කැල්සියම් ඌණතාවය නිසා ඇතිවන ඔස්ටියෝපොරෝසීස් 

health tips

ශරීරයේ හැඩය පවත්වා ගනිමින් මාංශ පේශී සහ අනෙකුත් පටක රඳවා ගැනීම,ශරීරයේ චලනයට, රුධිර සෛල නිෂ්පාදනයට, ශරීරයේ අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීම ආදී කාර්යයන් සඳහා මහෝපකාරී වන අස්ථි ආශ්‍රිතව වැළදෙන රෝග අතුරින් ඔස්ටියෝපොරෝසීස් කියන්නේ වයස්ගතවීමත් සමඟ ඇතිවෙන තත්ත්වයක්. නමුත් මේ රෝගය සෑම වයසට යන අයෙක්ටම ස්වාභාවිකව ඇතිවන තත්ත්වයක් නම් නෙවෙයි. 

අස්ථි ආශ්‍රිතව ඇතිවන දුර්වලතා නිසා ඇතිවන මේ රෝග තත්ත්වය වයස අවුරුදු 50 ට වැඩි කාන්තා පාර්ශවය අතර බහුලවම පවතින රෝගී තත්ත්වයක්. අද වන විට ලෝක ජනගහනයෙන් මිලියන 200 ක් පමණ මේ රෝගයට ගොදුරු වී සිටිනවා.විශේෂයෙන්ම වයස අවුරුදු 60-70 ත් අතර කාන්තාවන් තිදෙනෙක් අතුරින් එක් අයෙක් මේ රෝගයට ගොදුරු වෙන බව අනාවරණය වෙලා තියෙනවා.වයස වුරුදු 80 ට වැඩි කාන්තාවන් තිදෙනෙගෙන් දෙදෙනෙක් මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙනවා. නමුත් 50 ඉක්මවූ කාන්තාවන්ට පමණක් නොවෙයි පුරුෂයන්ටත් වෙනත් වයස්වල අයටත් මේ රෝගය ඇතිවීමේ හැකියාව පවතිනවා.

ඔස්ටියෝපොරෝසීස් කියන්නේ අස්ථි දුර්වල වීම. මෙහිදී නිර්මාණය වෙලා තියෙන බදාමය දුර්වල වී අස්ථි ව්‍යුහය වෙනස්වීම්වලට භාජනය වීමෙන් මේ රෝගී තත්ත්වය ඇතිවෙනවා. සාමාන්‍යයෙන් මේ රෝගී තත්ත්වය මුලින්ම විශාල අස්ථිවලින් ආරම්භ වෙලා ක්‍රමයෙන් කුඩා අස්ථි කරා ව්‍යාප්ත වෙනවා. 

ඔස්ටියෝපොරෝසීස් රෝගයේදී ඇති භයානකම තත්ත්වය නැත්නම් අවාසනාවන්තම ඉරණම තමයි අස්ථි බිඳීයාම.ශරීරයේ ඕනෑම අස්ථියක ඇතිවන මෙවැනි බිඳීමක් මේ ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය නිසා ඇති වෙන්නට පුළුවන්. මේ ආකාරයේ අස්ථි බිඳීම් උකුල් ඇටය, කොඳු ඇටය, මැණික් කටුව වගේම ඉදිරි බාහුවේ පවා සිදු වෙන්නට පුළුවන්. මේ අතරින් උකුල් ඇටය බිඳීයාම ඉතාම බරපතල තත්ත්වයක්. මොකද මේ නිසා ජීවිත කාලය පුරාවටම තමන්ගේ වැඩ කටයුතු තනිව කර ගන්නට නොහැකි වීම වගේම ඇතැම්විට මරණය පවා ගෙන දෙන්නට පුළුවන් නිසා. ඇතැම්විට ජීවිත කාලයම කොන්ද වේදනාවන්, කොඳු ඇට පෙළ වක ගැසීම, ඇවිදීමේ haa සිටගෙන සිටීමේ වෙනස්කම් ද ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ඔස්ටියෝපොරෝසීස් තත්ත්වය ඉතා බරපතල රෝග තත්ත්වයක් ලෙසටයි සලකනු ලබන්නේ.

