සෙම ආමරුව සුව කරන ආයුර්වේද පිළියම් 10 ක්

health tips

ඔබත් සෙම නිසා පීඩාවිඳිනවාද? සෙම හිරවීමෙන් හුස්ම හිරවෙන ගතියක් නිතර දැනෙනවාද?සෙම අධික වීම ඉතා පීඩාකාරි තත්වයක්.සිරුරේ එකතුවී ඇති සෙම ඉවත්කරගැනීම ද පහසු නැහැ (විශේෂයෙන්ම ඔබ රෝගීව සිටින විට).සෙම අධික වීම නිසා තදබල කැස්ස ස්වභාවයක් ඇතිවිය හැකියි.මෙසේ වන්නේ ඔබේ සිරුරේ එකතුවී ඇති ශ්ලේෂ්මල වායු මාර්ගයෙන් බැහැර කරවීමට සිරුර ගන්නා උත්සහයක් ලෙසයි.කෙසේවෙතත්, මේ ක්‍රියාවලියේදි කැස්ස නිසා ඔබේ උගුරරත් පපුවටත් ඇතිකරවන්නේ දැඩි අපහසුතාවකි.සෙම තත්වයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසුයි.මීට අමතරව සෙම අපහසුතාව දුරුකරගැනීමට නිවසේදි ඔබට අනුගමනය කළ හැකි පිළියම් ක්‍රම කිහිපයක් තමයි පහත දැක්වෙන්නේ.

සෙම බුරුල් වීමට හොඳින් වතුර බොන්න-සිරුරේ සජලතාව ‍රැකගැනීම ඉතා වැදගත්ය.දිනකට හොඳින් වතුර පානය කිරීම සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයන් හා උෂ්ණත්වය නියාමනය වීමට ආධාර කරයි.උණුසුම් වතුර පානය කිරීම වඩාත් සුදුසුයි. ඒ හැර ඖෂධීය තේ වර්ග,හරිත තේ, පලතුරු මුසු කළ වතුර හෝ වතුර අන්තර්ගතය වැඩි පලතුරු පරිභෝජනයට ගත හැකියි.උණුසුම් සුප් වගේ පෝෂ්‍යදායි ආහාර ද හොඳ විකල්පයකි.

හුමාලය අල්ලන්න-නාසයේ හා උගුරේ අපහසුතාවන්ට සහනය සලසන ඵලදායි ක්‍රමයක් තමයි හුමාලය හෙවත් ජල වාශ්ප ආග්‍රහණය කිරීම.මෙමඟින් සිරුරේ එකතුවී ඇති සෙම්සො‍ටු බුරුල් වී කෙළ හරහා හෝ නාසයෙන් බැහැර වීමට සලස්වයි.උගුරේ වේදනාව සමනය කරයි.මිනිත්තු 20ක් පමණ නාස් පුඬු හරහා වාශ්ප ආග්‍රහණය කරන්න.වාශ්ප ඉවතට නොයන සේ ඔබේ හිස තුවායකින් ආවරණය කරගන්න.දිනකට 2-3වරක් පමණ හුමාලය අල්ලන්න.ඒ හැර විකල්ප ලෙස, උණුසුම් වතුරෙන් ස්නානය හෝ ඇඟ සේදීම හෝ කාමරය තුළ හියුමිඩිෆයර් වැනි වාතාශ්‍රයේ තෙතමනය ඇතිකරවන උපකරණයක් භාවිත කරන්න.වාශ්ප ආග්‍රහණය කළ හැකි ඵලදායිම ක්‍රම අතරින් එක් වන මෙම හියුමිඩිෆයර් උපකරණ ඇදුම,බ්‍රොන්කයිටීස්,සයිනසයිටිස් (හිසේ සෙම පිරීම) වැනි රෝගින්ට පහසුව සලසයි.

