නින්දට පෙර පැෂන් ගෙඩියකින් බාගයක් ආහාරයට ගැනීමට හේතු 12 ක්

health tips

වැල් දොඩම් නැත්නම් ෆැෂන් ෆ්රුට් කියන්නේ ලොකු කුඩා හැමෝම කන්නට කැමති පලතුරක්. මේ පලතුර ඈත අතීතයේ පටන් බොහෝදෙනෙක් ඉතාමත් ආසාවෙන් අනුභව කළ පලතුරක්. මේ පලතුරේ ප්‍රභේද 500 ක් පමණ ලෝකය පුරා දකින්නට ලැබෙනවා. පලතුරක් විදියට ආහාරයට ගත  හැකි මේ පලතුර බොහෝදෙනෙක් පානයක්  ලෙස සකසා ආහාරයට ගන්නට තමයි වැඩිපුර කැමති.

මධ්‍යම ප්‍රමාණයේ ෆැෂන් ගෙඩියක අන්තර්ගත වෙන කැලරි ප්‍රමාණය කැලරි 17 ක් පමණ වෙනවා. ඒ වගේම එහි ග්‍රෑම් 2 ක් වැනි ඉහළ තන්තු ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඒ හැරුණාම ෆැෂන් ෆ්රුට්වල විටමින් C සහ විටමින්  A බහුලව අඩංගු වෙනවා වගේම මෙය පොටෑසියම් බහුල ආහාරයක් ලෙසටත් හඳුනා ගන්නට පුළුවන්. මේ පලතුරේ අඩංගු කැරටිනොයිඩ් කියන සංයෝගය මගින් දේහය තුලදී විටමින් A නිෂ්පාදනය කිරීම සිදු  කරනවා. ඒ වගේම රයිබිෆ්ලෙවින්, නියසීන්,  යකඩ, මැග්නීසියම්, පොස්පරස්,  තඹ සහ ශාක ප්‍රෝටීන් මෙහි අන්තර්ගත වෙනවා. සාපේක්ෂව ගත්විට අනෙක් පලතුරුවලට වඩා පැෂන්වල ඇති විටමින් සහ ඛනිජ ලවන ප්‍රමාණය වැඩියි.

