ඇගේ වේදනාව සුව කරන ආයුර්වේද පිළියම් 9 ක්

health tips

ආයුර්වේදයේ වේදනාව යන්න ‘ශුල’ යනුවෙන් හඳුන්වයි. මෙය රෝගයක් නොව බෙල්ල, කොන්ද,ශ්‍රෝණි ප්‍රදේශය,උදරය,පපුව,හිස,දණහිස්,ස්නායු, පේශී, සන්ධි, කකුල් ආදී සිරුරේ විවිධ ස්ථාන වල බලපෑම් ඇතිකළ හැකි රෝග ලක්ෂණයකි.සිරුරටම බලපාන වේදනාව ආයුර්වේදයේ ‘අංගමර්ද’ නම් වේ.අධිකව කය වෙහෙසවීම,ඇදීයාම්, පෙරළීම්,හා බිඳීයාම් වේදනාවට බලපාන ප්‍රධාන හේතුය.රක්තපාත ආතරයිටිස්,රූමටොයිඩ ආතරයිටිස්,ඔස්ටියෝ ආතරයිටිස්,සයටිකා රෝගය,දියවැඩියාව හේතුවෙන් ඇතිවන ස්නායු මියයාමේ රෝගය, ෂිංගල්ස් හා හීල් ස්පර් , උණ, යකඩ ඌනතා නිරක්තිය,ශරීර කොටස් වලට ප්‍රමාණවත් ලෙස  රුධිරය නොලැබීම,වෙරිකෝස් නහර, අස්ථි බිඳීයාම්, ඔස්ටියෝපොරෝසිස්වැනි සෞඛ්‍ය ගැටලු නිසා ද වේදනාව හටගනියි.ඒ අනුව වේදනාවට ප්‍රතිකාර කරන ආකාරය මේ එක් එක් රෝග මූල අනුව වෙනස්වෙයි.

සියලුම වේදනාවන්ට මූලික හේතුව සිරුරේ වාත දෝෂය කිපීම බව ආයුර්වේදයේ පිළිගැනීමයි.ඇතැම් විට සෙම හා පිත් දෝෂ වල බලපෑම ද ඊට එල්ල විය හැකියි.අනෙක් දෝෂ කිපීම නිසා වාත දෝෂයට ඇතිවන බලපෑම සිරුරේ වේදනාව හටගැනීමට තුඬු දෙයි.උදාහරණයක් ලෙස සිරුරේ පිත හා සෙම අසමතුලිත වීම වාත චලනය අවහිර කරවීම වේදනාව ඇතිවීමට හේතුවේ.විෂද්‍රව්‍ය එක් ‍රැස් විම නිසා ද වාතයේ නිදහස් ප්‍රවාහය අවහිර වී සිරුරේ වේදනාව හටගනියි.එඬරු,රසකිඳ,තිබ්බ‍ටු,මස්බැද්ද,කුන්දිරික්කන්, එරඬු ආදි ඖෂධ වර්ග වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිර්දේශ කෙරෙන වේදනාව දුරුකරන ප්‍රතිකාර ක්‍රම

