කාන්තාවකගේ මාසික ඔසප් වීමේදී ඇතිවෙන සාමාන්‍ය වේදනාව බියවීමට කාරණයක් නොවුණත් ඔසප් වීමේදී අධික වේදනාවක් ඇතිවීම සහ අධික ලෙස රුධිරය වහනය වීමක් සිදුවේ නම් එය ඔබ කිසිසේත්ම නොසලකා හැරිය යුතු කරුණක් නොවෙයි. ඔබට එදිනෙදා වැඩ කටයුතු කර ගන්නට අපහසු වෙන තරමට වේදනා නාශක පවා ලබා ගන්නා තරමට දරුණු වේදනාවක් ඔබත් ඔසප් සමයේදී අත්විදිනවා නම් එය අනිවාර්යෙන්ම ඔබ අවධානයට ලක් කළ යුතු දෙයක්.
නමුත් තරුණ වයසේ දැරියන්ගේ ඔසප්වීම ආරම්භ වී වසර කිහිපයක් ගතවන තුරු අධික වේදනාවක් ඇතිවීම බිය වීමට කාරණයක් නොවෙයි. මොකද කාලයත් සමඟම ඔසප් වේදනාව අඩුවෙන නිසා. නමුත් නිරෝගීව සිටි කාන්තාවකට පසුකාලීනව මෙය වේදනාකාරී වුණොත් එයට හේතුව බොහෝ විට ගර්භාශය සම්බන්ධ යම් ගැටළු වෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් අපි අද කතා කරමු බොහෝ දෙනෙක් නොසලකා හරින සාමාන්‍ය තත්ත්වයක් යැයි වරදවා වටහාගෙන තියෙන මේ අධික ඔසප් වේදනාව මගින් හෙළි කරන රෝග තත්ත්වයන් පිළිබඳව.

මේ ගැහැණුන්ට උරුම වේදනාවන් කියලා දරුණු මට්ටමේ වේදනාවන් වේදනා නාශක පෙත්තක් ගැනීමෙන් පාලනය කරගෙන ඉදිරියට යන්නට කටයුතු කරන කාන්තාවක් නම් ඔබ ඔබේ අනාගතය ගැන දෙවරක් සිතන්න. මොකද මේ අධික ඔසප් වේදනාවන් නොසලකා හැරීම අනාගතයේ දී දරු ඵල පමා කරන්නට තරම් බරපතල වෙන්නට පුළුවන්. ඇතැම් විට එය ජීවිතයට බරපතල තර්ජනයක් පවා ඇතිවෙන ගැටළුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසාවෙන් මේ ලෙඩ රෝග පිළිබඳව ඔබ හොඳින් දැනුවත් වීම වගේම ඔබේ හිතට පුංචිම හෝ සැකයක් දැනෙනවා මේ සම්බන්ධයෙන් සුදුසුකම් ලත් නාරි සහ ප්‍රසව වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ලබාගන්න.
ඔසප් සමයේ දී අධික වේදනාවක් ඇතිවීමට බලපාන රෝගී තත්ත්වයන්
එන්ඩොමෙට්රෝසියස්
කාන්තාවන් බහුතරයක් දෙනා පීඩා විඳින ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයක් විදිහට මේ තත්ත්වය සැලකෙනවා. මේ රෝගයේ ස්වභාවය තමයි ගර්භාෂය ඇතුළත ඇති සියුම් පටක ගර්භාෂ බිත්තියෙන් පිටත එනම් ඩිම්බ කෝෂ පැලෝපීය නාලය වගේ ස්ථානවල ඇලීම. මේ තත්ත්වය හේතු කරගෙන ලේ පිරුණු ගෙඩි වගේ තත්ත්වයන් ඇති වෙනවා. මෙය පසුකාලීනව දරුපල සම්බන්ධයෙන් ගැටලු ඇති කරන්නත් හේතු වන නිසා මේ සම්බන්ධයෙන් කාන්තා ඔබ අනිවාර්යෙන්ම වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

මාසික ඔසප්වීමේදී අධික ලෙස වේදනාවක් ඔබ අත්විඳිනවා නම් එය බොහෝ විට මේ රෝග තත්ත්වය හේතුකරගෙන ඇතිවෙන තත්ත්වයක් වෙන්නට පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ඔසප් වීමකදී සිදුවෙන්නේ ගර්භාෂ බිත්ති ඇතුළතින් බැඳෙන සියුම් පටක කොටස් කැඩී ශරීරයෙන් ඉවත් වීම වුණත් මේ endrometrosis රෝග තත්ත්වයේදී පිට වෙන්නේ ගර්භාෂයේ වෙනත් ස්ථානවල පිටතින් බැඳුණු සම් කොටස් පවා කැඩී ඉවත්වීමෙන්. මේ හේතුවෙන් තමයි අධික වේදනාවක් අපිට ඔසප් වීමේදී ඇති වෙන්නේ.
