නිතරම කෝපයෙන් කෑ ගසනවානම් නුදුරේදීම ඔබට සිදුවෙන දේවල් 5 ක්

health tips

කෝපය එහෙමත් නැත්නම් තරහව කියන්නේ අපේ මනසේ ඇතිවන චිත්තාවේගී ස්වභාවයක්. මේ දේ මිනිසාගේ පැවැත්මට වැදගත් කියලයි කියන්නේ.එදිනෙදා ජීවිතයේ අප මුහුණ දෙන විවිධ පීඩාකාරී හා ආතතීය සිදුවීම් නිසා මනසේ ඇතිවන මෙම කෝපකාරීබව සීමාව ඉක්මවා ගොස්, අපට අපවම පාලනයෙන් ගිලිහෙන අවස්ථා ද ඇති නොවෙනවාක්ම නොවේ.පුද්ගලයෙකු අධික ලෙස කෝපවූ විට ඒ බව ඔහුගේ/ඇයගේ කායික ලක්ෂණ වෙනස්වීම මඟින් හඳුනාගැනීමට බොහෝ දුරට හැකිවෙනවා. කෝප වුණාම ඇතැම අය මහ හඬින් කෑ ගසමින් අන් අයට බණිමින් ඒ හැඟීම පිටකරන්න උත්සහ කරනවා.කෝපය කියන්නේ අපේ කායික මෙන්ම මානසික සෞඛ්‍යයට හිතකර දෙයක් නම් නොවෙයි.එම නිසා කෝපය පාලනය කරගැනීමට අප උත්සහ කළ යුතුයි. 

කෝප වුණාම සිරුරේ ඇතිවෙන වෙනස්කම් මොනවාද?  කෝපය පාලනය කරගන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් අද අප ඔබට තොරතුරු කිහිපයක් ගෙන ආවා.

  1. හෘද ස්පන්දනය වේගවත් වෙයි- රුධිර පීඩනය ඉහළ නගියි

උස් හඬින් කතා කරද්දී, කාත් එක්ක හරි උණුසුම් ගැ‍ටුම්කාරී වාදයක් ඇතිවෙද්දී ඔබේ හෘද ස්පන්දනය වේගවත් වෙනබව ඔබ අත්දැක ඇති.හෘද ස්පන්දනය වේගවත් වෙනවා කියන්නේ රුධිර පීඩනය ද ඉහළ යනවා කියන එකයි.මේ සමඟ පුද්ගලයාගේ මනසේ කලබලකාරී බවක් ඇතිවෙනවා වගේම සමේ නහර ඉලිප්පී කම්මුල් රතුවීමට පටන්ගන්නවා.හුස්ම ගැඹුරු හා වේගවත් වෙනවා.කෝපය ඇතිවෙද්දී ඇතැම් අයගේ අත් කකුල් අසාමාන්‍ය ලෙස සීතල වීමට පටන්ගන්නවා.

  1. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලවත් පහරක් එල්ල විය හැකියි

උණුසුම් වාදවීමක් ගැන පරණ මතකයක් ඇවිස්සීමෙන් පවා පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ ආරක්ෂණය පැය 6කින් පමණ අඩුකර දමන බව පර්යේෂකයෝ සොයාගෙන තිබෙනවා.සාමාන්‍යයෙන් ඉතා සාමකාමී ජීවිතයක් ගත කරන,ඉතාම දුර්ලභ ලෙස තරහා යන පුද්ගලයින් සම්බන්ධයෙන් මෙය ඉතා සත්‍යවන බව ද සොයාගෙන තිබෙනවා.ඉතාම ඉක්මනින් තරහ යන පුද්ගලයින් නිතර අසනීප වෙන ස්වභාවයක් පෙන්නුම් කරන බවත්, ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉතා දුර්වල මට්ටමක පවතින බවත් පැහැදිලි වන බව සඳහන් වෙනවා.කාංසා ස්වභාවය වැඩිවිමත් සමඟ නොදැනුවත්වම ඔවුන්ගේ සෞඛ්‍ය පරිහාණියට ලක්වීමේ අවදානම වැඩිය.

  1. කෝපය නිසා විවිධ සෞඛ්‍ය ගැටලු උද්ගත විය හැකියි

කෝපය ඇතිවුණාම අපේ මොළය හා සිරුර පුරා ආතති රසායනයන්ගෙන් වැසීයාමට පටන්ගන්නවා.මෙය සිරුරේ පරිවෘතිය වෙනස්කම් ඇතිවීමට හේතුවෙයි.ප්‍රතිකාර නොලත් කෝපය සම්බන්ධ ගැටලු වලින් පෙළෙන්නන් හිසරදය ගැටලු, කාංසාව, නින්ද නොමැතිකම (ඉන්සොම්නියා) හා ඇතැම් විට ආහාර ජීර්ණ ගැටලු වලින් පෙළෙන්නේ මේ හේතුව නිසා විය හැකිය.අධික කෝපය හේතුවෙන් එක්සිමා දද වැනි චර්ම ගැටලු පවා උත්සන්න වීමට ඉඩ තිබෙයි.අධික ලෙස කෝපවන්නන් ආඝාතය හෝ හෘදයාබාධ වැනි ගැටලු වලට ලක්වීමේ ඉහළ අවදානමක් තිබේ.