  • ‘ස්නේහන’-ඖෂධීය තෙල් ගැල්වීම මඟින් වේදනාවට ප්‍රතිකාර කිරීමයි.වාත දෝෂ සමනය කරන සාර්ථක චිකිත්සාවන් අතරින් එකකි.විෂ අපද්‍රව්‍ය බැහැර වීමට සලස්වමින් රුධිර ගමනාගමනය වැඩිදියුණු කරයි;සන්ධි හා පේශී තදගතිය හා වේදනාව දුරලයි.තෙල් සම්බාහනය මේ යටතේ එන සාර්ථක ක්‍රමයකි.
  • ‘ස්වේදන’-රත්කළ ලෝහ වස්තු,දෑත් වල උණුසුම,හුමාලය හෝ උණුසුම් කළ රෙදි කැබැල්ලක් ආධාරයෙන් තාපය මඟින් සිරුරට දහඩිය වැටීමට සැලැස්වීමයි.සිරුරේ විෂ ද්‍රව්‍ය දිය කරහරිමින් ජීර්ණ මාර්ගය හරහා බැහැර කරවයි.වාත රෝග දුරුකරවන මූලිකම චිකිත්සාවකි.සිරුරේ තදගතිය හා බර ගතිය දුරුකරමින් සැහැල්ලුව ඇතිකරවයි.
  • ‘නස්‍ය’-ශාකසාර හා ඖෂධ තෙල් වශයෙන් නස්න කිරීම හෙවත් නාස් කුහර හරහා ආග්‍රහණය කිරීමයි.නාසය හිස දක්වා දිවෙන මාර්ගයකි.මෙය හිසරදය වැනි වේදනාවන් සමනයට ඉතා ඵලදායි ප්‍රතිකාර ක්‍රමයකි.මිග්‍රේන් (ඉරුවාරදය),කන් කැක්කුම,බෙල්ලේ හා හණු වල තදගතිය, කැස්ස හා ටොන්සිලයිටිස් වැනි ප්‍රදාහය තත්වයන් දුරුකරගැනීම්ට ද උපකාරී වේ.
  • ‘වමන’-වමනය වීමට සලස්වන ඖෂධ ලබාදීමයි.මෙහිදී ආමාශයේ එකතු වී ඇති විෂ ද්‍රව්‍ය,සෙම හා පිත ඇතුළු දෑ ඉවත් වීම සිදුවෙයි.මෙය සෙම දොස් දුරුකරවන ඵලදායි ප්‍රතිකර්මයක් ද වේ.වාත දොස් සමතුලිත කරයි.කැස්ස හා ඇදුම ලක්ෂණ ඇති රෝගීන්ට තිප්පිලි ලබාදීම සිදුකරයි.සෙම දුරුකිරීම අජීර්ණයට ප්‍රතිකාර කිරීමට සහය දෙයි.
  • ‘විරේචන’-වැඩි වූ පිත හරණය කිරීමට විරේක ප්‍රතිකාර ලබාදේ.විෂ අපද්‍රව්‍ය හා අනෙකුත් කිපී ඇති දෝෂ දුරුකිරීමට ද සහය දෙයි.රූමටොයිඩ් ආතරයිටිස් වැනි සන්ධි ආශ්‍රිත ඉදිමුම හා වේදනාව ඇතිකරන රෝග වලට ප්‍රතිකාර කිරීමේදීද උපකාරී වේ.
  • ‘බස්ති’-ගුද මාර්ගය හරහා බඩවැල් තුළට ඖෂධ හා තෙල් වර්ග ඇතුළත් කරමින් ප්‍රතිකාර කිරීමයි. වස්ති කිරීම ලෙස ද හඳුන්වයි. විෂ අපද්‍රව්‍ය හා තිදොස් දුරුකරමින් බඩවැල් පිරිසිදු කරයි.ආමාශ ආන්ත්‍රික, සන්දි හා ස්නායුමාංශපේශි ආබාධ වල ලක්ෂණ පාලනයට උපකාරි වේ.
  • ‘රක්තමෝක්ෂන’-ලෝහ උපකරණ, කූඩැල්ලන්, හරක් අං හෝ වියළි කරවිල ආධාරයෙන් අපිරිසිදු රුධිරය ඉවත්කිරීමයි.වාත හා පිත දොස් දුරුකිරීමට මූලිකව යොදාගනියි.

