එළුවන් ආහාරයට නොගන්නා එකම ශාකය වන පාවට්ටා සතු විස්මිත ඖෂධීය ගුණ

health tips

ශ්‍රි ලංකාවේ බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශවල ඉතා සුලබ ඖෂධීය වටිනාකමෙන් අනූන වු ශාකයක් ලෙස පාවට්ටා හදුනාගත හැකිය. මෙම ශාකය ආයුර්වේදය තුල වාසා, වාසක, වාසිකා, සිංහමුඛී, සිංහාස්‍යා, වෘෂා, වෛද්‍ය මාතා යන පර්යාය නාමයන්ගෙන් හදුන්වයි. ආයුර්වේදයේ “වෙද මඩු” යන නාමයෙන් හඳුන්වන පාවට්‌ටා, අගල්ලාදාර, වැටහිර, වංඇපල යන සිංහල නම්වලින් ද, දෙමළ භාෂාවෙන් ආඩතෝඩා යන නාමයෙන් ද හඳුන්වයි. වෙද පොත්වල ‘ආයුර්වේද වෙද මාමා’ ලෙස ද වං ඇපල යන නමද භාවිත කරන අතර සමාජයේ බහුලව භාවිතා වන නාමය වන්නේ පාවට්ටා ය. Acanthaceae උද්භිද කුලයට අයත් පාවට්ටා ශාකය Justicia Adhatoda උද්භිත නාමයෙන් ද ඉංග්‍රීසි භාශාවෙන්  Malabar nut යන නාමයෙන් ද හඳුන්වයි.

මෙම පාවට්ටා හෙවත් ආඩතෝඩා පැළෑටිය කෙතරම් කුඩා ළමුන්ට, දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ට උපකාර වන්නේ ද යන්න “වෙද මාතා”, “වෙද රාළගේ මෝ” යනුවෙන් වෙදපොත්වල සඳහන් වීමෙන් ම සිතාගත හැකිය. ආයුර්වේද හා දේශීය වෛද්‍ය සාහිත්‍යයේ බොහෝ කවි පදවල ඉතා වටිනා වෙදකම් සඟවා තැබූ “වෙදගැට” යනුවෙන් විශේෂ කවි පන්තීන් දැක්වෙන අතර එම වෙද කවිපන්තිවල “වෙදරාළගේ මෝව” එනම් “වෙදරාළගේ මව” යනුවෙන් හඳුන්වන්නේ ද මෙම ආඩතෝඩා පැළෑටියයි. පාවට්ටා ශාකයේ පත්‍ර ඉතා හොඳ පොහොර ගුණයකින් යුක්ත වේ. එසේම එළුවන් ආහාරයට නොගන්නා එකම ශාක දල්ල ලෙසද පාවට්ටා ශාකය හඳුන්වයි. 

මීටර් 4 ක්‌ 5 ක්‌ පමණ උසට වැඩෙන පඳුරුමය ශාකයක් වන මෙය තද කොළ පැහැති විශාල සරල පත්‍ර දරයි. එම පත්‍රය දික්‌වූ ඊතල හිසක හැඩය ගත් බහුවාර්ෂික ශාකයකි. කඳෙහි ඇතුළු පැත්තේ හටගන්නා ඉහළට විහිදුන අතු රැසකි. මෙහි පත්‍ර සරල සම්මුඛ පත්‍ර වන අතර පත්‍ර හටගන්නා ගැට ආසන්නයේ නව ශාඛා හා පුෂ්ප මංජරිය හටගනී. එනම් නටුවක් රහිතව තිබෙන සුදු පැහැති මල් ශාකයට අලංකාර බවක් ගෙනදේ.  ඵලය ස්ඵෝටිකාවක් වන අතර එහි බීජ හතරක් අඩංගුවේ. පැරණි පොත්පත් වල පාවට්ටා වර්ග දෙකක් පිළිබඳව සඳහන්වේ. එනම් ශ්වේත හා රක්ත ලෙසය.  ඕනෑම ස්ථානයක ඉතා පහසුවෙන් අතු මගින් හෝ බීජ මගින් පාවට්ටා ශාකය වගා කරගත හැකිය. දෙසැම්බර් මාසයේ දී මල් හට ගනී. පැලෙන ගෙඩිය තුළ ගැටිති සහිත බීජ 4-5 ක්‌ තිබේ. 

