හාට් ඇටෑක් නැතිනම් හෘදයාබාධ තත්වයක් කියන දේ අප සාමාන්‍යයෙන් අසා තිබෙනවා. නමුත්, පැනික් ඇටෑක් තත්වය ඔබට එතරම් සමීප වචනයක් නොවෙන්නට පුලුවන්. පැනික් ඇටෑක් තත්වය හදිසියේ ඇතිවන උග්‍ර බියක් දැනීමේ තත්වයක් වන අතර ඔබ මියයාමට යන බවක්, ඔබේ සිරුරේ පාලනය නැතිවි යන බවක් වැනි හැඟීමක් ඔබට තදබලව දැනීමට පටන්ගනියි. මෙය කාංසා රෝග තත්වයකි.මෙම තත්වය ජීවිත තර්ජනයක් ඇති තත්වයක් නොවේ. ජීවිත කාලය තුලදි බොහෝ දෙනා මෙවැනි අත්දැකීම් වලට මුහුණ දෙති.

පැනික් ඇටෑක් තත්වයක් හඳුනාගන්නේ කෙසේද?මෙම කාංසා රෝග ලක්ෂණ සහිත තත්වය සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකි තත්වයකි. පැහැදිලිව දක්නට නොලැබෙන අනතුරක් හෝ හේතුවක් නොමැතිවම පුද්ගලයෙකුට දැඩි බියක් සහ නොසන්සුන්ගතියක් දැනීම හේතුවෙන් ඇතිවිය හැකි බරපතල ශාරීරික ප්‍රතික්‍රියා ලක්ෂණ පහළ වීමක් ලෙස මෙය හැඳින්විය හැකියි. පැනික් ඇටෑක් තත්වයකදි පුද්ගලයාට තමාගේ පාලනය නොමැතිවී යන බව, තමාට හෘදයාබාධයක් ඇතිවෙන්නට යන බව හෝ තමා මේ මොහොතේ මරණයට පත්විමට යන බව වැනි සිතිවිලි ඇතිවිය හැකි බව සඳහන් වේ..
පැනික් ඇටෑක් තත්වයකට ගොදුරුවීමේදී සිරුරේ පෙන්නුම් කළ හැකි සංඥා
1.හුස්ම හිරවීම – අධික ආතතිය නිසා හුස්ම හිරවෙන බවක් නිතර ඇතිවිය හැකියි.යමක් නිසා සිත කලබල පත්ව ඇති මොහොතක මනස පිරී ඇත්තේ එම සිතිවිලි වලින්ම පමණයි.එවිට ඔබේ සිරුරේ සටන් කිරීම හෝ පලායාම (fight-or-flight response) යන යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමට පටන්ගනියි.මොළයට මෙම සිතිවිලි වලින් බැහැර වීමට හැකිනොවන නිසා සිරුර විවිධාකාරයෙන් ප්‍රතික්‍රියා පෙන්නුම් කිරීමට පටන්ගනියි.අමාරුවෙන් හුස්ම වැටීම ඉන් එකකි.හුස්ම ගැනීම අපහසු නිසා පෙනහළු වලට ප්‍රමාණවත් තරම් වාතය නොලැබෙයි.ඇතැම් විට වේගයෙන් හුස්ම ගැනීමට පටන්ගත හැකියි.නාසයෙන් හුස්ම ගෙන කටින් හුස්ම පිටකිරීමට හැකිතාක් උත්සහ කරන්න.මෙය සෙමින් සිදුකිරීම වැදගත්.
2.වෙවුලීම-ආතතියට පත්වූ විට සිරුර අමුතු ආකාරයෙන් ක්‍රියාකරයි. හදිසියේම සීතලක් දැනී වෙවුලීමට පටන්ගැනීම එවැනි තවත් ලක්ෂණයක්.මෙසේ වන්නේ රුධිර ගමනාගමනය දුර්වල නිසයි.කාංසාව ඇතිවිට රුධිර ගමනාගමනය පහසුවෙන් සිදුනොවෙයි.ඒ නිසා සිරුරට සීතල හටගෙන වෙවුලීමට පටන්ගනියි.උණුසුම් වටපිටාවකදී වුවත් ජර්සියක් ඇඳගෙන සිටීමට තරම් අධික සීතලක් පුද්ගලයාට දැනිය හැකියි.
