රෑට සිහිනෙන් දත් මිටි කෑම, බඩ පුරවා දැමීම, නාභිය වටේ ඇතිවන කැක්කුම්, ශරීරය කෙට්ටු වීම, ශරීරය දුර්වල වීම ආදී ලක්ෂණ පෙන්නුම් කරද්දි ඉස්සර අපේ ගැමියන් දැනගත්තා මේ පණුවන් වැඩිවෙලා කියලා. අද වගේ පණු රෝග සුවකරගන්නට එදා වෙදගෙදරට යන්නට ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. මොකද එදා පණු රෝග නැති කරගන්නට විවිධ වූ අත් බෙහෙත් වර්ග, පලා වර්ග ගැන දැනුවත් වෙලා හිටියා.
විශේෂයෙන්ම එදා අපේ වැඩිහිටි පරම්පරාව වසරකට සැරයක් හෝ බඩ විරේකයක් කළා. ආයුර්වේදයේ දීත් හෙළ වෙදකමේ දීත් විරේචනය විදිහට හඳුනා ගන්නා මෙය සෙනෙහෙ කොළ, තැඹිලි, අරළු ,ලුණු ආදිය භාවිතා කරමින් සිදු කළා. නමුත් නූතන පරම්පරාව මේ පිළිබඳව කිසිදු දැනුවත් බවක් නැහැ. මේ නිසා එදාට වඩා අද පණු රෝග පිලිබඳව අවධානය යොමු කරන්නට සිද්ධ වෙලා තියෙනවා.

අපි ගන්නා ආහාර හොඳින් පිරිසුදු නොකිරීමෙන් පණු බිත්තර අපේ ශරීරයට ඇතුළුවීමෙන් වගේම, උදු, පිටි කැවිලි, ඇඹුල් අධික දේවල්, ලුණු රස අධික කෑම, උක් හකුරු, බල මාළු, මුදවාපු කිරි ආදී දේ වැඩි වශයෙන් ලබා ගැනීමත් මේ පණු රෝග ඇති වෙන්නට මූලික වශයෙන් හේතු වෙන්න පුළුවන්. ඒ වගේම බල මාළු සහ මී කිරි ආදී විරුද්ධ ආහාර නිතර අනුභව කිරීම නිසාත් මේ පණු රෝග කාලයත් එක්ක ඇති වෙන්නට පුළුවන්.
මෙවැනි ආහාරපානවලින් කුසගින්න අඩුවෙලා සෙම වැඩිවීම පණුවන්ට හොඳ පරිසරයක් නිර්මාණය කරනවා. ඉතින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කාලයක් ගත වෙද්දි පණු රෝග ස්වභාවිකව ඇති වෙනවා. මේ සඳහා අද අපි පණු පෙති ලබා ගත්තත් එදා ගැමියන් නිරන්තරයෙන් ලබාගත්තු ආහාර වේලට සතියකට වරක් දෙවරක් හෝ පණුවන් නසන්නට හැකියාව තියෙන පළා කොළ වර්ග ආහාරයට එකතු කර ගත්තා. ඉතින් ඒ නිසා ඔවුන්ට විශේෂයෙන් පණු රෝග මර්දනය කිරීම සඳහා බෙහෙත් වර්ග ලබා ගන්නට අවැසි වුණේ නැහැ.
ඒ නිසාවෙන්ම අපි අද ඔබට කියන්නට යන්නේ සාම්ප්‍රදායික පලා වර්ග වලින් බැහැර වෙලා අඩුම සතියකට වරක් දෙවරක් හෝ පණු රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නට උපකාරීවන කොල මැල්ලුම් කීපයක් පිළිබඳව. .
