රෝ බිය නසන ගොඩක් දෙනෙක් නොදන්න පස් තෙල් ගැන හරිම විස්තරය මෙන්න

health tips

ශ්‍රී ලාංකීය අපට ආවේණික වුණු වෙද හෙදකම්, ශාන්තිකර්ම, බලි තොවිල් ආදී දෑ අද දකින්නට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. එදා තිබුණු සාම්ප්‍රදායික ලක්ෂණ අද අපේ සමාජයෙන් ක්‍රමයෙන් ගිලිහෙමින් යනවා. ඉතින් ඒ නිසාවෙන් නැතිවෙලා යන අපේ උරුමයන් ගැන අභිමානවත් කරුණු කාරණා පිළිබඳව නැවතත් අප විමසිලිමත් වීම සහ ඒ පිළිබඳව නූතන පරපුර දැනුවත් කිරීම අතිශයින්ම කාලෝචිතයි. 

එදා අපේ පැරැන්නන් නීරෝගීව ජීවත් වුණේ ලාංකීය අපිටම ආවේණික වුණු සෑම ක්ෂේත්‍රයකම දැනුම් සම්භාරයක් ඔවුන් සතු වූ නිසා. ඉතින් ඒ නිසාවෙන් ඒවා පිළිබඳව නැවත නැවත කතාබහ කිරීම ඒවායේ  අගය නූතන පරපුරට වටහා දීම හරිම වැදගත්.  ඔන්න ඒ නිසාවෙන්  අපි අද කතා කරන්න සිතුවා දේශීය වගේම ආයුර්වේද වෙදකමේදීත්, තෙල් බෙහෙත් නිෂ්පාදනයේදීත් බහුලවම භාවිතයට ගැනෙන නිරෝගී ජීවිතයට අත්‍යවශ්‍ය පස් තෙල් පිළිබඳව  ඔබ සමඟ කතා කරන්නට.

අද බහුලවම දකින්නට නැතත් ග්‍රහ දොස් සඳහා  සිදුකෙරෙන පූජාවන්වල දී හෝ දේව පූජාවල දී සෙත් ශාන්තිවල දී වගේම ශාන්තිකර්මවලදී නැතුවම බැරි පස් තෙල් ගැන ඔබ  නොදන්නවා වෙන්න පුළුවන්.  නමුත් ඔබට නීරෝගීව ජීවත් වෙන්නටත් අවශ්‍ය නම්  ඔබ අනිවාර්යයෙන්ම මේ තෙල්වල ප්‍රබල ඖෂධීය ගුණ පිළිබඳව දැනුවත් වෙලා සිටීම හරිම වැදගත්.

 පස් තෙල් කාණ්ඩයට අයත් වෙන්නේ තල තෙල්, එඬරු තෙල්, මී තෙල්, එළඟි තෙල් සහ කොහොඹ තෙල් යන තෙල් වර්ග 5.

 මේ තෙල් වර්ග අතරින් ගෘහ කටයුතුවල දී නිතර දෙවෙලේ භාවිතා වෙන්නේ එළඟි තෙල්. අදටත් විවිධ අපල දෝෂ නිවාරණය සඳහා එළඟිතෙල් පහන් පූජා කිරීම, කපුටු දාන වලදී එළඟි තෙලෙන් පොඟවා කිරි බත්වල සඟවා ගත් පහන් තිර කපුටන්ට ලබාදීම ආදියේදීත් විවිධ ඖෂධ සැකසීමේදීත් එළගිතෙල් නිතර භාවිතයට ගැනෙනවා .

එළඟි තෙල්

විටමින් A,  විටමින් E,  ඔමේගා 3, ඔමේගා 6,  සන්තෘප්ත මේදය, විටමින් k සහ ප්‍රෝටීන ආදී පෝෂක බොහොමයක් ගිතෙල් සතු වෙනවා. සම්බාහනයේ දී පවා වැඩි වශයෙන්ම ගිතෙල් භාවිතයට ගනු ලබනවා. ගැඹුරු තෙලේ බැදීමේදී ඉතාම සුදුසු තෙල් වර්ගයක් වන්නේ බැදීමේදී පිටවන්නේ අඩු විෂ රසායනික ප්‍රමාණයක් නිසාවෙන්. නමුත් කොතරම් ගුණදායක වුණත් දිනකට ගිතෙල් මේස හැන්දකට දෙකකට වඩා පරිභෝජනය කිරීම එතරම් සුදුසු වෙන්නේ නැහැ. එළඟි තෙල් ආහාරයට එකතු කර ගැනීමෙන් ප්‍රතිලාභ බොහොමයක් ලබා ගන්නට පුළුවන්.