යම් ඖෂධීය ශාකයක පංචාංගයම (කොළ, පොතු, මුල්, මල්, නැටි) ඖෂධ යෝගයන් සදහා භාවිතා කරන අවස්ථාවන් ආයුර්වේදය තුල හමුවන්නේ විරල වශයෙනි. පාවට්ටා එසේ පංචාංගයම ප්‍රයෝජනයට ගන්නා විරල ඖෂධීය ශාකයන් අතුරෙන් සුලභවම සොයා ගත හැකි ඖෂධීය ශාකයකි. ත්‍රිදෝෂ ජනිත විවිධ රෝගාවස්ථාවන්‍ට ප්‍රතිකාර කිරීමේදි මෙම ශාකයේ විවිධ කොටස් විවිධ අකාරයන්ගෙන් ප්‍රයෝජනයට ගනියි. 

පුරාණ පාරම්පරික වෙද පොත්වල මෙන්ම ආයුර්වේද වෙදකමේ ද දැක්වෙන පරිදි පාවට්ටා යනු කැස්ස, ඇදුම ආදී බොහෝ රෝගාබාධ රැසකට ප්‍රතිකාරයට යොදාගන්නා ප්‍රමුඛ පෙලේ ඖෂධයකි. ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාවන් රැසකි. 

•පාවට්ටා කුඹුරට ජලය සපයන ජල මාර්ගවල සිටවූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දියවෙන නිසා යම් පලිබෝධ මර්දනයක් ද සිදුවීම සුවිශේෂී කරුණකි. 

•වැටට සිටුවීමට හොඳින් ගැලපෙන අතර බෑවුම් සහිත වගාබිම්වල හා අගල්වල ඉවුරේ පාංශු සංරක්ෂක ලෙස සිටුවීමට ද මෙය යොදා ගනියි.

•පාවට්ටා පත්‍ර, දුම්කොළ, අනෝදා ඇට යනාදිය කොටා යුෂ ලබාගෙන එම යුෂ ජලය සමඟ මිශ්‍ර කර කෘමි නාශකයක් වශයෙන් ද භාවිතා කරයි.

•බුලත් කොටු වටා පාවට්ටා වැටක් ලෙස සිටුවීමෙන් බුලත්වලට බැක්ටීරියා රෝග බෝවීම වැළකෙන බව විශ්වාස කෙරෙයි.

•ගැමියන් කුරක්කන් පිට්ටු සමඟ පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනු ලැබූ අතර එහි ඇති ඔෘෂධීය ගුණය බහුලය.

•දුම්කොළ වෙනුවට බුලත්විට සඳහා කෑමට ගත හැකිය.

•මදුරුවන් පැමිණීම වැළැක්වීමට මෙම පාවට්ටා ප්‍රධාන පෙලේ මදුරු විකර්ශකයකි.

•පලතුරු ඇසිරීමේදී ආඩතෝඩා (පාවට්ටා) කොළ යෙදූ විට දිලීර නාශක ගුණයක් ලැබෙයි.

•ආහාර හිඟ කාලවලදී විදේශීය වැසියන් ළපටි පාවට්ටා දළු තම්බා ලුණු සමඟ හා මී කිරි සමඟ ආහාරයට ගෙන ඇතැයි සඳහන් වේ. 

පාවට්ටා ශාකයේ ඖෂධීය ගුණ

අතීසාර, ප්‍රවාහිකා, මූත්‍ර අඩස්සිය, මූත්‍ර දාහය, පිත්ත ප්‍රමෝහ, හෘද රෝග, රක්ත පිත්ත, රක්තාර්ශස්, රක්ත ප්‍රදර ඇතුළු රක්තජ රෝග, ඇදුම ඇතුලු ශ්වසන රෝග, ආම වාතය හෙවත් ආතරයිටිස්, වණ ශෝථ, කුෂ්ඨ, ගුද කීල, පණු රෝග,චර්ම රෝග ආදී රෝග අවස්ථා බොහොමයකට ප්‍රතිකාර කිරීම සඳහා පාවට්ටා ශාකයේ කොල, පොතු, මුල්, මල්, නැටි සහිත පංචාංගය ම භාවිතා කරනු ලබයි. වාසාවලෝහය, වාසා පැණිය, වාසක පැණිය, වාසක සෘතය ආදිය යනු පාවට්ටා යොදා නිපදවන ඖෂධ කිහිපයකි. 