සාමාන්‍යයෙන් යොවුන් විය ඉක්මවන්නට පෙර ක්ෂය වන අස්ථි පටකය නැවතත් දේහය මගින්  සෑදීම  සමාන ශීඝ්‍රතාවයකින් සිදු කළත් වියපත්වීම ඇතුළු වෙනත් හේතු නිසා අස්ථි පටකය සෑදීමේ ශීඝ්‍රතාවයට වඩා අස්ථි පටකය ක්ෂයවීමේ ශීඝ්‍රතාවය වැඩිවෙනවා. ඒ නිසා අස්ථිවල ස්කන්ධය අඩුවී ඝනත්වය අඩුවී කුඩා කම්පනයකදී වුණත් අස්ථි බිඳීයාම හෝ පුපුරා යාම සිදුවෙනවා. මෙසේ අස්ථි දුර්වලවී ඔස්ටියෝපොරෝසීස් තත්ත්වය ඇතිවෙනවා. 

ඔස්ටියෝපොරෝසිස් රෝගය ඇතිවෙන්නට බලපාන හේතු 

  • ප්‍රවෙණිගත සාධක 
  • පෝෂණ ඌණතා 

ප්‍රධාන වශයෙන් අස්ථි පටකය සෑදීම සඳහා කැල්සියම්, පොස්පරස් සහ ප්‍රෝටීන් අවශ්‍ය වුණත් ඌණතා ඇති කරන්නට බලපාන්නේ කැල්සියම්. අස්ථි පටකය සෑදීමේදී කැල්සියම් අවශෝෂණය සඳහා විටමින් D අවශ්‍ය වෙනවා. ඒ නිසා කැල්සියම් හා විටමින් D  ඌණතාවය මේ සඳහා විශාල බලපෑමක් කරනවා.

  • දුර්වල ආහාර පුරුදු 
  • වැරදි ජීවන පුරුදු 
  • කැෆේන් අඩංගු ආහාර භාවිතය 
  • දුම්පානය සහ මත්පැන් පානය 
  • කාන්තාවක් වීම 

කාන්තාවන්ගේ අස්ථී පුරුෂයන්ට වඩා අඩු ඝනත්වයෙන් යුක්ත වීම, ඔසප් නතර වීම නිසා කාන්තාවන්ගේ ශරීරයේ ඊස්ට්‍රජන් හෝර්මෝන සාන්ද්‍රණය පහළ යාම  ඒ සඳහා හේතු වෙනවා.

  • ව්‍යායාම්වලින් තොර අලස දිවි පැවැත්ම 
  • හිරු එළියට නිරාවරණය වීමට ඇති අකමැත්ත 
  • ආතරයිටීස් රෝගියෙක් වීම 
  • පිළිකා රෝගයෙන් පෙලෙන අයෙක්වීම.
  • අධික ලෙස ලුණු ආහාරයට ගැනීම  

මේ රෝගී තත්ත්වය ක්ෂණිකව ඇතිවෙන එකක් නොවෙයි. දීර්ඝකාලීනව අඛණ්ඩව ඉහත කාරණා සිදුවීම නිසා වයස අවුරුදු 50 ඉක්මවූ විට ඇතිවන රෝගයක්.

රෝග ලක්ෂණ 

මේ ඔස්ටියෝපොරෝසීස් රෝගයේදී රෝග ලක්ෂණ මුල් කාලීනව නොපෙන්වීම ඉතාම බරපතල තත්ත්වයක්. ඇතැම්විට රෝගියා මේ තත්ත්වය පිළිබඳව දැන ගන්නේ රෝගය උත්සන්න වී අස්ථි බිදීමක් සිදුවූ පසුව. ඒ නිසා මෙහි බරපතලකම අපි පෙර සිටම දැනුවත්ව සිටීම ඉතා වැදගත්. ඔස්ටොයෝපොරෝසීස් රෝගය නිසා සුළු වශයෙන් සංවේදනය වන සහ උත්සන්න වූ විට හඳුනාගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් සඳහන් කරන්නට පුළුවන්.