මතක ශක්තිය වර්ධනය කරයි.

අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි.

හදවත නිරෝගී කරයි.

බඩවැල්වල සෞඛ්‍ය දියුණු කරයි.

රුධිරවාහිනී ආරක්ෂා කරයි.

ඇස්වල වියළි බව නැති කරයි. 

ඔක්සිකාරක ආතතිය සමනය කරයි.

ශරීරය පෘෂ්ටිමත් කරයි.

නින්ද නොයාම සමනය කරයි.

ඇස් නිරෝගී කරයි.

හිසකෙස් වර්ධනය කරයි.

සමේ තෙතමනය ආරක්ෂා කරයි.

 සියලුම තෙල් වර්ගවලට වඩා වඩාත් ප්‍රබල ඔෂධීය ගුණ සහිත තෙල් වර්ගය ලෙස එළඟිතෙල් සැලකෙන්නේ මෙන්න මේ කාරණා හේතු කරගෙන.

එරඩු තෙල්

එරඩු තෙල්වල අඩංගු වෙන රයිසොනොලික්  අම්ලය ඉතාම පෝෂණීය සංඝටකයක්. ඒ හැරුණාම එරඩු තෙල්වල ඔමේගා 9 මේද අම්ල යහමින් අඩංගු වෙනවා .එරඩු තෙල්  චන්ද්‍රකාන්ති තෙල්, දිව්‍යාංගනාදී තෛලය, බුද්ධ රාජ තෛලය ආදී ඖෂධීය තෙල් රාශියකටම යොදා ගන්නා තෙල් වර්ගයක් . 

ධාතු පෝෂණය කරයි.

ආමවාතයට ගුණදායකයි.

පණුවන් නැති කරයි.

විෂ නැති කරයි.

කුෂ්ඨ නසයි.

සෙම නසයි.

වාත දොස් සමනය කරයි. 

අකලට හිසකෙස් ගැලවී යාම, සම රැලි වැටීම, යටි පතුල් පැලීම, නියපොතු කැඩී යාම, වියලි දෙතොල්, stretch marks සහ වියළි සම  ආදී ගැටළු සියල්ලම සුවපත් කරන්නටත් එරඩු තෙල් අතිශයින්ම වැදගත්. 

කොහොඹ තෙල්

 මදක් ඌෂ්ණ ගතියෙන් යුක්ත කොහොඹ තෙල් රෝග බොහෝමයකට ඉතාම ගුණදායකයි. ප්‍රධාන වශයෙන්  පිත නැසීමේ ගුණයක් මේ තුළ අන්තර්ගත වෙනවා. ඒ නිසාම බොහෝ නිවෙස්වල විෂබීජ නාශකයක් ලෙස කොහොඹ තෙල් යොදා දුම් ඇල්ලීම සිදු කරනවා. ඖෂධීය තෙල්වලට වගේම කණ්ඩමාල කල්කයටත් කොහොඹ තෙල් භාවිතයට එකතු කරගන්නවා. 

මසකට වරක් දෙවරක් කොහොඹ තෙල් සමේ සහ හිස් කබලේ ආලේප කර සෝදා හැරීමෙන් සම සහ හිසකෙස් නිරෝගී කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ හැරුණාම  තවත් ප්‍රතිලාභ මෙමගින් ලබා ගන්න පුළුවන්.

 කුෂ්ඨ රෝග, වණ,වාත, අර්ශස් රෝග,උණ, ඉදිමුම්  තත්ව, උදර රෝග හා සෙම් ආදී රෝග තත්ත්වයන් සුවපත් කර ගැනීම සඳහාත් උදව් වෙනවා. ඇස්වල සෞඛ්‍යයටත් ඉතාම හිතකරයි.

