විලුබේ වේදනාවට ආයුර්වේද ප්‍රතිකාර 8 ක්

health tips

සාමාන්‍යයෙන් රාත්‍රියට නින්දට ගිහින් උදෑසන ඇහැරෙද්දි පාදය බිම තබන්නට නොහැකිව පත්වන අපහසුතාවය ඔබත් අත් විදිනවා ඇති. විශේෂයෙන්ම කාන්තාවන් අතර සුලබව මේ තත්ත්වය අපිට අසන්නට දකින්නට ලැබෙනවා. පාදයේ විලුබ ආශ්‍රිතව ඇතිවන මේ වේදනාව කටු ඇනෙන ස්වභාවයෙන් ඇතැම් කෙනෙක්ට ඇති වෙන්නට පුළුවන්. විටෙක යම් වේලාවක් පාදය ක්‍රියාශීලී කිරීමෙන් ඒ වේදනාව සමනය වී යන්නටත් පුළුවන්. ඒ හැරුණාම දවසේ යම් යම් අවස්ථාවලදී නැවත නැවත විලුබ ආශ්‍රිතව මේ වේදනාව ඇතිවෙන්නට පුළුවන්. ටික වේලාවක් වාඩිවී සිට නැවත නැගිටින විට විලුබ ආශ්‍රිතව අධික වේදනාවක් ඇති වෙන්නට පුළුවන්.ඉතින් බොහෝදෙනා මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් මිස භයානක තත්ත්වයක් නොවේ කියන අදහස දරාගෙන ප්‍රතිකාර නොගෙන ඉන්නා අවස්ථා නැතුවාම නොවෙයි. ඉතින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේ විලුබ ආශ්‍රිතව වේදනාව ඇතිවීම සහ ඒ සඳහා කළ හැකි ප්‍රතිකාර මොනවාද කියන කාරණය පිළිබඳව අද අපි කතා කරන්නට සූදානම් වෙනවා.

වාත කණ්ඨක රෝගී තත්ත්වය 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේ විලුබ ආශ්‍රිතව ඇතිවන වේදනාව වාත කණ්ඨක යන නමින් තමයි හඳුන්වනු ලබන්නේ. සාමාන්‍යයෙන් වාත පිත කප කියන දෝෂ තුනම සමතුලිතව තිබීම ශරීරයේ නිරෝගී පැවැත්මට හේතුවක්. ඉතින් මේ කියන විලුබ ආශ්‍රිත වේදනාව ඇති වෙන්නේ වාත දෝෂය කිපීම නිසා. නැත්නම් එහි අසමබරතාවය නිසා. ඉතින් ඒ අනුව ඇතිවන මේ තත්ත්වයට හේතු කිහිපයක්ම බලපානවා.

  • ඇවිදින විට පාදය තබන වැරදි ඉරියව් 
  • වැඩි දුරක් පා ගමනින් ගමන් කිරීම හෝ දවසේ වැඩි කාලයක් සිටගෙන සිටීම  

මේ හේතු නිසා ගුල්ම සන්ධිය එහෙම නැත්නම් පාදයේ වළලුකර සන්ධිය ආශ්‍රිතව වාතය එකතුවීමක් සිදු වෙනවා. ඒ නිසා මේ විලුබ ප්‍රදේශයේ වේදනාවක් ඇති වෙනවා.

විලුබ ආශ්‍රිත වේදනාවන් ඇතිවීමට බලපාන වෙනත් තත්ත්වයන් 

ඉහත සඳහන් කළ හේතු හැරුණාම වෙනත් හේතු තත්ත්වයන් නිසා වුණත් මේ විලුබ ආශ්‍රිත වේදනාව ඇති වෙන්නට පුළුවන්.

  • වයස්ගතවීමත් සමඟ ශරීරයේ මේද ස්ථරය ක්‍රමයෙන් ක්ෂය වී යාම හා කාටිලේජ ගෙවී යාම නිසා අස්ථි එකිනෙක ගැටීම් වැඩිවීම 
  • පාදය ආශ්‍රිතව ඇතිවන අනතුරු 
  • පාදය ඇදෙන ආකාරයේ විවිධ ක්‍රියාකාරකම්වල  (බැලේ නර්තන හා ක්‍රීඩා ) කාලයක් නිරතවීම 
  • නිතර අඩි උස පාවහන් පැළදීම 
  • රළු, වල ගොඩැලි සහිත බිමක ඇවිදීම 
  • ඝනකම් පතුලක් සහිත පාවහන් වැඩි වේලාවක් පැළද සිටීම 
  • අධික තරබාරුව (සිරුරේ අධික බර නිසා විලුබ නිතරම වැඩි වශයෙන් පොළවට තෙරපීම සිදු වෙනවා.සිරුරේ බර දරා සිටීම නිසා මේ තත්ත්වය ඇතිවෙනවා.)
  • වාත රක්ත දෝෂය (ශරීරය අධික ලෙස උෂ්ණවීම  )