මේ රෝගයට නිශ්චිත හේතුවක් දක්වන්නට නොහැකි වුණත් මෙය පරිසරික සහ ජානමය හේතු අතර සංකීර්ණ අන්තර් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විදිහට හඳුන්වන්න පුළුවන් තත්ත්වයක්. හඳුනා ගන්නට කාලයක් ගතවෙන මේ රෝගය කාන්තාවකගේ සාමාන්‍ය ජීවිතයට විශාල බලපෑමක් ඇති කළ හැකි රෝගයක්. ඒ වගේම වැඩි කාලයක් ගත වීමත් එක්ක මේ රෝග තත්ත්වය උග්‍ර අතට පත් වෙන්නටත් පුළුවන්.
රෝග ලක්ෂණ
අධික ඔසප් වේදනාව
ඔසප් වීම ආරම්භයට පෙර සිටම ඇති වන මේ වේදනාව ඔසප් අවසාන වීමත් සමගම සුව වී යාම දකින්නට පුළුවන්.
අධික රුධිර වහනය
කාලයත් සමග යටිබඩ ප්‍රදේශයේ ඇතිවන අධික වේදනාව
ලිංගික සබදතාවලින් පසුව ඇතිවෙන වේදනාව
ඔසප් සමයේ මුත්‍රා පිට කිරීමේදී ඇතිවන වේදනාව
මලබද්ධය හෝ පාචනය
ගැබ් ගැනීම ප්‍රමාද වීම
ඇතැම් විට විශාදය
මේ ලක්ෂණ වේදනා නාශකවලින් තාවකාලිකව පාලනය කරගෙන සිටිය යුතු තත්ත්වයක් නොවන බව වටහා ගන්න.
polycystic ovarian syndrome හෙවත් ඩිම්බකෝෂවල බිබිලි සහගත තත්ත්වය
මේ රෝගය හේතු කරගෙන මූලිකව බලපෑම් ඇති වෙන්නේ කාන්තාවන්ගේ හෝර්මෝන මට්ටමට. මේ තත්ත්වයේදී කාන්තාවකට අවශ්‍ය ප්‍රමාණයට වඩා පිරිමි හෝමෝන නිෂ්පාදනය සිදු කිරීම සිදු වෙනවා. මේ තත්ත්වය ඇති වෙන්නේ කාන්තාවකගේ ගර්භාෂයේ ඩිම්බ කෝෂ ඇතුළත.නමුත් මෙය පිළිකා තත්ත්වයක් නොවෙයි.

මේ රෝගයේ මූලික රෝග ලක්ෂණ ලෙස,
ඩිම්බ කෝෂවල ප්‍රමාණය විශාල වීම
ඒවායේ බිබිලි සහගත තත්ත්වයක් ඇතිවීම
ඔසප් චක්‍රය ප්‍රමාද වීම
අධික ඔසප් වේදනාව
බෙල්ල අවට සම කලු වීම
ශරීරයේ රෝම ප්‍රමාණය වැඩිවීම
මදසරුභාවය
තරබාරු බව
සඳහන් කරන්න පුළුවන්.
ගර්භාෂයේ ඇතිවන ෆයිබ්‍රොයිඩ්
ගර්භාෂයේ ඇතුළත ඇති වන ගෙඩි හේතුකරගෙන ඔසප් වේදනාව අධික වීම සහ අධික ලෙස රුධිර වහනය වීමත් සිදු වෙන්නට පුළුවන්. ගර්භාෂය ඇතුළත මාංශපේශී ස්වභාවිකවම සංකෝචනය වෙමින් රුධිර නාල පාලනය කිරීම තමයි සාමාන්‍ය වශයෙන් බඩේ කැක්කුමක් විදියට දැනෙන්නේ. නමුත් ඒ රෝග තත්ත්වය හේතු කරගෙන ඒ සංකෝචන හැකියාවට බාධා ඇති වීම නිසා රුධිර වහනය වගේම වේදනාවක් වැඩි වෙන්නට පුළුවන්. ගර්භාෂය ඇතුළතින් හා පිටතින් මාංශ පේශි සහ තන්තු එකතු වීමෙන් රබර් වගේ මෘදු ගෙඩි ඇතිවෙනවා. මේ සමහර ගෙඩි සෙන්ටිමීටර් එකක් වගේ කුඩා වුණත් ඇතැම් ගෙඩි සෙන්ටි මීටර් පහළොවක් විස්සක් තරම් විශාල වෙන්නත් පුළුවන්. මෙය විවාහ නොවු තරුණ දැරියන්ට වුණත් ඇතිවෙන්නට පුළුවන් තත්වයක් නිසා මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න.