ආයුර්වේදයේ මේ පැලෑටියෙන් නිෂ්පාදනය කළ හැකි ඖෂධ වර්ග රැසක් පවතී. වැඩිම ප්‍රයෝජන කැස්‌ස හා ඇදුමටය. පාවට්ටා හෙවත් ආඩතෝඩ සිංහල දේශීය වෛද්‍ය ක්‍රමයේ අගනා ඖෂධයක් වගේම, මුස්ලිම් ‘යුනානි’ වෛද්‍ය ක්‍රමයේත් සිද්ධ වෛද්‍ය ක්‍රමයේත් භාවිත ඖෂධයකි. යුනානි වෛද්‍ය ක්‍රමයේ ‘ශබතේ සෝල්’ නමැති ඖෂධයේත් පාවට්ටා අන්තර්ගතය. එය වෙළෙඳපොළේ ශ්වසන රෝග සඳහා පවතින හොඳ ඖෂධීය පැණියකි. ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ මෙය තිත්ත රසින් යුත් ඖෂධයක් ලෙස හඳුන්වයි. 

ඇදුම රෝගය හා සෙම් අධික රෝග සදහා

පාවට්ටා ගසෙහි පංචාංගයම ගෙන එය සිහින්ව කොටා කොලපතක (පුවක් කොළයක) තබා තදින් බැඳගත යුතුය. කොලපතක් නොමැති නම් මැටි මුට්ටියක් ද යොදාගත හැකිය. මෙයට වතුර නොයන ලෙස පොළව හාරා වළ දමා සතියකට පසු පොළවෙන් උඩට ගෙන මෙය පවනේ වියළා කුඩු කරගන්න. මෙහි ඖෂධ පිණිස කොළ, මල්, පොතු, මුල් ගන්නා අතර සෙම, වියළි කැස්ස, ඇදුම සහ ක්ෂය රෝගය වැනි රෝග අවස්ථාවන්ට යොදා ගනු ලබයි.

මෙම කුඩුවලට සුළං නොවදින සේ හොඳින් අසුරා තබා උදය හා සවස තේ පානය කරන අයුරින් මෙම කුඩුවලට උණුවතුර දමා පානය සුදුසු ය. මෙම කොළ වේලාගෙන එම කුඩු කොළයක ඔතා සිගරැට්‌ටුවක්‌ මෙන් දුම් ඉරීම ඇදුම රෝගීන්ටත්, දුම්පානය කරන අයටත් ඉතා හොඳ පානයකි. විෂ දුම්කොළ සිගරැට්‌ටුව මෙන් මෙය ශරීරයට අහිතකර නොවන අතර මෙය ඖෂධීය ධූම පානයකි. 

පාවට්ටා කොල ඉස්ම ගෙන සූදුරු, ඉඟුරු සහ රතු ලූනු යුෂ මිශ්‍ර කර හොඳින් ලිප තබා කකාරා එහි පැණි පදමට පැමිණි පසු ලිපෙන් බා, නිවා බෝතලයකට දමා දිනපතා උදේ හවස තේ හැඳි 2 බැගින් පානය කරන්න. 

එමෙන්ම පාවට්ටා යුෂ සහ මී පැණි නැවුම් වළදකට දමා අව්රශ්මියේ දින විසි එකක් තබා වරකට තේ හැඳි එක බැගින් දිනකට තුන්වතාවක් භාවිතා කිරීම මගින් ඇදුම රෝගය සමනය කර ගත හැකිය. 

එමෙන්ම පාවට්ටා ශාකයේ පංචාංගයම ගෙන සුදුළූණු ,අමුඉඟුරු, සමග කොටා කඩ පිම්මේ තම්බා තල තෙල්   මිශ්‍ර කර ඇදුම වැළඳුන රෝගියාගේ පපුවේ ගල්වා සම්බාහනය කිරීම මගින් සහනය සලසා ගත හැකිය. 