කශේරුව හෝ කොඳුඇට පෙළ ආශ්‍රිතව සුළු වේදනාවක් මුලින් හටගැනීමත් පසුව මේ වේදනාව වැඩිවීමත් විය හැකියි. මෙවැනි අවස්ථාවක බොහෝ අය වේදනාව සඳහා වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව වේදනා නාශක ගැනීම නිසා රෝගය උත්සන්න වනතුරු රෝගියාට ඒ පිළිබඳව දැන ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ.

  • සිරුරේ උස ක්‍රමයෙන් අඩුවීම.මෙය සාමාන්‍යයෙන් අගල් කිහිපයකින් සිදු වෙන්නට පුළුවන්.
  • ශරිරය ක්‍රමයෙන් කුදුවීම 
  • කැස්ස, ශරීරය දෙපසට හැරවීම ආදී සුළු කම්පනයකදී වුවත් අස්ථිවල සුළු පිපිරීම් හෝ කැඩීම් ඇතිවීම. ඇතැම් ඒවා වේදනා සහිත වගේම ඇතැම් ඒවා වේදනා රහිත බිදීම් හෝ පිපිරීම් වෙන්නට පුළුවන්.

අස්ථි රැක ගැනීමට කළ හැකි දේ 

  • කුඩා කල පටන්ම නිසි පරිදි ව්‍යායාම් කිරීම. විශේෂයෙන්ම බර ඉසිලීම වගේ අස්ථිවල ශක්තිය වැඩි කරන ව්‍යායාම්වල නිරතවීම සුදුසුයි.
  • වැඩෙන වයසේදී ප්‍රමාණවත් පරිදි ප්‍රෝටීන් ලබා ගැනීම.

 එය අස්ථිවල ප්‍රමාණය අස්ථි වර්ධනය සිදුවන අවස්ථාවේදීම ඇති කරගන්නට උදව් වෙනවා.සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ යොවුන් විය ඉක්මවන්නට පෙර එනම් වයස අවුරුදු 10-18 අතර කාලයේදී අස්ථි සැකිල්ලේ වර්ධනයෙන් 90% ක් පමණ අවසන් වන නිසා ඒ කාලය තුළ හැකිතරම් අස්ථි සැකිල්ල ශක්තිමත්ව වර්ධනය කරගත යුතු වෙනවා.

  • කැල්සියම් (කිරි, යෝගට් චීස්, කටු සහිත පොඩි මාළු, හාල් මැස්සන්, කූනිසන්, ආමන්ඩ්, ඕට්ස්, තල ,දියර කිරි ,මුරුංගා කොළ, නිවිති, කතුරු මුරුංගා, බතල,බටු ආදී ආහාර ) සහ විටමින් D  (සූර්යාලෝකයට නිරාවරණය වීම, මුහුදු මාළු, පීකුදු, බිත්තර කහ මදය )ශරීරයට ප්‍රමාණවත් පරිදි ලබා ගැනීම.

නමුත් කැල්සියම් ශරීරයට අධිකව ලැබීම හානිදායකයි.එමගින් දේහයේ මෘදු පටකවල කැල්සියම් තැන්පත් වීම, රුධිර සෛලවල කැල්සියම් තැන්පත් වී අධි රුධිර පීඩනය ඇතිවී වකුගඩුවල කැල්සියම් තැන්පත්වීම ආදිය සිදු  වෙනවා.ඒ නිසා ඒවා ප්‍රමාණවත්ව සිරුරට ලබාදිය යුතු වෙනවා. 

  • වයස්ගත වීම සමඟ වෛද්‍ය උපදෙස් ලබාගෙන විවේකීව සිදුකළ යුතු ව්‍යායාම්වල නිරත වීම .
  • නිවැරදි ඉරියව් පවත්වා ගැනීම. 
  • නිරාහාරව නොසිටීම. 
  • මානසික සුවය පවත්වා ගැනීම.
  • දුම්පානය මත්පැන් භාවිතයෙන් ඉවත්වීම. 

වියපත්වන විට ඔස්ටියෝපොරෝසීස් රෝගියෙක් නොවී සිටින්නට නම් කුඩා කාලයේ පටන් සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නට ඉහත උපදෙස් පිළිපදින්න.