මී තෙල්

 කුඹුරු ආශ්‍රිතව හැදෙන සුවිශාල මී ගස්වල ඇට භාවිතයෙන් සිඳගන්නා මී තෙල් තවත් විශේෂ තෙල් වර්ගයක්. මී ඇටවලින් මී තෙල් සකසා ගැනීම නියමාකාරයෙන් කළ යුතු දෙයක්. මේ මී තෙල් ඉතාම කදිම ඖෂධයක්. ගුණයෙන් අනූන රසයෙන් ඉතා ඉහළ මී තෙල් ගම්බද කාන්තාවන් පලා වර්ග පිස ගැනීමේදී ඒවාට එකතු කරනවා.

 විශේෂයෙන්ම වෙල්ලවැහුම් සකසා ගැනීමේදී පිසින භාජනවල මී තෙල් තවරා අලුත් රසයක් එකතු කරගන්නවා. ඒ විතරක් නෙවෙයි මඤ්ඤොක්කා පෙති කපා මී තෙලෙන් බැද කුඩා දරුවන්ට ආහාරයට ලබා දෙන්නත් කුරක්කන් රොටීවල මී තෙල් තවරා බැදගත් තල ඇට සමග ආහාරයට ගැනීමත් ඔවුන් අතර වඩාත් ජනප්‍රියයි.ඒ නිසා පැරණි නිවෙස්වල මී තෙල් බෝතලයක් වැරදුණේ නැහැ.

 හන්දිපත් වේදනා, තුනටිය කැක්කුම්, වාත අමාරු සහ කැඩුම් බිදුම්වල දීත්, මී තෙලෙන් පිසූ ආහාර අනුභවයෙන් ශරීරයේ කෙට්ටු බව නැති කර ගන්නත් හැකියාව ලැබෙනවා. ශරීරයේ පවතින ස්නායු ප්‍රකෘතිමත් කිරීමට සහ ශක්තිමත් කිරීමටත් කිරි දෙන මවුවරුන්ගේ කිරි වර්ධනයටත් මී තෙල් ඉතා වැදගත්. ඒ වගේම ලිංගික අප්‍රාණිකත්වය සඳහාත් මී තෙල් භාවිතා කරන්නට පුළුවන්.

තල තෙල්

 මිහිරි තෙල් වර්ගයක් වන තල තෙල්  භාවිතයට ගනිමින් බොහෝ ඖෂධීය තෙල් වර්ග නිශ්පාදනය කෙරෙනවා.

ශරීර වර්ණය ලබාදෙයි.

ධාතු  පෝෂණය කරයි.

කුසගින්න ඇති කරයි.

ශරීරය සැහැල්ලු කරයි.

කෘෂ බව නැතිකරයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි.

අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කරයි.

මොළය, අක්මාව, ස්නායු සහ හෘද වාහිනී පද්ධතිය උත්තේජනය කරයි. 

මුඛ සෞඛ්‍ය ගැටළු දුරුකරයි.

ලිංගික ජීවිතයේ ගැටළු සඳහා අතුරු ආබාධයකින් තොරව භාවිතයට ගන්නට පුළුවන්. 

පස් තෙල් විවිධ රෝග අවස්ථාවලදී පොට්ටනි බැඳ තැවීම් කටයුතු සඳහා  ශරීරයේ ආලේප කර පිරිමැදීමටත් භාවිතයට ගන්නවා. ඒ හැරුණාම ගනු ලබන විවිධ අනුපානවලටත් තෙල් බෙහෙත්වලටත් විවිධ පූජා කටයුතු සඳහාත් මේ පස් තෙල් භාවිතයට ගැනෙනවා. විශේෂයෙන්ම  වලිප්පුව සෑදුණු අවස්ථාවකදී පස් තෙල් රත්කර බෙල්ල දෙපස, ඇලපත් සහ සන්ධිවල ආලේප කරනු ලබනවා. මේ පස් තෙල් ඖෂධීය ගුණයෙන් ඉතා ඉහළ තෙල් වර්ග වුණත් අපගෙන් මේවායේ භාවිතයන් ඈත්වී යාම කණගාටුවට කාරණයක්