අපි ගන්නා ආහාර වේල පෝෂ්‍යදායී එකක් වෙන්නට නම් අනිවාර්යෙන්ම කුමන හෝ පලාවක් එයට එකතු කරගත යුතු බව අප කුඩා කාලයේ ඉඳලම ඉගෙන ගෙන තියෙනවා. ඒත් හැමදාම එකම පළා වර්ග ආහාරයට ගන්නවට වඩා විවිධ රසයන්වලින් විවිධ ගුණයන්වලින් යුක්ත පලා වර්ග නිතරම ආහාරයට එකතු කරගන්න කියලා කියන්නේ අපිට රෝගවලින් හොඳ ආරක්ෂාවක් එයින් ලැබෙන නිසා.
හැමදාම කන පලා වර්ග වෙනුවට අද වඩාත් බරපතළ ලෙස පැතිරෙමින් යන පිළිකා, දියවැඩියාව, කොලෙස්ටරෝල් ආදී රෝග තත්ත්වයන් හොඳින් පාලනය කරගන්න උපකාරී වන පළා වර්ග ටිකක් තෝරා බේරාගෙන ආහාර එකතු කර ගත්තොත් කොයිතරම් හොඳ ද? .
අපි වැඩිපුර ආහාරයට එකතු කර ගන්නා මුගුණුවැන්න ගොටුකොළවලටත් වඩා වැඩි පෝෂ පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වෙන පලා වර්ග ඕනෑ තරම් තියෙනවා. ඉතින් ඒවා පිළිකා නාශක ගුණයෙනුත් සමන්විත නිසා අපි බලමු ඒ වගේ පලා වර්ග කිහිපයක් පිළිබඳව.
ශ්‍රී ලංකාවේ හැදෙන වැඩෙන පලා වර්ග 34ක් භාවිතා කරමින් පලා වර්ගවල ඇති ප්‍රතිඔක්සිකාරකයන්වල වෙනස්වීම් හඳුනාගෙන සිදු කරන ලද පර්යේෂණයකින් තමයි මේ පලා වර්ග පිලිකා ඇතුලු බෝ නොවන රෝගවලට ඉතාම ගුණදායක බවට තහවුරු කර ගෙන ඇත්තේ.
අද අපට වැඩිපුර අහන්නට ලැබෙන පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග ශීඝ්‍ර වශයෙන් වර්ධනය වෙන්නේ ශරීරය අධික ලෙස ඔක්සිකාරක ප්‍රතිදේහ සහ මුක්ත ඛණ්ඩ නිෂ්පාදනය වීම හේතු කරගෙන. එය අපේ ශරීරයේ ඇති ඉන්ද්‍රියන්වලට විවිධ හානි සිදු කරනවා. විශේෂයෙන්ම මේ නිසා අපේ සෛල පටකවලට හානි සිදු වෙනවා. බොහෝ නිදන්ගත රෝග තත්ත්වයන් පවා ඇති වෙනවා.
ඒ වගේම ආතතිය වැඩි වුණාම ශරීරයේ තියෙන ඔක්සිකාරක ප්‍රභේද වැඩීම සිදු වෙනවා . මේ අධික ලෙස ශරීරයේ නිෂ්පාදනය වන ඔක්සිකාරක ප්‍රභේද සමඟ හොඳින් සටන් කරන්නට ප්‍රතිඔක්සිකාරක බහුලවම ඇති ආහාර ගත යුතු වෙනවා.මේ අපි කතා කරන පලා වර්ගවලත් ප්‍රතිඔක්සිකාරක ගුණ ඉතාම ඉහළ මට්ටමකින් අන්තර්ගත වෙනවා.

අඟුණකොළ මේ කිරි අඟුණ ශාකය ගෙවත්තේ මල් පෝච්චියක වුණත් ඉතාම පහසුවෙන් වගා කර ගන්න පුළුවන්. අපි ආහාරයට ගන්නා අනෙකුත් පලා වර්ගත් සමග සසඳා බලද්දී කිරි අඟුණවල කැල්සියම්, පොස්පරස් සහ යකඩ ඉහල ප්‍රතිශතයකින් අන්තර්ගත වෙනවා. ඒ වගේම විටමින් a සාදන බීටා කැරොටින් පදාර්ථ ඉතා ඉහළ වශයෙන් අඩංගු වෙනවා.
ප්‍රතිඔක්සිකාරකත් වැඩිපුර අන්තර්ගත මේ පලාව පිළිකා ඇතිකරන මුක්ත ඛණ්ඩකවලින් වන බලපෑම අඩු කරන්න උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි රුධිරය පිරිසිදු කිරීම, දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී රෝගවලටත් ඉතාමත් ගුණදායකයි, මේඅඟුණ අඟුණ කොළ සම්බෝලයක් වශයෙන් මැල්ලුමක් වශයෙන් ව්‍යංජනයක් වශයෙන් වගේම කැඳ වශයෙනුත් පිළියෙල කරගෙන ආහාරයට ගන්නට පුළුවන්. නමුත් මේවා දිනපතාම ආහාර එකතු කර ගැනීම එතරම් සුදුසු නැහැ. මොකද සීනි මට්ටම අඩු වෙන්නට වැඩි හැකියාවක් මේ පලාවට තියෙන නිසා .