විලුබේ වේදනාව සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර 

  • ලුණු සහ තලාගත් අමු කහ මඳ උණුසුම් ජලයට දමා කලවම් කර පාදය ඒ වතුර බදුනේ බහාගෙන සිටීම. මේ උණුසුම් ජලය නිවෙනතුරු එසේ පාදය තබා ගත යුතුයි. මේ ප්‍රතිකර්මය උදේ සවස  කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.
  • නික කොළ, හීරැස්ස වැල්වල පුරුක් දෙක තුනක්,  අමු කහ සහ ලුණු කැට ස්වල්පයක් ගෙන මේ සියල්ලම සිහින් වන තුරු කොටා ගන්න. මේ ද්‍රව්‍ය කොටන විට හීරැස්ස සතු කසන ස්වභාවය ඉවත් කර ගන්නට පොල් ස්වල්පයක් ද එකතු කර ගන්න. මෙසේ සිහින් වෙන්නට කොටාගත් ද්‍රව්‍ය මලවා ගෙන රාත්‍රියට විලුබේ බැදීම කළ යුතුයි. මෙය දිනපතා සති දෙකක පමණ කාලයක් සිදු කිරීමෙන් විලුබ ආශ්‍රිත මේ වාත කණ්ඨක දෝෂය මගහරවා ගන්නට පුළුවන්.
  • හීන් උදුපියලිය මිටක් ගෙන සිහින් වෙන්න කොටා ගන්න. පසුව ඒ කොටාගත් උදුපියලිය ටික පසෙකින් තියලා  ටික විශාල ප්‍රමාණයේ තිරිවානා ගලක් ගෙන එය ගින්දරෙන් රත් කරගෙන එය සිමෙන්ති පොළවේ හෝ යකඩ තහඩුවක් මත තබා එවෙලේම කොටාගත් උදුපියලිය ටික ඒ මතට දමා ගෙන සිදුරක් සහිත පොල් කටුවකින් වසා තබන්න. පසුව ලුණු වතුර ස්වල්පයක් ඒ පොල්කටු සිදුරෙන් ඉවත් කර එයින් නැගෙන වාෂ්පය වේදනාව ඇතිවන විලුබට ඇල්ලිය යුතුයි. වාෂ්පය අවසන් වුණාට පස්සේ මේ උදුපියලිය ටික ගෙන රාත්‍රියට විලුබේ තබා බැද ගන්න. 
  • හීන් උදුපියලිය පොල් කුඩු සහ අමු කහ ආදිය මලවා රාත්‍රියට විලුබේ බැද උදෑසන ඉවත් කරන්න. 
  • මේ සියලු ප්‍රතිකාර සිදුකරන අතර මුලින්ම සඳහන් කළ මඳ උණුසුම් ජලයට ලුණු කහ දමා පාදය එහි දමාගෙන සිටීම කළ යුතු වෙනවා.
  • උණුවතුරට දමා එසැණින් ගත් ගෝවා කොළ විලුබේ බැද විනාඩි 20 කින් ඉවත් කිරීම 
  • පොල් තෙල් මගින් පතුල් සම්බාහනය කිරීම 
  • ඒ හැරුණාම පාදයට විවේකයක් ලබාදීම ඇතුළු මේ රෝග තත්ත්වය ඇතිවීමට බලපාන හේතු පාලනය කරගත යුතු වෙනවා. ඒ අතර සිරුරේ බර අඩු කර ගැනීම, සිරුරට උෂ්ණ ආහාර වන ඉස්සො, දැල්ලෝ, අච්චාරු හැකිතාක් අඩු කරන්න. ඒ අතරේ රුධිරය පිරිසිදු කරන එරමුසු, රණවරා ආදී ඔසු පානයන් ගැනීමටත්  අමතක නොකරන්න.