ලුණු වතුර-ලුණු වතුරෙන් නාසය හා උගුර සේදීම සෙම්සො‍ටු බුරුල් වීම පහසුකරවයි.සෙම එකතුවීම වළකයි.ආසාදන දුරුකරයි.වායු මාර්ගයේ තෙතමනය ඇතිකරයි.උගුරේ අපහසුතාවෙන් පෙළෙන විට ලුණු වතුරෙ උගුර සේදීම ඉතා ඵලදායි පිළියමකි.තත්පර කිහිපයක් උගුර කළතවා සෝදමින් කෙළ විසිකරන්න.කෝප්පය හිස්වන තුරුම මෙය සිදුකරන්න.දිනකට කිහිපවරක් කරන්න.තවත් ක්‍රමයක් ලෙස උණුසුම් ලුණු වතුරෙන් නාසය සේදීම කළ හැකියි.මෙය ඉපැරණු ආයුර්වේද ක්‍රමයකි.ඉහළ ශ්වසන මාර්ගයේ සෙම්සො‍ටු ඉවත්කිරීමට භාවිත වේ.’නෙටි පොට්’ නම් උපකරණය ආධාරයෙන් මද උණුසුම් ලුණු වතුර වලින් නාස් කුහරය පිරිසිදුකරගන්න. බල්බ් සිරින්ජරයක් වුවද හොඳ විකල්පයකි.

මී පැණි-ප්‍රතිශක්තිය ශක්තිමත් කරන, කැස්ස සමනය කරන ගුණ මී පැණි වල බහුලයි. බොහෝ ලෙඩරෝග වලට මී පැණි ප්‍රබල ඖෂධයක් ලෙස ක්‍රියාකරයි.කෙසේවෙතත් අවුරුද්දට වඩා අඩු ළමුන්ට මී පැණි නිර්දේශ නොකරයි. ඊට හේතුව බොතුලීනියා නම් ආසාදන අවදානමයි.වැඩිහිටි සෙම රෝගීන්ට මී පැණි ඉතා හොඳ පිළියමකි. ප්‍රතිප්‍රදාහක, ප්‍රතිඔක්සිකාරක හා ක්ෂුද්‍රජීවී නාශක ගුණ වලින් අනූන වීම ඊට හේතුවයි.දිනපතා මී පැණි තේ හැඳි 1ක් බැගින් අනුභව කරන්න.මෙය කැස්ස ඇතිවීම වළකන බව සඳහන් වේ.තේ හෝ ඖෂධීව පාන වර්ග සමඟ මුසු කර භාවිත කළ හැකියි.

විටමින් C-ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිප්‍රදාහක ගුණ බහුල විටමින් C සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ සමනයට ඉහළ මට්ටමේ ගුණයක් ලබාදේ.උගුරේ ,ශ්වසන මාර්ගයේ හා සයිනස ආස්තර වල සෙම බුරුල්විමට සලස්වයි.ලෙමන්, දොඩම් වැනි පැඟිරි පලතුරු වල ,බෙරි ඇතුළු පලතුරු වල මේවා බහුලයි.මද උණුසුම් වතුරට ලෙමන් ගෙඩි බාගයක යුෂ මිරිකා මී පැණි තේ හැඳි 1ක් දමා පානය කරන්න.විටමින් C පෙති ලෙසත් ලබාගත හැකියි.

ඉඟුරු-සෙම්ප්‍රතිශ්‍යාව ,කැස්ස වැනි අපහසුතාවන්ට ඉඟුරු හොඳ පිළියමකී.උණුසුම් ඉඟුරු තේ කෝප්පයක් පානය කිරීමෙන් උගුරේ අපහසුතා සමනය වී යනු ඇත.සෙම බුරුල් වීමට සලස්වන ඖෂධීය ගුණ බහුලයි.ප්‍රතිප්‍රදාහක හා ප්‍රතිඔක්සිකාර ගුණ ද අඩංගු නිසා උගුරේ ඉදිමුම හා වේදනාවට ගුණදායකයි.සිරුර උණුසුම් කරන ගුණ ද අඩංගුය.අමු ඉඟුරු කැබැල්ලක් ලුණු කැට කිහිපයක් සමඟ ආහාරයට ගැනීමද පිළියමකි.

කහ-රාත්‍රී නින්දට පෙර කහ කිරි වීදුරුවක් පානය කරන්න.සිරුරේ අතිරික්ත සෙම බුරුල්වීමට,රුධිර නාළ විවෘත වීමට හා සිරුරේ රුධිර ගමනාගමනය ඉහළ දැමීමට කහ කිරි ගුණ දෙන බව යුනානි වෛද්‍ය විද්‍යාවේ සඳහන් වේ.කහ වල ආසාත්මිකතා හා ප්‍රදාහය දුරුකරවන ගුණ අඩංගුයි.කිරි හෝ වතුර වීදුරුවකට කහ කුඩු මේස හැඳි 1ක් කළවම් කරන්න. උතුරවාගත් පසු මී පැණි ස්වල්පයක් දමා පානය කරන්න.