අධික රුධිර වහනය සහ අධික වේදනාවට අමතරව පහත රෝග ලක්ෂණ මේ නිසා ඇතිවෙන්න පුළුවන්.
සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි දින ගණනක් ඔසප් රුධිර වහනය සිදුවීම
උකුළ සහ කොන්දේ යට ප්‍රදේශයේ වේදනාව
ගෙඩි වර්ධනය වීමේ දී මුත්‍රාශය තෙරපීම නිසා නිතර මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වීම
යටිබඩ තෙරපීම හා අපහසුතාවක් දැනීම
උදරය විශාල වීම
ලිංගික එක්වීමේදී අධික වේදනාවක් දැනීම
adenomyosis ඇඩිනොමයොසිස්
මෙය ගර්භාෂ කුහරයේ ඇති සෛල ගර්භාෂ බිත්ති ඇතුළට වර්ධනය වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයක්. මෙයත් endrometrosis රෝගය හා සමාන රෝගී තත්ත්වයක්. මේ රෝගය තියෙන කාන්තාවකගේ ගර්භාෂය ආශ්‍රිත මාංශ පේශීන් තැලුණු මාංශ පේශීන් ලෙසයි දිස්වෙන්නේ. ඒ නිසා මාසික ඔසප් වීමේදී අධික වේදනාවක් ඇතිවීම වගේම ලිංගික එක්වීමේදීත් අධික වේදනාවක් හට ගන්නට පුළුවන්.
පිළිකා
ගර්භාෂය හෝ ගැබ් ගෙල ආශ්‍රිත පිළිකා තත්ත්වයන් හේතුකරගෙන අධික ලෙස ඔසප් වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. පිළිකා හේතු කරගෙන ඇතිවන ගෙඩි නිසා රුධිර වහනයට බාධා ඇතිවීමෙන් රුධිරය එකතු වීමෙන් මේ වේදනාවන් හට ගන්නට පුළුවන්. ඔසප් කාලයේදී අධික රුධිර වහනය සහ ඔසප් වීම අතරතුර කාලයේදී මද වශයෙන් රුධිරය පිටවීම මේ පිළිකා තත්ත්ව හඳුනා ගැනීමේදී ඉතා වැදගත් වන ලක්ෂණයක්. ඒ නිසාවෙන් අධික වේදනාවක් සමග මේ ලක්ෂණ ඇති වෙනවා නම් ඒ පිළිබඳව ඔබ වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
හෝමෝන අසමතුලිතතා
ගර්භාෂය ආශ්‍රිතව ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙවර්ගයම සමතුලිතව තිබීම සාමාන්‍න්‍ය ඔසප් වීමකදී අත්‍යවශ්‍ය කාරණයක්. නමුත් අධික ස්ථුලතාවය, ඉන්සියුලින් සම්බන්ධ ගැටළු සහ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු එහෙමත් නැත්නම් ඩිම්බ කෝෂ ආශ්‍රිත බිබිලි රෝග තත්ත්වයන් හේතු කරගෙන මේ හෝමෝනවල අසමතුලිතතා ඇති වෙන්නට පුළුවන්. මේ නිසා ගර්භාෂය ඇතුළත බැඳෙන endometrium කියන සියුම් පටකය නිසියාකාරව බැඳීම සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම හෝමර්මෝන අසමතුලිතතාවය නිසා මේ බැඳෙන සම අවශ්‍ය ප්‍රමාණයට වඩා ඝන වීම නිසා ඔසප්වීමේදී අධික වේදනාවක් වගේම අධික රුධිර වහනයක් සිදු වෙනවා.
තඹ උපත් පාලන ලූප්
මෙය තාවකාලික උපත් පාලන ක්‍රමයක්. ඒ වගේම හෝර්මෝනවලින් තොර ක්‍රමයක්. මේ උපත් පාලන ක්‍රමය භාවිතයේදී මුල් මාස කිහිපයේදී ඇතැම් කාන්තාවන්ට අධික රුධිර වහනයක් සහ අධික ඔසප් වේදනා තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. නමුත් ශරීරය මේ වෙනසට හුරු වීමත් සමග සාමාන්‍යයෙන් මුල් මාස 6 න් පසුව මේ ගැටලුව මගහැරී යනවා.
ඉතින් ඔසප් වේදනාව අධික වීමට මේ රෝග තත්ත්වයන් හේතු විය හැකි නිසා කාන්තා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න.