එරබදු දලු මැල්ලුම්
පණු රෝග සඳහා වඩාත් ප්‍රචලිත මැල්ලුම් අතරින් එකක් තමයි එරබදු දලු. මේවා මැල්ලුම් ලෙස වගේම ව්‍යංජනයක් ලෙසත් පිළියෙල කර ආහාරයට ගැනීමෙන් පණුවන් මර්දනය කර ගන්න පුළුවන්. මෙහි දල්ලේ ඇති තිත්ත රසය ඉවත් කරගන්නට මඳ උණුසුම් ජලයේ විනාඩි 5ක් පමණ පොඟවා මිරිකා ගෙන රතුළූණු, උම්බලකඩ, ආදිය එකතු කරල මිටිකිරි දමා පිස ගන්නා එරබදු ව්‍යංජනය සැබැවින්ම හරිම රසවත්.
ඒ වගේම තමයි රතු ළූණු, අමු මිරිස්, පොල් ආදිය දමා සකසා ගන්නා එරබදු දලු මැල්ලුමත් රසයෙන් ඉහළයි වගේම පණු රෝගවලටත් විශේෂ ආහාරයක්. ශරීරයට වද දෙන කිරිපණු රෝග නැසීම හැරුණාම එරබදු යුෂ පානය කිරීම දියවැඩියා රෝගීන්ට සුවය සලසන්නක්. ඒ වගේම ශරීරයේ අධික තරබාරුව නැතිකර ගන්න, නින්ද නොයාමේ ගැටළුවලටත් දෙබර බඹර ආදී විෂ සඳහා ප්‍රතිකාර විදිහටත් එරබදු කොළ භාවිතයට ගැනෙනවා.
ඇහැළ දලු මැල්ලුම්
ඇසළ සමයේදී කහ පැහැති මල් පොකුරු වශයෙන් පිපෙන මේ ශාකයේ දළු වලින් සකසා ගන්නා මැල්ලුම් පණු රෝග නසන හොඳම ඖෂධයක්. නමුත් වැඩි දෙනෙක් මේ ඇහැළ දළු ආහාරයට ගන්නා බවක් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇහැළ දළු මැල්ලුම් ආහාරයට ගැනීමෙන් දවසට් වරක් දෙවරක් වැසිකිලි යන්නට අවශ්‍ය වෙන අතර බඩවැල්වල සිටින පණුවන් ඒ මලපහ සමඟ ඉවත්වීම සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි අක්මාවේ යම් යම් ගැටලු තියෙන රෝගීන්ටත් ඇහැළ දළු මැල්ලුම ඉතාම ගුණදායකයි.
පැණි තෝර/ ඇත්තෝර මැල්ලුම්
තනි මැල්ලුමට වගේම කලවම් පලාවටත් අපූරු රසයක් ගුණයක් එකතු කරන පණු රෝගවලටත් ඉතාම ගුණදායක පලාවක් තමයි මේ තෝර කියන්නේ. අපේ රටේ බොහෝ ප්‍රදේශවල ඉබේ වැවෙන මේ තෝර අතරින් ඇත්තෝර තරමක් විශාල ගසක් වුණත් පැණි තෝර කුඩා පැලෑටියක් විදිහටයි දකින්නට ලැබෙන්නේ. ඇත්තෝර බොහෝවිට කුඹුරු වගුරු භූමි ආශ්‍රිතව දැක ගන්නට පුළුවන්.
ඇත්තෝරවල ළපටි දළු මැල්ලුම් ලෙස සකසා ආහාරයට ගැනීම ආමාශයේ සිටින පණුවන් ඉවත් කර ගන්න විශාල උදව්වක් වෙනවා. නමුත් බොහෝ වෙලාවට ඇත්තෝර දලු තනි මැල්ලුමක් වශයෙන් සකස් කර නොගෙන කලවම් මැල්ලුමක් ලෙස ආහාරයට ගන්නට තමයි ඇතැම් අය පුරුදු වෙලා ඉන්නේ. ඇත්තෝර දලු ආහාරයට ගැනීමෙන් බඩ බුරුලෙන් යාමේ තත්වයක් ඇතිවෙන එක එයින් වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා .
