දකුණු ඇමෙරිකාවේ මෙක්සිකෝවේ ජනිත පේර ශාකය ශ්‍රී ලංකාවේ පවතින රසවත් පලතුරු වර්ග අතුරින් එකකි. ලොකු කුඩා සෑම කෙනෙක්ම එක සේ ප්‍රිය කරන පළතුරක් ලෙස පේර හදුනා ගත හැකිය.
ඉතාම මිහිරි රසකින් යුක්ත පේර උෂ්ණාධික නොවන අතර ඇඹුල් රසයෙන් යුතු පේර උෂ්ණාධික වේ. ගසෙන් කඩාගත් විගස පේර ඉතා රසවත් වන අතර දින දෙකකට වඩා කල් තබා ගැනීම සිදුකළ නොහැකිය.
වර්තමානයේ පේර භාවිතා කරමින් ජූස් වර්ග, කෝඩියල්, ජෑම් හා ටොෆි වැනි ආහාරපාන සකස්කර ගැනීම සිදුකරයි. රසවත් පලතුරක් පමණක් නොව මෙහි ඖෂධීය වටිනාකම ද අති විශාලය. ඒ අනුව මිනිස් ශරීරයට පේර ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව පහත පරිදි කරුණු ඉදිරිපත් කළ හැකි ය.

කුසගින්න ඇතිවීම පමා කරයි. හොඳින් ඉදුණු පේර ආහාරයට ගැනීමෙන් පුද්ගලයාට ඇතිවන කුසගින්න පාලනය වේ. ඒ සඳහා බලපානු ලබන්නේ පේර වල ආහාරමය තන්තු කොටස් බහුලව අන්තර්ගත ව පැවතීමයි. එමෙන්ම අධික තරබාරු බවින් පෙළෙන පුද්ගලයින්ට ද ඉතා ප්‍රයෝජනවත් ආහාරයක් වන පේර ශරීරයේ තරබාරු බව අඩුකර ගැනීමටත්, ශරීරයේ බර අඩුකර ගැනීමටත් දායක වේ.
ආහාර ජීර්ණය පහසු කරයි. අධික තන්තු සහිත ස්වභාවය හේතුවෙන් පේර ආහාරයට ගැනීමෙන් ආහාර ජීරණය පහසු කරගත හැකි ය. පේර ආහාරයට ගැනීමෙන් හොදින් මලපහ පිටවීම සිදු වන අතරම මලබද්ධය වැනි රෝගී තත්ත්වයන් ඇති වීම ද පාලනය කරගත හැකි ය.
සෙම් රෝග සුව කරයි. විශේෂයෙන් පෙණහලු ආශ්‍රිතව හා උගුර ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයන් වලට හොද ප්‍රතිකාරයක් ලෙස පේර ආහාරයට ගැනීම පෙන්වාදිය හැකි ය. තවද කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව ඇති වූ විට පේර කොළ කසාය කර පානය කිරීමෙන් ද සහනයක් ලබාගත හැකි ය.
ඇස් පෙනීම නිරෝගිමත් කරයි. ඇස් පෙනීම වැඩි දියුණු කර ඇස් ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් සුව කර ගැනීම සඳහා ද පේර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එපමණක් නොව ඇස් වල දීප්තිමත් බව වර්ධනය කර ගැනීමට මෙන්ම රාත්‍රී අන්ධතාවය සුව කර ගැනීමට ද පේර ඉවහල් වේ.
පිළිකා සෛල ඇතිවීම පාලනය කරයි. පිළිකා සෛල වර්ධනය වීම පාලනය කර ගැනීම සඳහා පේර ආහාරයට ගැනීම යෝග්‍ය වෙයි. විශේෂයෙන් මුඛ පිලිකා, පියයුරු පිළිකා, පුරුශයින්ගේ ඇතිවන පුරස්ථි ග්‍රන්ථි පිළිකා යනාදී රෝග පාලනයට පේර ආහාරයට ගැනීම සුදුසු වේ. තවද තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව හෝමෝන සමතුලිත කිරීම සඳහා ද පේර ඉවහල් වේ.
අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් පාලනය කරයි. වර්තමානයේ බොහෝ පුද්ගලයින්ට ඇතිවන බෝ නොවන රෝග අතුරින් අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ප්‍රධාන වෙයි. මෙම රෝග පාලනය කර ගැනීම සඳහා පේර ආහාරයට ගැනීම යෝග්‍ය වන අතර හෘදයාබාධ ඇති වීමේ අවදානමක් පවා වළක්වා ගැනීමට හැකියාව ලැබේ.
සමේ රෝග සුව කරයි. සමේ ඇතිවන ලප කැළැල් හා අවපැහැ ගැන්වීම් දුරු කර ගැනීම සඳහා පේර වඩාත් යෝග්‍ය වේ. පේර කොළ ඇල් දියෙන් අඹරා හම මතුපිට ආලේප කිරීමෙන් මෙම ලප කැලැල් හා දද ඇතිවීම වළක්වාගත හැකිය.
දියවැඩියාව පාලනය කරයි. පේර වල පවතින අධික තන්තු සහ අඩු ග්ලයිසමික් දර්ශකය නිසාවෙන් දියවැඩියාව පාලනය කරගත හැකි ය. මෙය සිරුරේ සීනි මට්ටම ප්‍රශස්තව පවත්වාගෙන යාමට ද දායක වේ.

ගර්භණී කාන්තාවන්ට යෝග්‍ය වේ. පේර වල විටමින් B9, හා ෆෝලික් අම්ලය අන්තර්ගත වේ. මෙය ගැබිණි මවිවරුන්ට හිතකර වන්නේ එබැවිනි. තවද කුසේ සිටින දරුවාගේ ස්නායූ පද්ධතිය නිරෝගිමත් කිරීමට දායක වන අතර බිලිදාට ස්නායූ ආබාධ ඇතිවීමට පවතින ඉඩකඩ නැති කරයි.
මුඛ සෞඛ්‍ය නිරෝගිමත් කරයි. විදුරුමස් රෝග, දත් කැක්කුම, ඌෂ්ණ බිබිලි ඇතිවීම ආදී වශයෙන් මුඛ රෝග රැසකට සුවය සැලසීම සදහා පේර යෝග්‍ය වේ. ඒ සදහා පේර කොළ කොටා එම යුෂ භාවිතය හා පේර ගෙඩි ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ.
මානසික ආතතිය දුරු කරයි. විශේෂයෙන් අධික කාර්යබහුලතාවය හා පීඩනය නිසාවෙන් බොහෝ පුද්ගලයින් මානසික ආතතියෙන් පීඩා විදී. මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා බොහෝ පුද්ගලයින් පේර කොළ වලින් සකසන තේ පානය කරයි.
ඉහත දක්වා ඇති ආකාරයේ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත්කර දෙන පලතුරු විශේෂයක් ලෙස පේර හඳුනාගත හැකිය. ඉදෙන්නට ප්‍රථමව පේර ගෙඩිය තද කොළ පැහැයෙන් යුක්ත වන අතර හොඳින් ඉදුණු පසු ළා කොළ පැහැයක් හෝ කහ පැහැයක් ගනී. පේර ගෙඩියේ ඇතුළත බීජ රාශියක් පවතින අතර හොඳින් ඉදුණු පසු ප්‍රිය මනාප සුවඳක් වහනය වේ. සෑම ගෙවත්තකම පහසුවෙන් වගා කර ගත හැකි ශාකයක් වන පේර ශරීරයේ ඇතිවන ලෙඩ රෝග රැසකට ප්‍රත්‍යක්ෂ ඔසුවකි.