3.තාප ග්‍රහණ (hot flashes)-වෙවුලුම හැරෙන්නට සිරුර ප්‍රතිචාර දක්වන තවත් ආකාරයෙන් ලෙස සිරුරට එකවරම අධික රස්නියක් දැනීමට පටන්ගත හැකියි.යම් අවදානමක් දුටු විට ඉන් පලායාම විකල්පය බව සිරුර අපට දනවයි.නමුත් සිතිවිලි වලින් එතරම් පහසුවෙන් පලායන්නට නොහැකි තැන සිරුර ඇතුළත රත්වීමට පටන්ගනිමින් ඊට ප්‍රතික්‍රියා කරයි.මේ සමඟ හෘද ස්පන්දනය ද වේගවත්විය හැකියි.

4.අධික ලෙස දහඩිය දැමීම-සිරුරේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ දහඩිය වැඩිවශයෙන් පිටවෙයි.පැනික් ඇටෑක් තත්වයකදී මුළු ඇඟම දහඩියෙන් තෙත් වී ඇති බවක් දැනෙන්නට පටන්ගනියි.හදවතේ ගැස්ම ඉහළ යයි.ඇඩ්රිනලින් ස්රාවය වැඩිවෙයි. අධික වේගයෙන් දිවීමෙන් පසු දහඩිය දමන ආකාරයෙන් සිරුරෙන් දහඩිය වැගිරෙයි.නොසන්සුන්බව නිසා එක තැනකට වී සීරුවෙන් සිටීමට නොහැකියි.ඔබේ මනස කලබල වෙයි.මෙම තත්වයන් ඇතිවීම පාලනය කරගැනීමට නිතිපතා ශ්වසන අභ්‍යාස වල යෙදෙන්න. ඉන් ඔබේ මනස මෙන්ම සිරුරට ද හොඳ සැහැල්ලුවක් ලැබෙයි.සිරුර සන්සුන් වී ආතතිය දුරුවෙයි.
5.තදබල පපුවේ වේදනාව-පැහැදිලි හේතුවක් නැතිව තදබල පපුවේ වේදනාවක් දැනෙන විට කවුරුත් කලබලයට පත්වෙනවා.පැනික් ඇටෑක් තත්වයකදී හුස්ම හිරවෙන ගතියත් හා හදවතේ ගැස්ම වැඩිවීමත් සමඟ තියුණු පපුවේ වේදනාවක් දැනීමට පටන්ගත හැකියි.එය පපුව මැදට පිහියකින් හෝ උල් ආයුධයකින් අනිනවාක් මෙන් ප්‍රබල වේදනාවක්,දරාගත නොහැකි තෙරපුමක් විය හැකියි.මේ තත්වය උපරිම මිනිත්තු 10ක් පමණ තිබී සමනය වී යයි.මීට වඩා වැඩි කාලයක් පපුවේ වේදනාව තිබෙයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
6.තමන්ට තමන්වම පාලනය කරගත නොහැකියි බිය දැනීම-පැනික් ඇටෑක් තත්වයකදී මනසට ඇතිකෙරෙන බලපෑමක් ලෙස මෙය හඳුන්වන්නට හැකියි.නිතරම මනසින් වදවෙමින් සිටින නිසා සැම විටම පුද්ගලයා අනිසි බියකින් පෙළෙයි.තමන්ට තමන්වම පාලනය කරගත නොහැකි යැයි තදබල බියක් දැනෙන අතර පැනික් ඇටෑක් තත්වයකදී එම සිතිවිලි වඩාත් උග්‍ර වී පුද්ගලයා අධිකව නොසන්සුන් වීමට පටන්ගනියි.නිතරම ඔබට මෙවැනි සිතිවිලි ඇතිවෙයි නම් මනෝවෛද්‍ය සහය ලබාගන්න.
7.තදබල හිසරදය-පැනික් ඇටෑක් තත්වයකදී දැනෙන හිසරදය ඉතා පීඩාකාරී අත්දැකීමක්.හිස ඇතුළත කිසිවකින් කොටනවාක් මෙන් ප්‍රබල වේදනාවක් දැනෙයි.දහඩිය දැමීම, පපුවේ වේදනාව හා ඇඟපත වෙවුලීම වගේ අනෙකුත් රෝග ලක්ෂණ ද මතුකරයි.මේ සමඟ මුළු සිරුරම රිදුම් දීමට පටන්ගත හැකියි.පැනික් ඇටෑක් තත්වයක උච්ඡතම අවස්ථාවේදී බොහෝ විට මෙවැනි හිසරදය තත්වයන් මතුවෙයි.කෙසේවෙතත් කෙටි වෙලාවකින් මෙම වේදනාවන් සමනය වී යයි.