ෆැෂන් ආහාරයෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ 

  • දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.දියවැඩියා රෝගයෙන් පෙළෙන අයට වගේම දියවැඩියා රෝගයේ පූර්ව ලක්ෂණ පෙන්නුම් කරන අවධියේ පසුවන අයටත්  අවදානම් අවස්ථාවේ පසුවන දියවැඩියා රෝගීන්ටත්  මේ පලතුරු ඉතාම ගුණදායකයි. අපි ආහාරයට ගන්නා  කළු පැහැ ෆැෂන් බීජය තුළ ෆයිසියටැනෝල් කියන පොලිෆීනෝල් වර්ගය අඩංගු වෙනවා. මෙයින් ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩු කරනවා.මේ ඉන්සියුලින් ප්‍රතිරෝධය ආරම්භ වූ අවස්ථාවේ බෙල්ල ප්‍රදේශයේ කලුවීමක් ඇතිවෙනවා. මෙවැනි ලක්ෂණ බොහෝවිට තරබාරු පුද්ගලයන් තුළින් දැක ගන්නට ලැබෙනවා. එවැනි පුද්ගලයන් දියවැඩියාවට ගොදුරු වෙන්නට හැකියි. ඒ නිසා ෆැෂන් බීජ ආහාරයට ගැනීම ඒ තත්ත්වයන් වළක්වා ගන්නට උපකාරී වෙනවා. 
  • දේහ බර අඩුකර ගන්නට උපකාරී වෙයි. ඇතැම් විට දේහ බර වැඩිවීම සඳහා අපි ගන්නා ආහාරවලින් ලබා ගන්නා ශක්තිය නිසිපරිදි දහනය නොවීම හේතු වෙනවා. ඒ නිසා ඇතිවන තරබාරුවට හොඳම පිළියමක් වෙන්නේ මේ ෆැෂන්  ආහාරයට ගැනීම. තන්තු බහුල නිසා ආහාර ජීර්ණය සෙමෙන් සිදුවීමෙන් නිතර ආහාර ගැනීමේ අවශ්‍යතාවය වළකාලනවා.
  • දේහයට කොලෙස්ටරෝල් අවශෝෂණය කරගැනීම අවම කරයි. ශරීරයට කොලෙස්ටරෝල් අවශෝෂනය අඩු කිරීම නිසා රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම පාලනය වෙනවා.
  • පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි.අපේ දේහයේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස මුක්තඛණ්ඩක නිර්මාණය වෙනවා. මේ මුක්ත ඛණ්ඩක  අපේ ශරීරයේ එකරැස් වුණොත් එය දේහයේ විවිධ ක්‍රියාවලීන්ට බාධා ඇතිකර පිළිකා  වර්ධනය වගේම ඉක්මනින් වයස්ගත වීමේ තත්ත්වයන් ඇති කරනවා. මේ තත්ත්වයන් වළක්වා ගන්නට ප්‍රතිඔක්සිකාරක උදව් වෙන නිසා ෆැෂන් ෆ්රුට් ආහාරයට ගැනීම ඉතා වැදගත්. මොකද මෙහි ප්‍රතිඔක්සිකාරක බහුලයි.
  • අධි රුධිර පීඩනය වළකයි. මේ පැෂන්වල පොටෑසියම් බහුල නිසා පොටෑසියම් මගින් සෝඩියම් ප්‍රමාණය අඩුවී රුධිර පීඩනය අඩුවෙනවා. දිනකට අවශ්‍ය පොටෑසියම්වලින් ¼ ක්  පැෂන් ගෙඩියක්  අඩංගු වෙනවා. එය අධි රුධිර පීඩනය අඩුකර යහපත් මට්ටමින් පවත්වා ගෙන එන්නට උදව් වෙනවා.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. මේ සඳහා විටමින් C උදව් වෙනවා. එක් පැෂන් ගෙඩියක්  විටමින් C මිලිගරේම්  30 ක් ණ අඩංගු වෙනවා.  මේ විටමින් ප්‍රතිඔක්සිකාරක ලෙස කටයුතු කරනු ලබනවා.
  • මලබද්ධය වළක්වයි. තන්තු බහුල පැෂන් ආහාර ජීර්ණය හොඳින් සිදුකර මලබද්ධය වළක්වා සුවපහසුව සලසාලනවා. එක් පැෂන් ගෙඩියක් අපේ දෛනික තන්තු අවශ්‍යතාවයෙන්  98% ක් සම්පූර්ණ කරනවා. මහා අන්ත්‍රයේ පිළිකා සෑදීම අවම කරන්නට මෙහි ඇති ඩයටරි තන්තු උදව් වෙනවා. මහා අන්ත්‍රය පිරිසිදු කරන්නටත් ජලයේ දියවන ඩයටරි තන්තු  රුධිරය හරහා පරිවහනය  වීමේදී  රුධිර නාල පිරිසිදු කිරීමටත් දායක වෙනවා.’
  • හිමොග්ලොබින් නිෂ්පාදනයට උදව්  වෙයි.
  • රාත්‍රී නින්ද නොයාමේ තත්ත්වයට ගුණදායකයි .
  • හෘද රෝග ඇතිවීම අවම කරයි. 
  • අක්ෂි සෞඛ්‍ය යහපත්ව පවත්වා ගනියි.
  • නින්දට පෙර පැෂන් ගෙඩියකින් බාගයක් පමණ ආහාරයට ගැනීම මගින් සුවදායි නින්දක් ලබා  ගන්නට හැකියාව ලැබෙනවා. 

සැලකිය යුතුයි 

  • මේ පැෂන්වල ලැටෙක්ස් කියන සංයෝගයට සමාන ප්‍රෝටීනයක් අන්තර්ගත වීම නිසා  ලැටෙක්ස්වලට සංවේදීතාවයක් දක්වන පුද්ගලයන්ට මෙය  ගැටළුවක් වන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න .
  • දරුවන්ට මේ පලතුරේ පොත්ත ආහාරයට ලබා දීමෙන් වළකින්න. මේ පැෂන්වල ඇතුලේ ඇති ඉතා ඝනකම් පොත්තේ  සයනෝජෙනික් ග්ලයිකොසයිඩ් අන්තර්ගත වෙනවා.මේ සයනොජෙනික් ග්ලයිකොසයිඩ් දේහයට  ඇතුල් වුණාම  සයනයිඩ්වල ක්‍රියාකාරිතවය යටතේ එය විෂ වීමේ හැකියාවක් පවතිනවා. 
  • පලතුර පලමුව හොඳින් සෝදා ආහාරයට ගන්න . එහි පිට පොත්තේ නොයෙකුත් ක්ෂුද්‍ර  ජීවින් හෝ විෂබීජ තැවරී තිබුණොත් එය පිහියේ ගැටී පැෂන් ගෙඩිය තුලට ඇතුල් වෙන්නට  හැකියාව ඇති නිසා.
  • වකුගඩු රෝගීන්ට අහිතකරයි.

පැෂන් පොටෑසියම් බහුල ආහාරයක් . සාමාන්‍යයෙන් වකුගඩු රෝගීන්ගේ පොටෑසියම් මට්ටම අධික ලෙස වැඩි වෙනවා. ඒ තත්ත්වය වළක්වා ගන්නට  පොටෑසියම් අධික ආහාර  ගැනීමෙන් වැළකී සිටීමට ඔවුන්ට සිදු වෙනවා.