ඩිම්බකෝෂ පිළිකාවක් කල්තියා හඳුනා ගත හැකි ලක්ෂන 9 ක්

health tips

වර්තමානය වන විට කාන්තා පුරුෂ බාල මහලු භේදයකින් තොරව බිලි ගන්නා ජීවිත සඳහා ප්‍රධාන හේතුකාරකය පිළිකාව බව ඔබ අප හැමෝම දන්නා සත්‍යයක්. පුද්ගලයෙකුගේ ශරීරයේ ඕනෑම ඉන්ද්‍රියකම පිළිකා ඇතිවිය හැකි නමුත් කාන්තාවන්ගේ පමණක් ඇති අවයව වන පියයුරු, ගැබ් ගෙල, ගර්භාෂය සහ ඩිම්බකෝෂවල පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා.ඒ අතුරින් ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇතිවන පිළිකා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව පිළිකා අතර බහුලවම අසන්නට දකින්නට ලැබෙන පිළිකා ප්‍රභේදයක්. මේ පිළිකා තත්ත්වයත් හඳුනා ගැනීමේ ප්‍රමාදය මත බොහෝදුරට පැතිරී ගොස් තිබෙන්නට පුළුවන්. ඉතින් කල්තියා මෙවැනි පිළිකාවක් ඇති බව හඳුනා ගත හැකි ලක්ෂණ කිහිපයක් පිළිබඳව අවබෝධයක් ලබා තිබීම නීරෝගී ජීවිතයක් ගත කරන්නට ඔබට උදව් වේවි. ඉතින් අද අපි ඔබ සමඟ කතා කරන්නට සූදානම් වන්නේ ඩිම්බකෝෂ පිළිකාවක් හඳුනා ගත හැකි ලක්ෂණ කිහිපයක් පිළිබඳවයි.

කාන්තාවකගේ ප්‍රජනන පද්ධතිය  සම්බන්ධ සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස මසකට වරක් ඩිම්බකෝෂවලින් ඩිම්බයක් පිටවීම දක්වන්නට පුළුවන්.කාන්තා ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඩිම්බකෝෂ දෙකක් පිහිටා ඇති අතර ප්‍රධාන වශයෙන් ඩිම්බකෝෂවලින් ඩිම්බ පිටවීමේදී ඩිම්බකෝෂය තුවාලවීමක් සිදුවන බැවින් නිතර සෛල වෙනස්වන නිසාත් පිළිකා සෑදීමේ අවදානමක් පවතිනවා.

මේ ඩිම්බකෝෂ පිළිකා එක් එක් කාන්තාවන්ගේ ඩිම්බකෝෂවල ස්වභාවය අනුව වෙනස් වෙනවා. ඒ වගේම මේ ඩිම්බකෝෂ පිළිකාව සම්පූර්ණයෙන්ම සුව වුණත් නැවත වරක් පිළිකාවක් ඇතිවීමේ අවදානමක් ඇති දරුණු රෝගයක්. ඩිම්බකෝෂවල මතුපිට ඇති සෛලවලින් ඇතිවන පිළිකා (epithelial cancer )තත්ත්වය සුලභ නමුත් ඩිම්බකෝෂ ඇතුළත  සෛල ස්ථරවලින් හට ගන්නා පිළිකා එතරම් සුලභ නැහැ.

මේ ඩිම්බකෝෂ පිළිකා වයස අවුරුදු 40 ඉක්මවූ කාන්තාවන්ට ඇතිවීමේ හැකියාව පවතිනවා.නමුත් මේ පිළිකා සහිත රෝගීන්ගෙන් බහුතරයක්ම වයස වුරුදු 65 ට වැඩි අයයි. නමුත් තරුණ කාන්තාවන්ටත් මේ ඩිම්බකෝෂ පිළිකා ඇතිවීම සුළු වශයෙන් දකින්නට පුළුවන්.ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමට හේතු ගණනාවක්ම බලපානු ලබනවා. නමුත් මේ ඩිම්බකෝෂ සම්බන්ධ වැදගත් කාරණයක් වන්නේ උපත් පාලන ඖෂධ ලබා ගන්නා කාන්තාවන්ට ඩිම්බකෝෂ පිළිකා සෑදීමේ අවදානම අඩුවීමයි. එයට හේතුව වන්නේ මසකට වරක් ඩිම්බ පිටවන වාර ගණන අඩුවීමයි.

ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමට බලපාන හේතු 

  • ජානමය හේතු 
  • අඩු වයසින් ආර්තවය ආරම්භ වීම 
  • වැඩි වයසකින් ආර්තවය අවසන් වීම 
  • තරබාරු බව 
  • පළමු දරු උපත පමාවීම 
  • ලබාගන්නා ලද විවිධ හෝර්මෝන ප්‍රතිකාර 
  • වෙනත් පිළිකා (පියයුරු පිළිකා )
  • ඩිම්බකෝෂ ආශ්‍රිත ගෙඩි 

රෝග ලක්ෂණ 

මේ රෝග තත්ත්වයේ විශේෂත්වය වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම  සිදු වන්නේ රෝගය යම්තාක් දුරට පැතිරී අවසන් වූ විටයි. ඒ වගේම ඒ තත්ත්වයේදී විශේෂිත රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැති නමුත් යම් යම් ලක්ෂණයන් මේ පිළිකා වර්ධනයේදී දකින්නට පුළුවන්.මේ ලක්ෂණ බොහෝවිට ඩිම්බකෝෂ පිළිකාවක් ඇතිවෙන්නට මාස 6 ට පමණ පෙර ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මේ රෝග ලක්ෂණ අමිල පිත්ත රෝගය ආදී වෙනත් රෝගයක ලක්ෂණ ලෙස සිතා එවැනි රෝගයකට ප්‍රතිකාර කරන්නට පෙළඹීම නිසා මේ ඩිම්බකෝෂ පිළිකාවන් බොහෝදුරට ව්‍යාප්ත වී තිබෙන්නට පුළුවන්. එබැවින් මේ ලක්ෂණ සාමාන්‍ය රෝගයක් නිසාවෙන් ලෙස සැලකීම සුදුසු නොවෙයි. 

  • වමනය හා ඔක්කාරය 
  • බඩ පුරවා දැමීම 
  • ශරීරය අසාමාන්‍ය ලෙස කෙට්ටු වීම 
  • ආහාර කුඩා ප්‍රමාණයකින් කුස පිරීමක් දැනීම 
  • කෑම අරුචිය 
  • පිළිකාව තරමක් පැතිරීම නිසා උදර කුහරය ඇතුළත වේදනාව හා අපහසුවක් දැනීම
  • යටිබඩේ වේදනාව 
  • මල පහ කිරීමේදී හා මුත්‍රා  පිටකිරීමේදී ඇතිවන අපහසුතාවයන් 
  • උදරය විශාල වී ඉදිමීම 

පරීක්ෂාවන් ඉහත සඳහන් කළ යම් යම්  රෝග ලක්ෂණ හා අපහසුතා ඇතිවිටෙක එය පිළිකාවක් යැයි සැකයක් පවතී නම් ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමුවිය යුතුයි.එවිට වෛද්‍ය නිර්දේශය මත අල්ට්‍රා සවුන්ඩ් (Ultra Sound )  පරීක්ෂණය යටතේ උදරය ස්කෑන් කිරීම හා යෝනි මාර්ගය හරහා ස්කෑන් කිරීමක් සිදුකරනු ලබනවා. එමගින් වසා ගැටිති, උදරය හා වෙනත් අවයව කරා පිළිකාව පැතිරී ඇතිද යන්න නිශ්චය කර ගනු ලබනවා.

ඩිම්බකෝෂ පිළිකාවක් ඇති බවට සැක කරන කාන්තාවකට රුධිරයේ ඇතිවන වෙනස්කම් මගින් ද මේ පිළිකා තත්ත්වය හඳුනා ගන්නට පුළුවන්.ඒ සඳහා CA 125 (Cancer Antigen ) පරීක්ෂණය සිදු කරගත හැකියි. ඒ වගේම MRI ස්කෑන් පරීක්ෂණ මගින් පිළිකා අවස්ථා හඳුනා ගන්නට පුළුවන්.  

 ප්‍රතිකාර බොහෝවිට ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇතිවන පිළිකාවක් හඳුනා ගන්නා විට එය උදරය තුළ ව්‍යාප්තවීමක් සිදුව පවතින්නට හැකියි.එවැනි අවස්ථාවකදී රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ශල්‍ය කර්මයක් මගින් ඒ පිළිකා සෛල හැකිතාක් ඉවත් කරන්නට කටයුතු කරනවා. නමුත් උදරය තුළ ව්‍යාප්ත වුණු පිළිකාවක් සම්පූර්ණයෙන් සුව කිරීම කළ නොහැකියි. ඒ නිසා මූලිකවම ඒ පිළිකා අවයවයව මුළුමනින්ම ඉවත් කර ශරීරයේ වෙනත් අවයවයන්ට පිළිකාව පැතිරයාම වළක්වාලන්නට පිළිකා නාශක ඖෂධ ලබාදීම සිදු කරනවා. ඒ නිසා ඩිම්බකෝෂය ඉවත් කිරීමට සිදුවන අතර නැවත මෙවැනි පිළිකාවක් ඇතිවීමේ අවදානමක් ඇති බව හඳුනා ගතහොත් පැලෝපීය නාලය ඉවත් කරන්නටත් කටයුතු කරනු ලබනවා.      

කාන්තාවන්ට වයස අවුරුදු 40 ඉක්මවූ විට මෙවැනි පිළිකා ඇතිවීමේ හැකියාවක් පවතින නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් අතර පිළිකාවක් ඇති බව හඳුනා ගතහොත් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා ගනිමින් සායනවලට සහභාගී වී පරීක්ෂාවන් කරවා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම ආහාර රටාව සහ චර්යා පුරුදු සියල්ලක්ම යහපත් ලෙස වෙනස් කර ගන්නටත් අමතක කරන්නට එපා.