මේ ඇත්තෝර දලු මිටක් මිරිකන ලද පොල් සහ ලුණු මිරිස් සමඟ මිශ්‍ර කර රාත්‍රී ආහාරයට එකතු කරගන්නට පුළුවන්. පසුදා උදෑසන වැසිකිළි යාමේදී පණුවන් මලපහ සමඟ පිට වෙනවා දකින්නට පුළුවන්.
ඒ වගේම පැණි තෝරත් පණු රෝග සඳහා ඉතා ගුණදායකයි. නමුත් එහි රස එතරම් ප්‍රියජනක නොවන නිසා තනිව ආහාරයට ගන්නවා වෙනුවට වෙනත් පලා වර්ග සමග මිශ්‍රකර මැල්ලුම් ලෙස සකසා ගෙන ආහාරයට ගන්නට පුළුවන්. මේ පැණි තෝර පණු රෝගවලට අමතරව නිරක්තිය දුරුකරන්නටත් උදව් වෙනවා. නමුත් ගර්භාෂ ශෝධන තත්ත්වයන් නිසා ගැබිනි මවුවරුන්ට නම් සුදුසු වෙන්නේ නැහැ.
තෝර කුලයටම අයත් වෙන පෙති තෝරත් පණු අමාරු සඳහා ඉතාම යෝග්‍ය පැලෑටියක්. පැණි තෝරවලට වඩා රසයෙන් යුක්ත මැල්ලුමක් නිසා වැඩි දෙනෙක් අතර මෙය ජනප්‍රියයි.
ගැට තුඹ කොළ මැල්ලුම්
අපේ රටේ සුලබව කුඩා පැලෑටියක් වුණාට මෙය පණු රෝගවලටත්, උදරය ආශ්‍රිත වෙනත් රෝග බොහොමයකටමත් ඉතාම ගුණදායක ඖෂධයක්. ගැට තුඹ ශාකයම තම්බා පානය හෝ යුෂ මිරිකා ලබාදීම මඟිනුත් විවිධ රෝග තත්ත්වයන් සුවපත් කරගන්නට හැකියාව තියෙනවා.

එලකිරි උණු කරන විට එහි පවතින මේදය ඉතා පහසුවෙන් ජීර්ණය කර ගැනීමේ අරමුණින් එදා ගැමියන් ගැට තුබ මුලක් එලකිරි උණු කිරීමේ දී භාවිතයට ගත්තා. ඉතින් මේ ගැට තුඹ කොළ මැල්ලුම් සකසා ආහාරයට ගැනීමෙන් කුඩා දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ පණු රෝග දුරු කරගන්නට අවස්ථාව ලැබෙනවා.
බටකිරිල්ල කොළ
පණු රෝග නැසීමේ සුවිශේෂී හැකියාවක් බටකිරිල්ල ශාකය සතු වෙනවා. බටකිරිල්ල ශාකය වියළි කලාපයේ හැදෙන අපූරු ශාකයක්. මේ ශාකයේ දළු ගෙඩි ආදිය වේළා කොටා තබාගෙන ඒවා කෝපි මෙන් පානයට ගැනීමෙන් පවා පණු රෝග සුව කර ගන්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවන්ගේ පණු රෝග සඳහා බටකිරිල්ල කොළ වේළා කොටා බැදිහාල් පොල්, සීනි හෝ මී පැණි දමා අග්ගලා සාදා දෙනවා .
ගෙඳ කොළ මැල්ලුම්
ගෙවතුවල වැවෙන රතුපාට දණ්ඩක් සහිත පේශිමය කුඩා ගෙඳ ව්‍යංජනයක් විදිහට පිළියෙල කර ගන්නට වගේම පලා වර්ගයක් විදිහටත් රසවත්ව පිළියෙල කර ගන්නටත් පුළුවන්. පරිප්පු හෝ කොස් ඇට දමා පිළියෙල කර ගන්නට හැකි ගෙද ව්‍යංජනය වගේම ගෙඳ මැල්ලුමත් පණු අමාරුවට ඉතාම කදිම. ප්‍රතිකාරයක්.