වාසාවලෝහය නම් ඖෂධය කැස්ස, පීනස, සෙම වැනි පෙනහලු ආශ්‍රිතව හට ගන්නා සෑම රෝගයකට ම ගුණදායක බව සඳහන් ය. කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව,සෙම පීනස සහ ඇදුම වැනි රෝග සුවයට පාවට්ටා පැණිය හෙවත් වාසක පැණිය ඉතා යෝග්‍ය ය.

•තුවාල සුවයට 

අලුත ඇතිවූ තුවාලයකට පාවට්ටා කොළ අඹරා ගෑම ගුණදායකය. 

•රක්තහීනතාවය සමනය කරයි.

ශරීරයේ නිපදවන හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වූ විට රක්තහීනතාවය හෙවත් නීරක්තිය ඇතිවේ. එනම් මෙම රෝග තත්ත්වය සමනය කිරීමට ඖෂධයක් ලෙස පාවට්ටා ශාකය භාවිතා කළ හැකිය. එනම් ඒ සඳහා පාවට්ටා පංචාංගයම කෂාය කර මීපැණි දමා පානය කිරීම මගින් රක්තහිනතාවය සමනය කර ගත හැකිය. 

•උණ සමනය කරයි.

උණ රෝගය ඇති විටෙක එය සමනය කිරීම සඳහා ආයුර්වේදයේ පාවට්ටා ඖෂධයක් ලෙස භාවිතා කරයි. එනම් මේ සඳහා  මල් සහිත පාවට්ටා කොළ කොටස ගෙන කොටා ලබා ගන්නා යුෂ මී පැණි හෝ සීනි සමඟ පානය කිරීමට ලබාදීම මගින් උණ රෝගය සමනය කර ගත හැකිය. 

•පෙනහලු පිරිසිදු කරයි.

පෙනහලු පිරිසිදු කර ගැනීම සඳහා පාවට්ටා කොළ තම්බා එම හුමාලය ඇල්ලීම මගින් පෙනහළු පිරිසිදු කරගත හැකිය. එනම් සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස ඇදුම වැනි රෝග තත්ත්වයන් ඇති විටෙක මෙම ප්‍රතිකාරය වඩාත් ගුණදායකය. ඊට අමතරව පාවට්ටා පංචාංගයම සමව ගෙන වතුර පත 4 ක් දමා පත 04 එකට සිදුනු පසු හොඳින් පෙරා සීනි ඇති පදමට මිශ්‍ර කර නැවත ලිප තබා පදමට  රත්කර බෝතලයකට දමා භාවිතා කිරීම මගින් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග සමනය කර ගත හැකිය.  

ආඩතෝඩා කොළ ස්වල්පයක් ගෙන කපා එයට අරලු, මුද්දරප්පලම් ග්‍රෑම් 20 බැඟින් මිශ්‍ර කර සියල්ල මුට්ටියකට දමා පසුව එයට වතුර පත 8ක් මිශ්‍ර කර පත එකක් වනතුරු සිඳවා සීනි, මී පැණි සහ සූකිරි ස්වල්පය බැඟින් දමා උදේ සවස පත භාගය බැඟින් දින කිහිපයක් පානය කිරීම සෑම පෙණහලු ආශ්‍රිත රෝගයකටම ගුණදායක වේ.

පෙණහලු ආශ්‍රිත සෙම් රෝගවලට (ඇදුම, කැස්ස, පෙණහලු ආශ්‍රිත ඕනෑම රෝගයකට)  ආඩතෝඩ බහුලව භාවිත වේ. ආඩතෝඩ මල් කැකුළු ගෙන මඳක් වියළා උණු වතුරට මිශ්‍ර කර පානයෙන් පෙණහලු ආශ්‍රිත සෑම රෝගයකටම ගුණදායක වේ. අධික සෙම නැති කිරීමටත්, කැස්ස, ඇදුම, උගුර වේදනාව නැති කිරීමටත් මේ පානය යෝග්‍ය වේ. ‘වායාවලේහය’ ඖෂධයට ආඩතෝඩ බහුලව භාවිත කරන අතර එය කැස්ස, පීනස, සෙම වගේ පෙණහලු ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයකටම ගුණදායකය. 

