හිසරදයක් , අතේ පයේ වේදනාවක් ඇතිවූ සැණින් බොහෝදෙනෙක් පුරුදු වෙලා ඉන්නේ පැරසිටමෝල් වගේ ක්ෂණික වේදනා නාශකයක් භාවිතා කරන්නට. ඒ විතරක් නෙවෙයි වෙනත් රෝග තත්ත්වයන්වලදී පවා වේදනාව අඩුකර ගන්නට මේ වේදනා නාශක දිර්ඝකාලයක් භාවිතා කරන්නත් ඇතැම් අය පුරුද්දක් කරගෙන තියෙනවා. නමුත් එය ඇත්තටම ඔබේ දේහයේ සෞඛ්‍ය සම්පන්න බවට කෙතරම් බලපෑමක් සිදු කරනවා ද යන කාරණාව පිළිබඳව බොහෝදෙනෙක් දැනුවත් නැහැ.
අපි හැමෝටම ලෙඩක් දුකක් නැතිව ජීවත් වෙන්නට බැහැ. කුමන හෝ අසනීපයක් අපිට කුමන අවස්ථාවකදී හෝ ඇතිවෙන්නට පුළුවන්. ඉතින් රෝගයක් වු විට එයින් සුවයක් සහනයක් ලබා ගන්නට ඖෂධමය ප්‍රතිකාර අපි වෛද්‍ය නිර්දේශය මත ලබා ගන්නවා. මොකද අනවබෝධයෙන් ලබාගන්න ඖෂධ යම්විටෙක අපිට මරණය වුණත් ගෙනදෙන්නට තරම් ප්‍රබල විය හැකි නිසා. ඒ නිසා අපි ලබා ගන්නා ඖෂධ ගැන, ඒවායේ මාත්‍රාව පිළිබඳව සහ ඒවායින් ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳවත් අප තුල අවබෝධයක් තිබිය යුතුයි. නමුත් බොහෝදෙනා වෛද්‍යවරුන්ගේ අනුමැතියක් නොමැතිව වේදනා නාශක හිතුමතේ භාවිතා කිරීමෙන් ඉතාම දරුණු ආකාරයේ අතුරු ආබාධවලට ගොදුරු වෙනවා.
පැරසිටමෝල් කියන්නේ වේදනා නාශක ඖෂධයේ ඖෂධීය නාමය. මේ පැරසිටමෝල් ඖෂධයට වෙළඳනාම 30-40 ක් තරම් ප්‍රමාණයක් පවතිනවා. පැනඩෝල් කියන්නේ එහි එක් වෙළද නාමයක්. මේ පැරසිටමෝල් උණ, හිසරදය, ඇගේ පතේ වේදනාව අඩුකර ගන්නටත් වෛද්‍යවරුන් නිර්දෙශ කරනවා. එය පැය 6 ට වරක් දිනකට තුන්වරක් ගත යුතු ඖෂධයක්. නමුත් යම් අයෙක් පැය 6 ක් ගතවෙන්නට පෙර නැවත පැරසිටමෝල් ලබා ගත්තොත් එය පුද්ගලයාට මරණය ගෙනදෙන්නට පවා පුළුවන්. ඒ හැරුණාම බොහොමයක් වේදනා නාශක දිගින් දිගටම ගැනීම වගේම අධි මාත්‍රාවෙන් ගැනීමත් අතුරු ආබාධ බොහොමයක් ඇති කරන්නට හේතු වෙනවා.

- අසාත්මිකතා ඇතිවීමේ හැකියාව ඇතැම් අයෙකූට වේදනා නාශක විට ඒවා අසාත්මික වෙන්නට පුළුවන්. වමනය යාම, හුස්ම ගැනීමේ අපහසුතා වගේම තොල් පැලීමත් ඒ අතරේ සිදු වෙන්නට පුළුවන්.ඒ නිසා එවැනි අයෙක් වේදනා නාශක භාවිතා කිරීමට පෙර වඩාත් සැලකිලිමත් වන්නට ඕන.
- ගර්භනී මව්වරුන්ට අහිතකර වීමේ හැකියාව මවකගේ කුස තුළ වැඩෙන කළලයට මේ වේදනා නාශක ගැනීම ඉතාම හානිදායක ලෙස බලපානු ලබනවා.යම් අවස්ථාවක ගර්භණී මවක් වේදනා නාශක භාවිතා කළොත් එය අඩුබර සහිත දරුවන් ලැබීමට වෙනත් මානසික ව්‍යාකූලතා සහිත දරුවෙක් ලැබීමටත් හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මව් කිරිදෙන කාලයේදී යම් විටෙක වේදනා නාශක භාවිතා කළොත් එය දරුවාට හානිදායක ලෙස බලපානවා. ඒ නිසා ගැබිනි මවක් හෝ කිරිදෙන මවක් වේදනා නාශක භාවිතා කරන්නේ නම් ඒ සඳහා ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගත යුතුමයි.