රණවරා අතීතයේ සිටම ජනතාව අතර වඩාත් ජනප්‍රිය පානයක් වුණු රණවරා බෝ නොවන රෝගවලින් ආරක්ෂා වෙන්නත් උපකාරී වෙනවා. මේ රණවරා ශාකයේ පස්පංගුවම විවිධ ඖෂධ සඳහාත් ආහාර පිණිසත් භාවිතයට ගන්නා නිසා එය අතිශයින්ම අපට සමීප ශාකයක්. ආහාර ජීර්ණය පහසු කිරීම, මල බද්ධය, අර්ශස් දියවැඩියාව,උගුර ආශ්‍රිත රෝග සඳහාත් හෘදයාබාධවලටත් මධ්‍යසාර හේතුවෙන් ඇතිවන අක්මා රෝගීන්ටත් මෙය ගුණදායකයි.
විශේෂයෙන්ම ප්‍රතිඔක්සිකාරක බහුලවම අඩංගු වෙන නිසා ශරීරයේ විශ වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්නට රණවරා කොළ මැල්ලුමට සහ කොළ කැඳවලට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ නිසා පිළිකා ආදී රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙලා ඉන්නට රණවරා අතිශයින්ම ප්‍රයෝජනවත්.
වැල් දොඩම් කොළ අපි හැමෝම කැමතියි පලතුරක් වන වැල්දොඩම්වල කොළ ඉතාම ගුණදායක පලාවක්. අද බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකරන කේන්ති යාම, මානසික පීඩනය, මානසික බිඳවැටීම් ආදි බොහෝ සෞඛ්‍ය ගැටලු සඳහා මෙය ඉතාම හොඳ දිව්‍ය ඖෂධයක් විදිහට නම් කරන්න පුළුවන්.
සම්බෝලයක් ලෙස මැල්ලුමක් ලෙසත් කලවම් පලාවටත් ඉතාම අගනා රසවත් පලාවක් විදිහට වැල්දොඩම් කොළ දක්වන්න පුළුවන්. කොලෙස්ටරෝල් ස්වභාවිකව අඩු කරන්නට, අධි රුධිර පීඩනයට ඉතාම ගුණදායක මේ පලාවට විශාදය රෝගය වැළැක්වීමේ සහ පිළිකා රෝගය වැළැක්වීමේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. ප්‍රතිඔක්සිකාරක බහුලවම අඩංගු වීම බෝ නොවන රෝගවලින් හොඳ ආරක්ෂාවක් ලබා දෙන්න උපකාරී වෙනවා. ඒ හැරුණනහම vitamin ඒ, සී, රයිබොප්ලෙවින්, යකඩ, පොස්පරස් ආදිය අන්තර්ගත වෙන නිසා අද වෙද්දි බටහිර රටවල ග්‍රීන් ටී වශයෙනුත් මේවා ජනප්‍රිය වෙමින් යනවා.
මැල්ල කොල බොහෝ දෙනෙක් අද ආහාරයට නොගන්නා පලාවක් තමයි මැල්ල කොළ කියලා කියන්නේ.ගෙවතුවල ඉබේ වැවෙන මෙම මැල්ල ගහේ කොළ මලකඩ පාටට හුරුයි. මේ මැල්ල කොල පොඩි කරහම ඒවායින් සැර ගඳක් වහනය වෙන නිසා ධාන්‍ය වර්ග ගුල්ලන්ගෙන් ආරක්ෂා කරගන්නටත් මේ කොළ භාවිතයට ගන්නවා. අටුව වී බිස්ස වගේ වී ගබඩා කළ තැන්වල මේ මැල්ල කොල අතුරන්නට අමතක කළේ නෑ.

මැල්ල ළපටි දළු සම්බෝලයක් වගෙම මැල්ලුමක් වශයෙන් ද ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම ටිකක් මෝරපු කොළ උණු වතුරෙන් පොඩ්ඩක් පෙඟෙන්නට තියලා බැදලා ගන්නවා පපඩම් වගේ. අද වෙද්දි අතලොස්සක් දෙනෙක් හැරුනහම බොහෝ ගෘහනියන් මැල්ල කොළ පිළිබඳව දන්නේ නැහැ. නමුත් මෙහි රසය විතරක් නෙවෙයි ගුණය අතින් ගත්තත් ඉතාමත් ඉහළයි. විශේෂයෙන්ම වාත රෝගවලට ඉතාම ගුණදායකයි. ඒ විතරක් නෙවෙයි අද බොහෝ දෙනෙක් පීඩා විඳින බෝ නොවන රෝග බොහොමයකින් ම ආරක්ෂාව සලසා ගන්නත් පිළිකා සෛල ඇතිවීමටත් හේතු වන මුක්ත ඛණ්ඩ මැල්ල කොළ විශේෂ හැකියාවක් තියෙනවා
ඉතින් හැමදාම කන පලාව වෙනුවට පිළිකාව ඇතුළු බෝ නොවන රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නට සතියකට වරක් දෙවරක් මේ වගේ වෙනස් වූ ගුණ සහිත පලාවක් ඔබේ ආහාරයට එකතු කරගන්න .