99%ක් දෙනා නොදන්නා ජීවනී භාවිතා කළ යුතු අවස්ථා 5 ක්

health tips

අපි ලෙඩරෝග ඇතිවුණාම සුවයක් සහනයක් ලබා ගන්නට විවිධ ඖෂධ වර්ග ලබා ගන්නවා. ඉතින් ජීවනී කියන්නේ අපි හැමෝම දන්නා ඖෂධයක්.  නොනවතින වමනය, පාචනය වගේ  තත්ත්වයක්  පුද්ගලයෙකු මරණය කරා වුණත් ගෙන යන්නට හේතුවක් වෙනවා. එසේ ශරීරයෙන් අධිකව ජලය පිටවීමක් නිසා ශරීරය විජලනයට පත් වීම වළක්වා ගන්නට වෛද්‍යවරුන් ජීවනි පානයට උපදෙස් ලබාදෙනවා. නිතර භාවිතා  කරන ජීවනි පිළිබඳව ඔබ  දැනුවත්ව සිටිය යුතු කරුණු රැසක් පිළිබඳවයි  අද අපි කතා කරන්නේ.

ජීවනී කියන්නේ මුඛ සජලන ප්‍රතිකාරකයක්.මෙය වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඔසු සල්වලින් අපිට ලබා ගන්නට හැකියාව තියෙනවා. ජීවනී පැකැට්ටුවක අන්තර්ගතය ගත්තොත් මිලීලීටර් 1000 ක දියකරගත  යුතු  පැකැට්ටුව තුළ සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 2.6 ක්,  සෝඩියම් සිට්‍රේට් ග්‍රෑම් 2.9 ක් ,පොටෑසියම් ක්ලෝරයිඩ් 1.5 ක්  නිර්ජලීය  ග්ලූකෝස් ග්‍රෑම් 13.5 ක්  ඇතුළත් වෙනවා. ඒ අනුව එය ලවණවල සම්මිශ්‍රණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ජීවනී මිලීලීටර් 1000 පැකට් සහ මිලිලීටර් 200 පැකට් ලෙස දකින්නට තියෙනවා.මෙය දොඩම් රසයක් සහිත පානයක් නිසා එය පානයට අපහසුවක් නම් නැහැ. නමුත් එය නිවැරදිව සකසා ගැනීම ඉතා වැදගත්. සාමාන්‍යයෙන් විජලන තත්ත්වයක් ඇති විට ජීවනී ලබාදිය යුතුයි. 

විජලනය වූ පුද්ගලයෙකුගේ රෝග ලක්ෂණ 

  • හිසරදය 
  • පිපාසය 
  • සම වියළීම 
  • මුඛය වියළීම 
  • වේගවත් හෘද  ස්පන්දනය 
  • මුත්‍රා  පිටවීම අඩුවීම 

ජීවනී භාවිතා කළ යුතු අවස්ථා 

  • අධික ලෙස දහදිය දමන විට ක්‍රීඩාවක නොකඩවා යෙදෙන්නේ නම්  අධික ලෙස ව්යායාම්වල නිරත වන්නේ නම් ඒ වගේ අවස්ථාවල අධික ලෙස දහදිය පිට වෙනවා. ඒ වගේම ඒ දහදිය සමඟ ලවණ වර්ගත් දේහයෙන්  පිටවී යනවා.  මෙහිදි දේහයේ ලවණ සමතුලිතතාවය  පවත්වා ගැනීම සඳහා  ජීවනී පානය කිරීම ඉතා වැදගත්.
  • වමනය වැඩි වශයෙන් වමනය පිට වූ විට මේ ජීවනි පානය කිරීමෙන් එමගින් අහිමි වූ ලවණ ප්‍රමාණය දේහයට නැවත ලබා ගන්නට හැකියාව ලැබෙනවා.
  • පාචනය පාචනය නිසා අධිකව දේහයෙන් ජලයත් ලවණත් පිටවී ශරීරය අප්‍රාණික වීම ඇති වෙනවා. එවැනි  අවස්ථාවලදී ජීවනී පානයෙන්  දේහයට  ජවයක් හා  ප්‍රබෝධයක් ඇති වෙනවා. පාචනය  තත්ත්වය මරණයට පවා හේතුවක් වෙන්නට ඉඩකඩ ඇති නිසා ඒ අවදානම් තත්ත්වය වළකා ගන්නට ජීවනීවලට හැකියාව තියෙනවා. මේ වමනය සහ පාචනය අවස්ථාවලදී දේහයට අහිමි වෙන තරල හා  ඛනිජ ලවණ මෙමගින් දේහයට ලබාදෙනවා. 
  • සාමාන්‍ය  උණ රෝගී අවස්ථාවලදී 
  • ගර්භනී මව්වරුන්ට මුල් කාලීනව ඇතිවන  වමන අවස්ථාවලදී මෙවන් අවස්ථාවක මිලිලීටර් 200 පැකට් එකක්  සකසා ගෙන ටික ටික පානය කරන්නට පුළුවන්.