•සන්ධි ඉදිමුම් සමනය කරයි.

සන්ධි රෝග තත්ත්වයන් නිසා ශරීරයේ ඉදිමුම් ඇතිවේ. එවැනි ඉදිමුම් සමනය කරගැනීමට පාවට්ටා කොළ හෝ මුල් තම්බා එම ස්ථානයන් තැවීම මගින් එම ඉදමුම් සමනය කරගත හැකිය. 

•අර්ශස් රෝගය සමනය කරයි.

බොහෝ දෙනකු පීඩා විඳින අර්ශස් රෝගය සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස පාවට්ටා භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා පාවට්ටා පස් පංගුව පොට්ටනි  බැඳ වණ්ඩුවේ තම්බා ගුද මාර්ගය තැවීම වඩාත් සුදුසුවේ. 

අර්ශස් ගෙඩි පවා හට ගැනීමේදී පාවට්ටා කොළ කොටා වණ්ඩුවේ තම්බා අර්ශස් ගෙඩිවල තවන්න. දිනපතා මෙලෙස තැවීම කළොත් අර්ශස් ගෙඩි නැති වේ.

ඊට අමතරව ශරීරයේ රුධිරය පිටවන අර්ශස්වලදී නාසයෙන් රුධිරය ගැලීමේදීත් එම රුධිරය පිටවීමේ අවදානම නැති කරන්නත් පාවට්ටා ආශ්‍රිතව ඖෂධ සකසයි. 

•දද කුෂ්ඨ සුව කරයි.

සමෙහි ඇතිවන දද කුෂ්ඨ සුවකර ගැනීම සඳහා ඈත අතීතයේ සිටම පාවට්ටා ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් ඒ සඳහා පාවට්ටා දළු හා අමු කහ අඹරා එම ස්ථානවල ආලේප කිරීම මගින් දද කුෂ්ඨ සුව කරගත හැකිය. 

ආඩතෝඩ කොළ කෂාය දිනපතා පානයෙන් කුෂ්ඨ රෝගය ක්‍රමයෙන් සුව වේ. උෂ්ණ කාලවලදී අධික ලෙස දහදිය දැමීම, දහදිය බිබිළි හට ගැනීමේ අවදානම නැති කිරීමටත් මේ ආඩතෝඩ කොළ කෂාය ගුණදායකය. ආඩතෝඩ කොළ දැමූ මුට්ටියකට වතුර පත අටක් දමා එය පත එකට සඳුවා හොඳින් පෙරා උදේ සවස පත භාගය බැගින් උක් හකුරු සමඟ පානය කිරීම සෑම රෝගයක්ම සුව කිරීමට ගුණදායක ය. 

•මුත්‍රා ආසාදන හෝ මුත්‍රා ගල් නිසා ඇති වන උදරාබාධ සමනයට 

පාවට්ටා කොළ හොඳින් කොටා ඒ ද්‍රාවණය උදරයේ වේදනාව සහිත ස්ථානයේ ආලේප කරන්න. දිනපතා උදේ සවස මේ ආලේපය ගා පැයකට පමණ පසුව සෝදා හරින්න. මෙය දින කිහිපයක් එක දිගට කරන්න. බඩේ ගල් දියවීමට මෙය බාහිරින් කළ හැකි හොඳ ප්‍රතිකර්මයකි. ඒ වගේම දැවිල්ලක් නැතිව මුත්‍රා පිට කරන්නත් මේ ප්‍රතිකර්මය ගුණදායකය.

ආඩතෝඩ ගහේ පංචාංගයම අරගෙන (මුල්, මල්, පොතු, කොළ, නැටි) හොඳින් කෂායක් සාදා දිනපතා උදේ සවස පත භාගය බැඟින් දින හතක් පමණ බොන්න. සෑම මුත්‍රා රෝගයකටම එය ගුණදායකය.