  1. ඔබේ මතකයක් වලට බලපෑම් ඇති කර හැකියි

ආතතීය අවස්ථා හා සිදුවීම් වලට මුහුණ දීමට සිදුවීම වැඩිවීමත් සමඟ පුද්ගලයින් කායිකව මෙන්ම මානසිකම කම්පනයන්ට ලක්විය හැකියි.රළු හා පරුෂ වදන් හුවමාරු වෙන ගැ‍ටුම්කාරී කතාබහකදී ඔබ අනෙක් පාර්ශවය සමඟ බොහෝ දරුණු දේ කියාගන්නවා.මෙවැනි සිදුවීමකින් පස්සේ බොහෝ විට සිදුවූ දෙය ඔබට හා අනෙක් පාර්ශවයට මතක හිටින්නේ සැබෑ සිද්ධියට වඩා හාත්පසින් වෙනස් ලෙස හෝ ඇතැම් සිද්ධී සම්පූර්ණයෙන් අමතකව ගිය ආකාරයකටයි. කෝපය ඔබේ මතකයට බලපෑම් ඇතිකළ හැකි බවයි මින් පෙන්නුම් කරන්නේ.

  1. කෝපයෙන් කෑ ගැසීම නිදන්ගත වේදනාවන් හටගැනීමට හේතුවිය හැකියි

කෝපයෙන් කෑගැසීම ඔබට වගේම අහගෙන ඉන්න කෙනාටත් හිතකර නැති නරක පුරුද්දක්.මෙය කුඩා කාලයේ පටන්ම ඔබේ පෞරුෂයට හානිකරවන දෙයක්.කුඩා ළමුන්ට කෝපයෙන් බැණ වැදීම බොහෝ ආකාර වලින් ඔවුන්ට බලපෑම් ඇතිකළ හැකියි.

ඔවුන්ගේ හැසිරීම් ගැටලු තවත් නරක අතට හැරිට හැකියි. දරුවන්ට නිතර බැණ වැදීම ඔවුන්ගේ හිතුවක්කාර හැසිරීම් වැඩිවීමට හේතුවක් විය හැකි බව ඇතැම් පර්යේෂණ පෙන්වාදෙනවා.

ඔවුන්ගේ මොළයේ වර්ධනය සම්බන්ධයෙන් වෙනස්කම් ඇතිවිය හැකියිකුඩා කාලයේදී නිතර ඇණුම් බැණුම් වලට ගොදුරු වූ ළමුන්ගේ මොළයේ ශබ්ද හා භාෂා පැසුරුම්කරණයට ලක්කරන කොටස් වල ව්‍යුහය වෙනස්ව පිහිටා ඇති ආකාරය හඳුනාගන්නට ලැබී ඇති බව සඳහන් වෙනවා.

නිදන්ගත වේදනාවන්ගෙන් පීඩාවිඳිය හැකියි. කෝපයෙන් කෑගැසීම පුරුද්දක් වුණොත් අනාගතයේ කොන්දේ සහ බෙල්ලේ වේදනාවන්, හිසරදය හා ඇතැම් විට ආතරයිටීස් වැනි පීඩාකාරි සෞඛ්‍ය ගැටලු පවා පුද්ගලයෙකුට ඇතිවෙන්නට පුළුවන් බව පෙන්වාදෙනවා.

  • මහ හඬින් කෑගැහුවට වාදයකින් ජය ගන්න බැහැ

වාදයකදී මිනිසුන් මහහඬින් කෑගසන්නේ තම පවසන්නේ හරිම දේ බව සිතන අධිවිශ්වාසය නිසා බව පර්යේෂකයෝ පෙන්වාදෙනවා.යටිගිරියෙන් කෑගැසීමෙන්, අනෙක් කෙනාට බාධා කිරීමෙන් හා අනෙක් කෙනා දෙස අවතක්සේරුවෙන් බැලීමෙන් වාද විවාද  ජයගන්නට හැකිවන්නේ නම් එය ඉතාම දුර්ලභ දෙයක්. වාදයක් ජයගන්න නම් ඔබ අනෙකාට හොඳින් සවන් දිය යුතුයි.එකිනෙකාගේ දෘෂ්ටිකෝණයන් හඳුනාගෙන, වෙනස්කම් ඇත්නම් ඒවා මත පිහිටා එකිනෙකාව  හොඳින් අවබෝධකරගත යුතුයි.ඔබේ මතය අවධාරණය කිරීමට නම් සාමකාමී හා තර්කානුකූල වන්න. මින් යම් පාර්ශවයකට යමක් ඒත්තු ගැන්වීම වඩාත් සාර්ථකව කළ හැකියි.