සුදුලූනු-සිරුරේ සෙම අධිකව නිපදවීම හා එකතුවීම වැළැක්වීමට සුදුලූනු වල ඖෂධීය ගුණ සමත්ය.සෙම්ප්‍රතිශ්‍යාව හා උගුරේ ආසාදන වලට ද ගුණදායිය.ශ්වසන අපහසුතා සමනය කරවයි.වෛරස ඇතුළු විෂබීජනාශක ගුණ බහුලයි.එදිනෙදා ආහාර සැකසීමේදි ඒවාට සුදුලූනු එක්කරගන්න.සුප් සමඟ සුදුලූනු පරිභෝජනය කරන්න.

යුකැලිප්ටස් තෙල්-සෙම බුරුල් කරවන හා සෙම එකතුවීම අඩුකරවන ප්‍රසිද්ධ සගන්ධ තෙල් වර්ගයක් ලෙස යුකැලිප්ටස් තෙල් හැඳින්විය හැකියි.මේවායේ සුවඳ මින්ට් හා මී පැණි වල සුගන්ධයට සමානකමක් දක්වයි.වැපොරබ් බාම් වල ප්‍රධාන අමුද්‍රව්‍යක් වන්නේ මේවායි.පොල්තෙල් හෝ ආමන්ඩ් තෙල් සමඟ මෙම තෙල් වලින් ස්වල්පයක් තනුක කර භාවිතයට ගැනීම වඩාත් සුදුසුයි.තෙල් ස්වල්පයක් අල්ලට ගෙන පපුවේ,උගුරේ හා මුහුණේ ගල්වා සමට උරාගන්නා තුරු සම්බාහනය කරන්න.දිනපතා කිහිපවතාවක් මෙසේ සම්බාහන සත්කාරය කරන්න.ඩි‍ෆියුසර් හෝ හියුමිඩිෆයර් උපකරණයට හෝ හුමාලය ඇල්ලීම සඳහා උතුරවාගත්  වතුරට යුකැලිප්ටස් තෙල් බිංදු කිහිපයක් එක්කරගැනීම තවත් හොඳ විකල්පයකි.

‘වේපොරබ්’ බාම් මෙම ප්‍රසිද්ධ බාම් වර්ගයේ කපුරු,මෙන්තෝල් හෝ යුකැලිප්ටස් තෙල් වගේ ප්‍රබල ඖෂධීය අමුද්‍රව්‍ය අඩංගුයි.හුස්ම ගැනීමේ අපහසුතා සමනය කරවයි.සෙම්ප්‍රතිශ්‍යාව, පපුවේ හිරවන ගතිය,නාසයේ හා උගුරේ අවහිරතා ඇතුළු ගැටලු වලට සහනය සලසයි.මෙම බාම් වලින් ස්වල්පයක් බෙල්ල හා පපුවේ ගල්වා සම්බාහනය කිරීමෙන් සෙම එකතුවීම හා හිරවීම දුරුකරගැනීමට ඉහළ මට්ටමේ ගුණයක් ලබාගත හැකි බව අධ්‍යන පෙන්වාදේ.මෙහි අඩංගු මෙන්තෝල්  සිරුරේ සංවේදී ප්‍රතිග්‍රාහක මත ක්‍රියාකරමින් වායු මාර්ග ලිහිල් කරයි.ආග්‍රහණය කිරීමෙන් සිසිලසක් දැනී නාසයේ අපහසුතාවන් බොහෝ දුරට සමනය වේ.

සෙම අවහිර වීම නිසා දැනෙන අපහසුතාව නරක අතට හැරී ඇත්නම්, ඖෂධ ලබාගත්තද සුවයක් නොමැතිනම්,හුස්ම ගැනීමට අපහසුයි නම්,හෘද ස්පන්දනය අක්‍රමවත් හා වේගවත් නම්,හුස්ම ගන්නා විට හතිය මෙන් ශබ්දයක් පිටවෙයි නම්,ගිලීමේ අපහසුතා ඇත්නම්,උණ හෝ සම නිල්වීමක් හෝ සුදුමැලි වීමක් දැකිය හැකි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත්වන්න.