ජීවනි පානයක්  නිවැරදිව සාදා ගන්නා ආකාරය 

  • මුලින්ම දෑත් පිරිසිදු කරගෙන පැකැට්ටුවේ ඇති  උපදෙස් කියවා ගන්න. 
  • ජලය ලීටර් 1 ක් පිරිසිදු බදුනකට දමා ගන්න.
  • එයට මිලිලීටර් 1000 සම්පූර්ණ ජීවනී පැකැට්ටුවම ජලයේ දියකර ගන්න. (මිලි ලීටර් 200 ජීවනී පැකැට්ටුවක් සඳහා ජලය වීදුරුවක් එහෙම නැත්නම් මිලිලීටර් 200 ක් ගන්න.)
  • මේ මිශ්‍රණයට බාහිරින් සීනි ලුණු වැනි කිසිවක් එකතු නොකරන්න.
  • සාදාගත් මිශ්‍රණය රෝගියාගේ පිපාසය නැතිවන තුරු ලබාදෙන්න. දරුවෙකුට  මේ ජීවනී පානය ලබාදෙන  අතරේ මව්කිරි ඇතුළු  දරුවාට හුරු පුරුදු  ආහාර ලබා දෙන්න.

නිවසේදී ජීවනි එකක් සාදා ගන්නා ආකාරය 

අවශ්‍ය ද්‍රව්‍ය  

  • පිරිසිදු ජලය ලීටර් 1 
  • ලුණු  (හැන්දේ මුහුණත මට්ටමට ගත්)  තේ හැදි 1 ක් 
  • සීනි තේ හැදි ( හැන්දේ මුහුණත මට්ටමට ගත්)  තේ හැදි 8 ක් 
  • `මේ සියල්ල ජලයට එකතු කර හොඳින් දියකර දෙහි යුෂ සහ දොඩම් යුෂ ස්වල්පයක් ද  එකතු කරගන්නට පුළුවන්.

ජීවනි ලබාදිය යුතු ආකාරය 

  • වයස මාස 6 අඩු දරුවන්  සඳහා පැය 24 ක කාලය තුළ ලීටර්  ¼ – ½ 
  • මාස 6 අවුරුදු 2 දරුවන් සඳහා පැය 24 ක කාලය තුළ ලීටර් ½ – 1 
  • අවුරුදු 2- 5 දරුවන් සඳහා පැය 24 ක කාලය තුළ ලීටර් ¾ – 1 ½ 
  • අවුරුදු 5 ට වැඩි අය සඳහා අවශ්‍ය පරිදි  ලබාදිය හැකියි. 

සැලකිය යුතුයි.

  • ජීවනී මිශ්‍රණය සාදා පැය 24 ක් ගතවීමෙන් පසුව ඉතිරිය භාවිතයට නොගන්න. අවශ්‍ය  නම් නැවත  ජීවනී මිශ්‍රණයක් සාදාගත  හැකියි.
  • ජීවනී  ලබාදෙන  අතරේ රෝගියාගේ  ඇස් බැමිවල ඉදිමුමක් ඇති වුණොත්  ජීවනී ලබාදීම් නතර කරන්න.
  • ජීවනි පානයෙන් සහනයක් නැත්නම් විශේෂයෙන්ම  රුධිරය හෝ ශ්ලේෂ්මල සහිත පාචන තත්ත්වයක් ඇත්නම් ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙකු කරා රැගෙන යන්න.