9.හිරිවැටීම හෝ පුපුරුගසන ගතිය-ඇතැම් විට කිසිඳු දෙයක් නොදැනීමට පටන්ගත හැකියි.සිරුරේ ඇතැම් කොටස් හිරිවැටෙයි.සම්පූර්ණයෙන් හිරිවැටී නැති අවස්ථාවක් නම් සියුම් පුපුරු ගසන ගතියක් දැනීම ඔබට දැනෙන එකම ප්‍රබල සංවේදනය වෙයි (බොහෝවිට අත් සහ කකුල් වල).යටිපතුල් වල පුපුරුගසන ගතිය ඇල්පෙනෙති ඉඳිකටු උඩ ඇවිදිනවාක් මෙන් අත්දැකීමකට සමානයි.දුර්ලභ අවස්ථාවක් ලෙස මුහුණේ පේශී හිරිවැටීමට පටන්ගනියි.හිරිවැටීම සිදුවන්නේ ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් සිරුරට නොලැබීමෙනි. වේගයෙන් ශ්වසනය සිදුවන තරමට හිරිවැටීම ද වැඩිවෙයි.හිරිය මිනිත්තු 20-30ක් පමණ පැවතී සමනය වී යයි.හැකිතාක් සිරුර සැහැල්ලුවෙන් තබාගන්න උත්සහ කරන්න. සන්සුන්ව සෙමින් ගැඹුරින් හුස්ම ගන්න.

9 බඩේ අපහසුතා තදබල කාංසා තත්වය ජීර්ණ මාර්ගයේ හානි මතුකරයි. ඇතැම් විට ආහාර ජීර්ණය වීමට අධික කාලයක් ගතවෙයි.ඇතැම් විට ඉක්මනින් ජීර්ණය වී සිරුරෙන් බැහැර වී යයි.බඩේ වේදනා අපහසුතා මතුවෙයි.තදබල පාචනය (බඩයාම) තත්වයක් ඇතිවිය හැකියි.හිසරදය හා පපුවේ වේදනාව වැනි ලක්ෂණ ද ඒ සමඟ මතුකළ හැකියි.
10 එක්වරම ඇතිවන ඉසකරකැවිල්ල මනස නොසන්සුන්වීමත් සමඟ මොළයේ සමබරතාව ගිලිහෙයි.හුස්ම ගැනීම අපහසු නිසා සිරුරට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබීමත් සමඟයි මේ තත්වය හටගන්නේ.මොළයේ ක්‍රියාකාරීත්වයට නිසි ඔක්සිජන් සැපයුමක් තිබීම ඉතා වැදගත් වුවත් මෙවැනි තත්වයකදී එය අඩාල වෙයි. ඉසකරකැවිල්ල හා ක්ලාන්ත ගතියක් සිරුරට දැනීමට පටන්ගනියි.මෙවැනි තත්වයකදී මුළින්ම කළ යුත්තේ ආරක්ෂාකාරීව යම් තැනක වාඩිවීමයි. සමබරතාව ගිලිහී බිම ඇදවැටීමට ඉඩනොදෙන්න.ඇතැම් විට ඉන් ඔබේ හිසට බරපතල තුවාල හානි ඇතිවිය හැකියි. වාඩි වී සෙමින් හුස්ම ගැනීමට උත්සහ කරන්න.
නිතිපතා ඔබේ මානසික සෞඛ්‍ය හා සුවතාව ගැන සැලකිලිමත්වන්න. ආතතියෙන් මිදෙන්න උත්සහ කරන්න.පැනික් ඇටෑක් තත්වයන් ඇතිවන පුද්ගලයෙකු නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම හරහා නිරන්තරයෙන් එවැනි පීඩාකාරි තත්වයන් යලි යලි ඇති වීම පාලනය කරගත හැකි වනු ඇත. ඔබේ සෞඛ්‍ය පිලිබඳ නිරන්තර සැලකිලිමත්භාවය සහ නිසි වෛද්‍ය සහයක් ලබාගැනීම තුලින් ඔබේ ජීවිතාරක්ෂාව සහතික කරගැනීමට කටයුතු කරන්න.