මුත්‍රා දැවිල්ල මුත්‍රා අඩස්සිය වැනි මුත්‍ර රෝග සුව කිරීම සඳහා පාවට්ටා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා පාවට්ටා කොළ මඳ පවනේ වේළා කුඩුකර තේ පානයක් ලෙස භාවිතා කිරීම මගින් මුත්‍ර රෝග සමනය කරගත හැකිය. අපහසුවෙන් මුත්‍රා පිටකිරීම හා මුත්‍රා දැවිල්ල වැනි රෝගයට මල් චූර්නය (කුඩු) තම්බා බොන්න. 

•අපස්මාරය හෙවත් වලිප්පුව සමනයට

අපස්මාරය (වලිප්පුව) සඳහා පාවට්ටාවලින් කළ තෙල් ආලේප කරන්න. 

•පණු රෝග සමනය කිරීමට

පාවට්ටා කොළ යුෂ ගෙන ගුද මාර්ගයේ ආලේප කිරීම සිදුකරයි. පණු බෙහෙතක් ලෙස ඉතා ගුණදායක ඖෂධයක්‌ වන පාවට්‌ටා පස්‌ පංගුව, පත අට එකට සිඳ පානය කිරීම ඉතා සුදුසුය. 

•හන්දිපත් ඉදිමීම, තුනටිය අමාරුව, සන්ධි වේදනා සුවයට

ආඩතෝඩ කොළ හොඳින් අඹරා ඒ ආලේපය හන්දි වේදනාවල, තුනටියේ වේදනා සහිත ස්ථානයේ ආලේප කරන්න. පාවට්ටවල පවතින ඖෂධීය රසායනික සංඝටක නිසා කිහිප විටක් ආලේප කිරීමේදී හන්දි වේදනා කැක්කුම් සමනය වේ. වාත වේදනාවලදී පාවට්ටා කොළ කොටා පොට්ටනියෙ තම්බා මඳ රස්නය පිට තැවීමෙන් වාත රෝග නිවාරණය කර ගත හැකිය. එමෙන් ම නික කොළ, පාවට්ටා කොළ, ඉඟුරු, සුදු ලුණු සහ කොට්ට පොල් සමව ගෙන හොඳින් කොටා පොට්ටනි බැඳ දිනපතා දින හතක් ශරීරය තැවීමෙන් සියලුම ඇඟේ පතේ වේදනාවලින් මිදිය හැකිය. 

•අතීසාරය, මල බුරුලෙන් පිටවන රෝග සුවයට

ආඩතෝඩවලින් ‘අගනාවාසා පුටපාක’ ලෙස ඖෂධයක් මේ සදහා සකසයි. ආඩතෝඩා පංචාංගයම ගෙන හොඳින් කොටා ඒ මිශ්‍රණය කෙසෙල් කොළේක ඔතා ඒ මතුපිට මැටි ආලේප කරන්න. ඉන් පසුව හොඳින් අව්වේ වියළා උණු අළු පල්ලේ එය හොඳින් තම්බන්න. මැටි පිලිස්සී රන්වන් පැහැය ආ විට මැටි සහ කෙසෙල් කොළය ඉවත්කර අර ද්‍රාවණය හොඳින් මිරිකා යුෂ පෙරා කුඩා බෝතලයකට ඒ යුෂ එක් කර ගන්න. ඉන්පසු වරකට ඒ යුෂ තේ හැඳි 2ක් බැගින් දිනපතා උදේ සවස එම ඖෂධීය යුෂ පානය කරන්න. අතීසාරය, මල බුරුලෙන් යෑම වැනි රෝග සුවයට වගේම කැස්ස, ඇදුම ආදී ශ්වසනාබාධ සුව කරන්නත් මේ වාසා පුටපාක ඖෂධය ඉතාම ගුණදායකය. 

•ඩෙංගු වැනි වෙයිරස් ආසාදිත රෝගයකදී රුධිරයේ පට්ටිකා ප්‍රමාණය පවත්වා ගැනීමට

මෙවැනි රෝගීන් පාවට්ටා කොළ ඉස්ම මී පැණිත් සමඟ පානය කිරීමෙන් රුධිරයේ පට්ටිකා ප්‍රමාණය වැඩි කළ හැකිය. මෙය අධික ලෙස තිත්ත රසින් සමන්විත පානයකි. මී පැණිත් සමඟ පානය කළොත් වමනය යෑම වැනි තත්ත්ව ඇති නොවේ. 

