හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරන හබල පෙති කැඳ

health tips

කිරි පිටි නැතිව දවස ආරම්භ කරන්නට නොහැකි තත්ත්වයට අද අපි හැමෝම පත්වෙලා. ඒ නිසාම අපේ ශරීරයට ලබා ගන්නට හැකි අගනා දේශීය ආහාර පාන වර්ග අපෙන් ඈත් වී ගිහින්. හබල පෙති කැඳ කියන්නේ ලොකු කුඩා හැමෝටම ඉතා රසවත්ව ගුණවත්ව ලබා ගන්නට හැකි එවැනි දේශීය කැඳ වර්ගයක්. ඒ වගේම උදෑසන පානය කරන කිරි පිටි වෙනුවට ඉතා හොඳ ආදේශකයක්. 

ඉතින් මේ හබල පෙති නිෂ්පාදනය කරන්නේ රතු හෝ සුදු සහල්වලින්. මේ සඳහා ගන්නේ පැරණි වී හෝ ගොයම් කපා අවසන් වීමෙන් බිමට වැටුණු වී වලින් පැලවෙන ගොයම් පැලවලින් හට ගන්නා වී.මේ වී කපා සෝදා ගල් වැලි ඉවත් කර පැය 24 ක් පෙගෙන්නට තබනවා.පසුව වතුර පෙරා මේ වී කබලේ බැද ගන්නවා. පසුව මේ බදින ලද වී මැෂින්වලින් තැලීමේ ක්‍රියාවලියකට භාජනය කරනු ලබනවා. එවිට පොත්ත ඉවත් වී හබල පෙති සකස් වෙනවා. ඉතින් වී උපයෝගී කරගෙන සකස් කරගන්නා හබල පෙති ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ඉතා වටිනා පෝෂක රාශියක්ම ලැබෙනවා. ඒ අතර කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් කැල්සියම්, සින්ක්, යක්ඩ, මැග්නීසියම්, විටමින් B, ඛනිජ ලවණ ප්‍රමුඛ පෝෂ්‍ය පදාර්ථ ප්‍රධාන වෙනවා. ඒ නිසා හබල පෙති කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාරයක්.තන්තුවලින් පොහොසත් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් වගේම අත්‍යවශ්‍ය විටමින් බහුල ග්ලූටන් රහිත ප්‍රභවයක්.

මේ හබල පෙති පෝෂණ ගුණය අතින් ඉතා ඉහළයි වගේම සහල්වලට වඩා ඝනකම අඩු ඉක්මනින් ජීර්ණය වන සැහැල්ලු ආහාරයක්. ඒ නිසාම මේ හබල පෙති මාස 7 සති 2 සිටින දරුවන්ටත් ආහාරයට ලබා දෙන්නට පුළුවන්. මේ  හබල පෙති  ආකාර කිහිපයකටම සකස් කර ආහාරයට ගන්නට පුළුවන්.

එළවලු හෝ පලතුරුවලට බත් වෙනුවට අදේශකයක් ලෙස, හබල පෙති කැඳ ලෙස, අග්ගලා ලෙස ආදී වශයෙන් තමන්ට රුචි පරිදි රසවත්ව පිළියෙල කර ගන්නට පුළුවන්.ඒ විතරක් නෙවෙයි හබල පෙතිවලින් ඔම්ලට්, තල්ප, ආදියත් සකස් කර ගන්නට පුළුවන්. එහෙම නැත්නම් හබල් පෙති යෝගට් හෝ මුදවපු කිරි සමඟ නැත්නම් රට ඉදි සහ කිරි සමඟත් ඉතා රසවත්ව ආහාරයට එකතු කර ගන්නට පුළුවන්. අද අපි කතා කරන්නේ හබල පෙති කැඳ පිළිබඳව. මේ කැඳ උදේ හිස්බඩ පානය කිරීමයි වඩා සුදුසු.

හබල පෙති කැඳ සතු ගුණ

  • දියවැඩියා රෝගය සඳහා ඉතාමත් ගුණදායකයි 
  • හෘදයාබාධ ඇති අයට මෙන්ම හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කර ගැනීම සඳහාත් ඉතාමත් සුදුසුයි. 
  • අමිල පිත්ත රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
  • සිරුරේ බර පාලනයට උදව් කරයි 
  • ශරීරයේ බර අඩු කර ගන්නට බලාපොරොත්තු වෙන අයට ඉතාමත් සුදුසු ආහාරයක්.

හබල පෙති කැද සාදා ගන්නා ආකාරය 

1 ක්‍රමය 

අවශ්‍ය  ද්‍රව්‍ය  

  • හබල පෙති ග්‍රෑම්  200 
  • මුද්දරප්පලම් ග්‍රෑම් 50 
  • කැබලි කළ කජු මද ග්‍රෑම්  50 
  • ඉදුණු කෙසෙල් ගෙඩි 2 
  • එළකිරි 
  • රට ඉදි 
  • ලුණු අවශ්‍ය පමණට

සාදා ගන්නා ආකාරය හබල පෙති උණුකරගත් ජලයට දමා විනාඩි 4 ක් පමණ තම්බා ගන්න. පසුව දිය පෙරා හබල පෙති මිරිකා ගෙන පසෙකින් තබා ගන්න. කෙසෙක් ගෙඩි පෙති කපා දෙහි වතුරේ දමා හැකි ඉක්මනින් ගෙන තම්බා ගත් හබල පෙතිවලට එකතු කරගන්න.  පසුව එයට මුද්දරප්පලම් සහ කජු මද එයට එකතු කර එලකිරි හෝ යෝගට් මී කිරි ආදියෙන් එක් වර්ගයක් එකතු කර අවසානයේ රට ඉදි සහ ලුණු අවශ්‍ය පමණට එකතු කර කලවම් කර ආහාරයට ගන්න.

2 ක්‍රමය 

අවශ්‍ය ද්‍රව්‍ය  

  • හබල පෙති ග්‍රෑම්  100
  • පොල් කිරි ලීටර් 1 ක් 
  •  අබ ඇට තේ හැදි ¼ 
  • සුදු ළූණු බික් 4 
  •  කරාබු නැටි 5 ක් 
  • එනසාල් 6-7 ක් 
  • තලා ගත් ඉඟුරු ටිකක් 
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට 
  • රම්පේ කෑලි කිහිපයක්  
  • කරපිංචා ඉති 2 ක් 

සාදා ගන්නා ආකාරය හොඳින් සෝදාගත් හබල පෙති භාජනයකට දමා එයට ඉහත සඳහන් කළ සියලුම දෑ එකතු කර අවශ්‍ය පමණට ලුණු එකතු කර පොල්කිරි ද එකතු කර ලිප තබා පිසගන්න. හොඳින් කිරි පැසුණු පසුව කිතුල් හකුරු සමඟ පානය කරන්න.කොලෙස්ටරෝල් ඇති අයෙක්ට නම් මේ පොල් කිරි ප්‍රමාණය අඩු කිරීම සුදුසුයි.ඒ වගේම මේ ද්‍රව්‍ය  තම්බා ගැනීමට පොල් කිරි වෙනුවට ජලය භාවිතා කළ හැකියි.

උදෑසන පානය කරන්නට පුළුවන් මේ අපූරු හබල පෙති කැඳ නීරෝගී සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන්නට ඔබට බෙහෙවින් උපකාරී වන බව නිසැකයි.