නින්දේදී මුත්‍රා පිටවීමට හේතු 6ක් සහ එය වළක්වා ගන්න ක්‍රම 6 ක්

health tips

කුඩා දරුවෙකුට ඇඳේ මුත්‍රා යන එක සාමාන්‍ය දෙයක්. දරුවා ටිකක් වයසින් වැඩුණාම විවිධ හේතු නිසා නින්දේදී මුත්‍රා  පිට වෙන්නට පුළුවන්. දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටි කාන්තා පුරුෂ දෙපාර්ශවයටමත් ඒ  තත්ත්වයට මුහුණ දෙන්න සිදු වෙනවා නම් එය කොතරම් මානසිකව පීඩා ගෙනදෙන කාරණයක් ද. සමහරුන්ට ඒ කතාව සිනහවට කාරණයක් වුණත් මේ සිහිනෙන් මුත්‍රා  පිටවීම නිසා ලජ්ජාවට පත්ව මානසිකව විදවන පිරිසක් අපි අතරේ සිටින බව අමතක කළ යුතු නැහැ. සාමාන්‍යයෙන් සිහිනෙන් වැසිකිලියට යාමක් දකින පුද්ගලයා සිහිනෙන් මුත්‍ර  පහ කිරීම තමයි බොහෝවෙලාවට සිදු වෙන්නේ. ඉතින් නින්දට බාධා ගෙන මානසිකව පීඩා ගෙනදෙන බොහෝඅය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන මේ තත්ත්වය සැබෑවටම රෝගයක් ද. එයින් මිදෙන්නට අපි කළ යුත්තේ මොනවද. මේ කාරණා පිළිබඳව  කතා කිරීම එයින් පීඩාවට පත් බොහෝදෙනාට බෙහෙවින් වැදගත් වේවි.

වයසින් වැඩි දරුවන්ටත් මේ නින්දේදී මුත්‍රා පිටවීම නිතර සිදු වෙනවා නම් එයත් යම් සෞඛ්‍ය  ගැටළුවක් නිසාවෙන් ඇති වන තත්ත්වයක් වන්නට පුළුවන්.

  • මානසික පීඩනය,
  • පණු රෝග
  • මුත්‍රාවල අම්ල ගතිය ඉහළ යාම
  • පරම්පරාගත හේතු
  • දියවැඩියා රෝගය
  • කම්පන තත්ත්වයන් හෝ වකුගඩු  රෝග 

ආදී සෞඛ්‍යයමය ගැටළුත් මේ නින්දෙන් මුත්‍ර  පිටවීමට හේතුවක් විය හැකියි. ඒ  නිසාවෙන් වැඩිහිටි ඔබ ඔබේ වයසින් වැඩි දරුවාටත් මෙවැනි  තත්ත්වයක් ඇත්නම් ඒ සඳහා වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගන්නට කටයුතු කිරීමයි නුවණට හුරු. එසේ නොමැතිව එය ලැජ්ජාව නිසාවෙන් සඟවා සිටීමෙන් යම් රෝගයක් ඇත්නම් එය වඩාත් දරුණු තත්ත්වයට පත්වෙන්නත් හැකියාව පවතිනවා.

මුලින් සඳහන් කළා වගේ නින්දේදී මුත්‍රා පහ කිරීම ජීවිත කාලය පුරාවට වරක් දෙවරක් සිදු වීම ගැටළුවක් නෙවෙයි. නමුත් සතියකට වරක් ගානේ හෝ නිතර මේ දේ ඔබට සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව  ඔබ සැලකිලිමත් විය යුතුමයි.සාමාන්‍ය හේතු මත නින්දෙන් මුත්‍රා  පිටවීම  මගහරවා  ගැනීමට උපදෙස් 

මානසිකව වැටෙන්නට එපා මෙවැනි තත්ත්වයකදී බොහෝ අය මානසිකව කඩා වැටීමකට ලක් වෙනවා. මොකද මෙය තවත් අයෙකුට කියන්නට පවා ලැජ්ජා සහගත කාරණයක් වන නිසා. නමුත් ඔබට ඔබේ පවුලේ අයෙකුට මේ ප්‍රශ්නය පැවසීමෙන්  මනස සැහැල්ලු කර ගැනීම මනසට හිතකරයි. නැත්නම් පසුව මානසිකව පීඩනය නිසාම වෙනත් රෝගවලට ඔබව ගොදුරක් වන්නට පුළුවන්.