කෝපයෙන් කෑගැසීම නතර කරගන්නේ කොහොමද?ප්‍රශ්න හෝ ගැ‍ටුම් ඇතිකරගන්නේ නැතිව ඔබේ කෝපය පාලනය කරගන්න මේ උපදෙස් කෙරෙහි ඔබේ අවධානය හොඳින් යොමුකරන්න.

  • දෙයක් කියන්න කලින් හොඳින් සිතා බලන්නහිත රිදෙන වචන ඔබේ මුවින් පිටවෙන්න කලින් ඒ ගැන හිතන්න.නැත්නම් පසුව පසුතැවිලි වෙන්නට සිදුවන්නේ ද ඔබටමයි.සිදු වූ හානිය ආපහු නිවැරදි කරන්න නම් නොහැකි වෙයි. ඔබෙන් වරද වුණු කෙනා නැවත කිසිදාක ඔබට සමාව නොදෙන්නට ඉඩ තිබෙයි.
  • සිතේ ඇති දේ කියන්න කලින් සන්සුන් වෙන්න උත්සහ කරන්නහිතේ තියෙන හැමදේම කියන්න කලින් සන්සුන් වීම වැදගත්. මේ විදියට කිව යුතු හා නොකිව යුතු දේවල් පාලනය කරගන්න ඔබට හැකිවේවි.ඔබ කියන දේ අනෙක් අයට පැහැදිලිව තේරුම්ගැනීමට මින් හැකිවෙයි.
  • සුදුසු විසඳුමක් සොයාගන්නා තුරු ඉවසීමෙන් සිටින්නඉහවහා ගිය කෝපයට ඔබව ගිලගන්න ඉඩ දෙන්න එපා. ඔබ වෙනුවෙන් යම් කාලයක් සාමකාමීව වැය කරන්න.මේ කාලයේදී සන්සුන්ව හා වඩාත් තර්කානුකූල විදියට ඔබේ ගැටලුව ගැන සිතන්න.එවිට ඒවාට සුදුසු විසඳුම් සොයාගැනීම වඩාත් පහසු වේවි.ඕනෑම ගැටලුවක් එක්ක ගනුදෙන කරන්න හොඳම ක්‍රමය තමයි මනසින් හොඳින් සිතාබැලීම.
  • අන් අය ගැන වෛර ගොඩනගාගන්න එපාඅන් අයට සමාව දීම කෝපය හා ආතතිය දුරුකරගන්න හොඳ ක්‍රමයක්.මිනිස්සු හැම දෙයක්ම කරන්නේ සිතාමතා නොවේ. ඒ නිසා ඕනම කෙනෙකු අතින් වැරදි වෙන්න පුළුවන් බව තේරුම් ගෙන සමාව දීමට පුරුදුවෙන්න.
  • ඔබව කෝප කරවන දේවල් කෙරෙහි හාස්‍යයෙන් යුතුව බලන්න.හාස්‍යයෙන් යුතුව දැකීම කියන්නේ අන් අයට අපහාස උපහාස කිරීම  නෙවෙයි.ඔබව කෝපගන්වන දේවල් විහිලුවක් ස්වරූපයෙන් සැහැල්ලුවෙන් දැකීම ඔබේ කෝපය පාලනය කරගන්න උදවු වේවි. 
  • මනස සැහැල්ලු කරගැනීමේ උපක්‍රම පුහුණු වෙන්න ගැඹුරු ශ්වසනය,මියුරු සංගීතයකට ඇහුම්කන් දීම,මනස සන්සුන් කරන වචන යළි යළි ආවර්ජනය කිරීම, භාවනා කිරීම වගේ උපක්‍රම ඔබේ මනස සන්සුන් කරන අතර ඔබේ ආතතිය දුරලයි.
  • උදවු ඉල්ලන්න පැකිළෙන්න එපාමේ උපක්‍රම ඔබේ තරහව පාලනය කරගන්න ප්‍රයෝජනවත් නැහැ කියා ඔබට සිතෙනවා නම්, ඔබට ඔබව පාලනය කරගන්න බැරි තරමට තරහ යනවා නම් ඔබට නිසි වෘත්තිය මනෝ හෝ වෛද්‍ය උපදේශනය අවශ්‍යයයි.මේ ගැන වදවෙන්න අවශ්‍යතාවක් නැහැ. ඔහු/ඇය ඔබට උපදේශනය ලබාදෙමින් ඔබේ ගැටලුවෙන් මිදීමට ඔබට සහයෝගය ලබාදේවි.