වේදනාව දුරුකරන ආයුර්වේදීය ඖෂධ වර්ග

  • එඬරු-මූත්‍රා, ස්නායු, ස්ත්‍රී ප්‍රජනන හා ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිත ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි.වේදනාව දුරුකරවන, සිරුර සමනය කරන හා විරේචක ගුණ අඩංගුයි.කිපුණු වාත දොස් දුරුකර වේදනාව හා ඉදිමුම දුරුකරයි (බාහිරව ගැල්වීමෙන්).වෛද්‍ය උපදෙස් යටතේ සුදුසු මාත්‍රාවක් පරිභෝජනය කිරීම කළ හැකියි.ආතරයිටිස් හා සයටිකා පාලනයට ගුණදායිය.’වාත රෝග දුරුකරන රජු’ ලෙස හඳුන්වයි.
  • රසකිඳ-රුධිර සංසරණ පද්ධතිය හා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරී බවට ප්‍රතිලාභ දෙන ප්‍රතිශක්තිය වඩවන ඖෂධයකි.රුධිරය පිරිසිදු කරයි. සමස්ත සිරුර ශක්තිමත් කරයි.සිරුරේ අප්‍රාණිකත්වය ඇතිකරවන ප්‍රතිශක්ති ඌනතා රෝගය (ඒඩ්ස්),පිළිකා, රක්තපාතය,රූමටොයිඩ ආතරයිටිස්,ක්ෂය රෝගය හා නිදන්ගත මැලේරියා උණ වැනි වේදනාකාරී රෝග වලට ඉතා ඵලදායිය.රසකිඳ සාරය හෝ කුඩු වශයෙන් ලබාගත හැකියි.
  • තිබ්බ‍ටු-ශ්වසන පද්ධතියට, මූත්‍රා පද්ධතියට හා ප්‍රජනන පද්ධතියට මෙන්ම සංසරණ පද්ධතියට ගුණදායකයි.වාතහරණ හා හෘදයට හිතකර ගුණ ඇති මූත්‍රාවර්ධක ඖෂධයක් ද වේ.කැස්ස, ඇදුම හා පපුවේ වේදනාව පාලනයට ඵලදායිය.ගෑස් දුරුකරමින් බඩපිපුම නිසා ඇතිවන උදර වේදනාවට ප්‍රතිකාර කරයි.කුඩු හෝ කසාය ලෙස ලබාගත හැකියි.
  • මස්බැද්ද-මූත්‍රා පද්ධතියට, රුධිර සංසරණ පද්ධතියට මෙන්ම ප්‍රජනන පද්ධතියේ නීරෝගිකම වැඩිකරවයි.දියවැඩියාවට ගුණදායකයි.දියවැඩියා රෝගය නිසා ස්නායු හානිවීම් ඇතිවීම වළකයි.උණ, කැස්ස හා ග්‍රන්ථි ඉදිමුම් වලට ද ප්‍රතිකාර කරයි.කසාය හෝ කුඩු වශයෙන් ලබාගත හැකියි.හදවත උත්තේජනය කරන ගුණාංග ඇති නිසා කොළ පරිභෝජනයට ගැනීමේදි සැලකිලිමත් විය යුතුයි.
  • කුන්දිරික්කන්-සන්ධි හා අස්ථි ආශ්‍රිත ප්‍රදාහය,තදගතිය හා වේදනාව දුරුකරයි.ආතරයිටිස් ලක්ෂණ පාලනයට ගුණදායිය.කිපී ඇති වාත දෝෂ දුරලයි.ශක්තිය වඩවන ගුණාංග ඇති ඖෂධයක් නිසා අස්ථි හා සන්ධි වල නීරෝගීබවට ඉතා හිතකරයි.ප්‍රතිප්‍රදාහක හා හෘදය ආරක්ෂා කරන ගුණ ද ඇත.

වේදනාවෙන් පෙළෙන රෝගීන් කළ යුතු හා නොකළ යුතු දේවල්

  • බාර්ලි, රතු පරිප්පු, මුං ඇට වැනි ආහාර පරිභෝජනයට එක්කරගන්න.
  • දෙළුම් හා මිදි වැනි පලතුරු ආහාරයට ගන්න.
  • පහසුවෙන් දිරවන ආහාර අනුභවයට ගන්න.
  • උදෑසන කාලයේ සම හිරු එළියට නිරාවරණය වීමට සලස්වන්න.

නොකළ යුතු:

  • බඩගින්න,පිපාසය හා මලමූත්‍රා පිටකිරීම වැනි සිරුරේ ස්වභාවික අවශ්‍යතාවන් ආයාසයෙන් සිරකරගෙන නොසිටින්න.
  • බර ආහාර ගැනීමෙන්, අධිකව ආහාර ගැනීමෙන් හා නිතර නිතර ආහාර ගැනීමෙන් වළකින්න.
  • අධිකව කය වෙහෙසවීමෙන් වළකින්න.

*වේදනාව දිගින් දිගටම පවතියි නම් එම තත්වය නොසලකා හැරීමෙන් වළකින්න.මෙහි සඳහන් ඖෂධ භාවිතයට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සැලකිලිමත්වන්න.