•ගැස්ට්‍රයිටිස් රෝගය සුවයට 

මෙම රෝග අවස්ථාවේදී  පාවට්ටා කොළ කොටා පෙරා ගත් යුෂ පානය කිරීම ඉතා වැදගත් ය.

•කැස්ස සුවයට 

ආඩතෝඩ කොළ ඉස්ම ගෙන එයට ඉඟුරු ඉස්ම සහ මී පැණි මිශ්‍ර කර බීමට ගන්න. වරකට තේ හැඳි දෙක බැඟින් දිනපතා උදේ සවස දින අටක් පමණ මේ ඖෂධීය පානය බොන්න. කල් ගතවූ කැස්ස ඉක්මනින් සුව වේ. පාවට්ටා කොළ මඳ අවුවේ වියළාගෙන හොඳින් කුඩුකර (තේ කොළ වගේ) ඒ කුඩු දුම් කබලකට දමා නගින දුම ඇදුම රෝගීන්ට ආඝ්‍රාණය කිරීමට සලස්වන්න. තදබල කැස්සක් පවතිනවා නම් පාවට්ටා පංචාංගය කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ජීවක කල්කය මදටිය 01 – 02 දක්වා දියකර දීමෙන් සුවය ලැබේ.

පාවට්ටා කොළ, වැල් මී, මුද්දරප්පලන් තැම්බූ වතුරට සූකිරි දියකර දිනකට තුන් වරක් දීමෙන් වියළි කැස්ස සුවකරගත හැකිය.

පාවට්ටා කොළ තම්බා නිවාගත් වතුරට මීපැණි දමා පානය කිරීම සාමාන්‍ය කැස්සට ඉතා ගුණදායකය. කල්ගත වූ කැස්සට පාවට්ටා කොල ඉස්ම රැගෙන එයට ඉඟුරු ඉස්ම සහ මී පැණි මිශ්‍ර කර බීමට ගත හැකියි. වරකට තේ හැඳි 2 බැගින් දිනපතා උදේ සවස දින 8ක් පමණ මෙම ඖෂධය පානය කළ යුතුය.

ශරීර දුර්ගන්ධයට පාවට්ටා කොළ හක් බෙල්ලන්ගෙ අළු හා මිශ්‍ර කර ගාන්න. එමෙන් ම පහසු දරැ ප්‍රසුතියට හක් බෙල්ලන්ගෙ අළු පාවට්ටා මුල් අඹරා නාභි, වස්ති යෝනිවල ආලේප කරන්න. පාවට්ටා මුල් පට්ටය තුනටිය ප්‍රදේශයේ බඳින්න. තවද රත්පිත (ලේ අඩු කමේ උච්චතම අවස්ථාව) සදහා පංචාගයම කෂාය හෝ යුෂ කර සීනි මී පැණි දමා දෙන්න. 

අංශභාගය රෝගයට ලබා දෙන  මහ දලු අනුපාතය සෑදීමටත් ආඩතෝඩ කොළ යොදා ගනියි. දෙහි, දොඩම්, නික සහ පාවට්ටා දලු සමව ගෙන පොට්ටනියක් බැඳ වණ්ඩුවේ තම්බා ගනු ලබන ඉස්මවලින් අංශභාග රෝගීන්ට සුවය සලසයි. 

මේ ආදී රෝග සමනය කිරීමට පාවට්ටා ශාකයේ පංචාංගයම ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. ඊට අමතරව පාවට්ටා කොළ ව්‍යංජනයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය. කෙසේ නමුදු යම් රෝග තත්ත්වයකට පාවට්ටා ශාකයෙන් සකස් කරගන්නා අත් බෙහෙත් භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. 

රෝග රැසකට පිළියම් කළ හැකි මෙවැනි වටිනා ඖෂධීය ශාකවල වටිනාකම මිනිසුන්ට අවබෝධ කර දී එවැනි ශාක වගාවට හා ආරක්ෂා කර ගැනීමටත් භාවිතයට ගැනීමටත් මග සැලසීම ඉතා වැදගත් වේ.