නින්දට යාමට පෙර පානය කරන ජලය ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න.අපේ දේහයේ නීරෝගි බවට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අවශ්‍ය බව අවිවාදයෙන්ම පිළිගත යුතු කාරණාවක් .පුරුෂයෙක් දෛනිකව වතුර ලීටර් 3.7 ක් ගැහැණු පාර්ශවය දිනකට වතුර ලීටර් 2.7 ක් පමණ ප්‍රමාණයක් පානය කළ යුතු වෙනවා. දහවල් කාලයේදී ඔබ කොතරම් ජලය පානය කළත් රාත්‍රි කාලයේදී යම් සීමාවක් සහිතවයි ජලය පානය කළ යුත්තේ. නින්දට පෙර ඔබ අධිකව ජලය පානය කරන්නේ නම් එය නිතර රාත්‍රියේදී මුත්‍රා  පිට කරන්නට අවශ්‍ය වන හේතුවක් නිසා එය නින්දට බාධාවක්. ඒ වගේම සිහිනෙන් මුත්‍රා  පිටවීමටත් එය හේතුවක්. ඒ නිසා නින්දට පැය 2 ට පෙර හෝ ජලය පානය කිරීම සීමාකර ගන්නට අවශ්‍යයයි.

කැෆේන් මට්ටම තේ කෝපි වගේම  වෙනත් පැණි බීම කෝලා වර්ග ආදී  කාබනීකෘත බීම වර්ග ගැනීමෙන් අපේ ශරීරයේ මුත්‍රා  නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ නිසා දිනකට මේ පානයන් ලබා ගන්නා ප්‍රමාණය සීමා කිරීම වැදගත්. පැණි බීම ආදිය නම් කොහෙත්ම අපේ ශරීරයට හිතකර පානයන් නොවෙන නිසා ඒවා නොගන්නා තරමට හොඳයි .ඒ හැරුණාම තේ කෝපි වගේ පානයන් පවා රාත්‍රී  නින්දට පැය කිහිපයකට පෙර සිටම  නොගෙන සිටීම ඉතා සුදුසුයි.

ඇඳට යන්නට කලින් බාත්රූම් යාම සිහිනෙන් මුත්‍ර පිටවීම බොහෝදුරට විසඳා ගන්නට මෙය උදව් වෙනවා. මොකද නින්දට යද්දි සැහැල්ලුවෙන් නින්දට යාම හරිම වැදගත්. මුත්‍ර පිට කරන්නට අවශ්‍ය නොවුණත් නින්දට පෙර වැසිකිලියට යාම පුරුද්දක් කර ගත්තොත් ඇදේම මුත්‍ර  පිටවීම නැතිකර ගන්නට පුළුවන්.

රෑ මැද එලාම් එකක් සිහිනෙන් මුත්‍ර පිටවීම වළක්වා ගන්නට අවශ්‍ය නම් ඔබට මේ කරමයත් භාවිතයට ගන්නට පුළුවන්. නමුත්  මෙය නින්දට යම් බාධාවක් වෙනවා.ඒ වගේම අපේ ගැඹුරු නින්ද මේ දිනපතාම එලාම් එක නිසා කැඩෙන එකත් සෞඛ්‍යයට එතරම් හිතකර නැහැ. නමුත් ඇඳේ මුත්‍ර  පිටවෙන එක වළක්වන්නට  මෙය ඔබට අනුගමනය කරන්නට පුළුවන්. 

වෛද්‍ය  ප්‍රතිකාර හදිසියෙන් සිදුවන සිහිනෙන් මුත්‍ර පිටවීමක් සඳහා ඉහත උපදෙස් ඔබට අනුගමනය කර බලන්නට හැකියාව තිබුණත් නිතරම නින්දේදී මුත්‍ර පිටවීම සිදු වෙනවා නම් ඒ පිළිබඳව විශේෂයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වෙනවා.