රණවරා කොළ මැල්ලුම
අපේ ශරීරයට අද්විතීය ප්‍රතිලාභ හිමිකර දෙන විශේෂ ශාකයක් වන රණවරාවල කොළ පණු රෝග සඳහා ඉතා කදිම ආහාරයක්. ඖෂධයක් විදියට භාවිතා කිරීම හැරුණාම නිවෙස්වල රණවරා කොළ මැල්ලුමක් පිලියෙල කිරීම වැරදුනේ නැහැ. මොකද කුඩා දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ පණු රෝග තත්ත්වයන් සුව කරගන්නටත් රණවරා කොළ වලට විශේෂ හැකියාවක් තියෙන නිසා.
අරලිය කොළ මැල්ලුම
අරලිය කොළ කඩා දවසක් පමණ තබා ගැනීමෙන් කොළ මැල වී කිරි ඉවත්ව වී ආහාරයට ගත හැකි තත්වයට පත් වෙනවා. ඉතින් මේ අරලිය කොල පොල් එකතු කර මැල්ලුමක් වශයෙන් සකසා ගැනීමෙන් පණුවන් ඉවත් කරගන්නට හැකියාව ලැබෙනවා.
කිරි අඟුණ කොල මැල්ලුම
තිත්ත රසයෙන් යුක්ත දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම පාලනයටත් උදව්වෙන මෙය ගුණදායක පලා වර්ගයක් . විශේෂයෙන්ම කිරි අඟුණ කොළ මැල්ලුමට හැකියාව තියෙනවා පණු රෝග ඉතා හොඳින් මර්දනය කරන්නට.

කරවිල කොළ මැල්ලුම
කරවිල ගෙඩි වගේම කරවිල කොළ මැල්ලුමත් පණු රෝග සඳහා වගේම මල බද්ධය දුරුකර ගන්නත් භාවිතා කළ හැකියි. කරවිල කොළ දළු, පොල් මිටක් දමා කොටා මිරිකා ගත් යුෂ කෝප්ප එකක් උදේ වරුවේ හිස්බඩ පානය කිරීම මඟින් විරේකයක් සිදු වෙන නිසා එයිනුත් පණුවන් මර්දනය කරගන්න පුළුවන්. ඒ හැරුනහම කරවිල කොළ මැල්ලුමක් වශයෙන් සකසා ආහාරයට ගැනීමත් පණු රෝග වලින් මිදෙන්නට උදව් වෙනවා.
අසමෝදගම් කොල
අසමෝදගම් වලට විශේෂ හැකියාවක් තියෙනවා උදරය ආශ්‍රිත ගැටළු බොහෝමයකටම සහනය ලබා දෙන්නට. ඒ වගේම පණුවන් නිසා ඇතිවන වන අපහසුතා දුරුකර පණුවන් මර්දනය කරන්නටත්. බොහෝ දෙනෙක් අසමෝදගම් කොළ සම්බෝලයක් වශයෙන් සකසා ආහාරයට එකතු කරගන්නවා. ඒ වගේම මෙය මැල්ලුම් වශයෙන් සකසා ආහාරයට ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ පිළියෙල කරන ව්‍යංජන සඳහාත් අසමෝදගම් කොළ ටිකක් එකතු කිරීමත් මගින් මේ පණු රෝගවලින් මිදෙන්නට හැකියාව ලැබෙනවා.
සාම්ප්‍රදායික පලා වර්ගවලින් මිදී මෙවැනි පලා වර්ග ඔබ ඔබේ එදිනෙදා ආහාර වේලට එකතු කර ගත්තොත් පණු රෝග මර්දනය සඳහා විවිධ පෙති වර්ග ලබා ගන්නට ඔබට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ පලා වර්ගවලින් පණු රෝග මර්දනය හැරුණාම අපේ ශරීරයට නොයෙකුත් හිතකර ප්‍රතිලාභ ලබා ගන්නත් හැකි නිසා සතියකට වරක් දෙවරක් හෝ මෙවැනි විශේෂ පලා වර්ගයක් ඔබේ ආහාරයට එකතු කර ගන්නට උනන්දු වෙන්න.