු, පපුව හෝ පෙනහළු දක්වා පැතිරී තිබේදැයි පරික්ෂා කරයි. නැත්නම් පුද්ගලයාව CT , PET හෝ MRI ස්කෑන් එකකට යොමුකරවයි.
මුඛ පිළිකාවක් හඳුනාගත හැකි අවධි ප්‍රධාන වශයෙන් 4කි.

- පළමු අවධිය: පිළිකාව පැතිරී නොමැත. සෙ.මී. 2ටත් වඩා කුඩා ප්‍රමාණයේ ගෙඩියක් (tumor) නිරීක්ෂණය කළ හැකියි.
- දෙවන අවධිය: පිළික සෛල තවමත් එතරම් පැතිරී නොමැත.එහෙත් පිළිකා ගෙඩිය සෙ.මී.2-4ක් තරම් විශාලව වැඩී තිබෙයි.
- තෙවන අවධිය: ගෙඩිය සෙ.මී.4කටත් වඩා විශාලව වැඩී තිබෙයි.වසා ගැටිති දක්වා පැතිරී තිබිය හැකියි.
- සිවුවන අවධිය:පිළිකා ගෙඩිය විශාලය. පිළිකා සෛල මේ වන විටත් අවට පටක, වසා ගැටිති හෝ ඇතැම් විට සිරුරේ වෙනත් කොටස් දක්වා පවා පැතිරී ගොස් තිබෙයි.
මුල් අවධි දෙකේදී මෙම පිළිකා අවදානම හඳුනාගැනීමෙන් පසු ප්‍රතිකාර කිරීමෙන් රෝගියාගේ ජීවිතය බේරීමේ සම්භාවිතාව 80%ටත් වැඩිය.තෙවන අවධියේ නම් එය 65% අතර ප්‍රතිශතයකි. අවසන් අවධියේ නම් එය 30-34% අතර ප්‍රතිශතයක් ගත හැකි බවයි අනුමාන කරන්නේ.
මෙවැනි මුඛ පිළිකා වලට ප්‍රතිකාර කිරීම ඒවා පසුවන අවධිය සහ මතුවී ඇති ස්ථානය අනුව වෙනස්විය හැකියි. සැත්කම් බහුලම ප්‍රතිකාර ක්‍රමයයි.නීරෝගී පටක තීරයක් ද සමඟින් පිළිකා ගැටිත්ත කපා ඉවත්කරනු ලබයි. මෙය මුල් අවධියේ පසුවන කුඩා පිළිකා වලට භාවිත වන ප්‍රතිකාරයකි. Glossectomy යනු තවත් ක්‍රමයකි. මෙහිදී සිදුවන්නේ පිළිකාව සහිත මුඛයේ කොටසක් කපා ඉවත් කිරීමයි.mandibulectomy ප්‍රතිකාර ක්‍රමයේදි පහළ හණු අස්ථියේ කොටසක් හෝ පූර්ණ වශයෙන් ඉවත්කිරීම සිදුවෙයි.Maxillectomy ක්‍රමයේදී උඩු හණුවේ අස්ථි කොටසක් හෝ පූර්ණ වශයෙන් ඉවත්කිරීම සිදුවෙයි. මීට අමතරව radiotherapy, chemotherapy, immunotherapy වැනි ප්‍රතිකාර ක්‍රම ද යොදාගැනෙයි.
ඉහත සඳහන් ඇතැම් රෝග ලක්ෂණ අත්දකින්නේ නම් දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත්වන්න.