- බඩ පපුවේ දැවිල්ල පමණ ඉක්මවා නිතර නිතර වේදනා නාශක ඔබ භාවිතා කළොත් එයින් විවිධාකාරයේ සංකුලතා අපිට මතු වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම උදරයේ වගේම පපුවේ දැවිල්ල හා වමනය ආදී තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන්. වෛද්‍ය උපදේශයකින් තොරව තමන්ට නුසුදුසු ආකාරයේ වේදනා නාශක පමණ ඉක්මවා භාවිතා කිරීමෙන් මෙවැනි සංකුලතා වගේම ඇතැම්විට මරණය වුණත් ඇති වෙන්නට ඉඩකඩ පවතිනවා.
- අක්මාවට හානි සිදුවීම අක්මාවට හානි සිදු කරන හේතු බොහොමයක් අතුරින් අරිෂ්ට වගේම වෙනත් බටහිර ඖෂධ වර්ගත් ප්‍රධාන වෙනවා. විශේෂයෙන්ම Acetaminophen නම් වේදනා නාශක අක්මාව විනාශ කරන්නට හේතුවක් වෙනවා. නිරන්තරයෙන් මෙවැනි වේදනා නාශක භාවිතය සහ අධි මාත්‍රාවෙන් ලබා ගැනීමත් අක්මාව විනාශ කරන්නට හේතු වෙනවා. එය අක්මාවේ ප්‍රදාහයන් ඇතිවීමටත් හේතුවක්.

- කුඩා දරුවන්ට සින්ඩ්රොම් තත්ත්ව ඇතිවීම මේ තත්ත්වය ඉතාම භයානකයි. මෙයින් දරුවන්ගේ ජීවිත පවා අවදානමට ලක්විය හැකියි. බොහෝ දෙමාපියන් උණ ඇතිවූ විට නැත්නම් කම්මුල්ගාය, හිසරදය වගේ අවස්ථාවලදී වුණත් වෛද්‍ය නිර්දේශයකින් තොරව වේදනා නාශක ලබා දෙනවා. නමුත් හිතුමතේට එසේ දරුවන්ට වගේම නව යොවුන් වියේ දරුවන්ට හෝ මෙසේ වේදනා නාශක ලබාදෙන්නට පෙර දෙමාපියන් වශයෙන් ඔබ දෙවරක් සිතා බලන්න.
- මානසික තත්ත්වය වෙනස්වීම ඇතැම් වේදනා නාශක ඇදුම රෝගීන්ට සුදුසු වෙන්නේ නැහැ .එවන් අයෙක් මේ වේදනා නාශක ගත්විටෙක එය ඒ පුද්ගලයාගේ මානසික මට්ටමට පවා හානිදායක වන්නට පුළුවන්. ඒ හැරුණාම,
- බඩ බුරුල් වී යාම
- බඩ වියළීම
- කරකැවිල්ල
- හිසරදය
- කනේ රැහැයි ශබ්දය ඇතිවීම ආදී අතුරු ආබාධත් ඇති වන්නට පුළුවන්.
වේදනා නාශක භාවිතයේදී ඔබ වෙනත් රෝග සඳහා භාවිතා කරන ඖෂධ සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් සිරුරට හානිදායක බලපෑම් ඇති කරන්නට හැකියාව පවතිනවා. ඒ වගේම ඇතැම් වේදනා නාශක සමහර රෝග සඳහා අහිතකර තත්ත්වයන් නිර්මාණය කරනවා. ඒ වගේම ඒවා ලබාගත යුතු මාත්‍රාව පවා වයස අනුව, බර අනුව සෞඛ්‍ය මට්ටම අනුවත් වෙනස් වෙනවා. ඒ නිසා වඩාත් සුදුසුම කාරණය වෙන්නේ වෛද්‍යවරයෙකුගේ උපදෙස්වලට අනුව නිසි මාත්‍රාවෙන් ඒ අපහසුතාවය සඳහා පමණක් වේදනා නාශක ලබා ගැනීමයි . කිසිදු විටෙක හිතුමතේට යම් යම් අපහසුතා මගහරවා ගන්නට වේදනා නාශක භාවිතා කිරීම ඔබට මරණය පවා ගෙනදෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයයි.