උගුර ප්‍රදේශයේ සෙම පැය 24 ක් යන්න කලින් ඉවත් කරන අත් බෙහෙතක්

health tips

ලොකු කුඩා, බාල මහලු, උසස් පහත්, ධනවත් පොහොසත් කියන කිසිම භේදයකින් තොරව අපි හැමෝම කරා නිරායාසයෙන් ලෙඩ රෝග ළඟා වෙනවා. හිතන්නෙවත් නැති වෙලාවක අපට ඇතිවන යම් යම් රෝග තත්ත්වයන් අපිව කායිකව වගේම මානසිකවත් බොහෝදුරට පීඩාවට පත්කරනවා.  ඒ වගේම තමයි සුළු අසනීපයකදී වුණත් අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ රෝහලකට ගිහිල්ලා අවශ්‍ය කරන ඖෂධ ලබා ගන්නට.

 නමුත් අපි හැමෝටම අමතක වෙලා අපූරු වෛද්‍ය ඥානයක් දැනුම් සම්භාරයක් අප සතු බව. එදා අපේ වැඩිහිටියන් බොහෝ  සුළු අසනීපවලදී භාවිතා කළේ එවැනි අත් බෙහෙත්. මේ අත් බෙහෙත් රෝගයක් වැළඳී ගෙනෙ එන විට එය වළක්වා ගන්නටත්, තවත් විටෙක රෝගය උත්සන්න නොවී පාලනය කර ගන්නටත් වගේම ඇතැම් විටෙක සම්පූර්ණ සුවය සඳහාත්  ඔවුන් භාවිතා කළා.

සෙම් රෝග ලොකු කුඩා හැමෝටම නිතර ඇති වෙනවා. සෙම වැඩි වුණොත් උගුරේ සහ පපුවේ ඒ සෙම එක්රැස් වෙන්නට පටන් ගන්නවා. ශරීරයේ සෙම පවතින විට ඒ සමගම උණ ඇතිවීම, ශරීරයට දුර්වල බවක් දැනීම, හුස්ම ගැනීම අපහසු වීම, නාසයේ බර ගතිය, නිරන්තරයෙන් කැස්ස ඇතිවීම සහ උගුරේ සෙම පැටලීම  වගේ අපහසුතාවලට  මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. 

 බොහෝ වෙලාවට උගුරේ වේදනාව සෙම පැටලීම ආදිය නිසා කතා කරන්නට අපහසු වීමත් අත්විදින්නට ලැබෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල මුදල් වියදම් කරගෙන ආරෝග්‍යශාලාවලට යනවට වඩා ඔබට පුළුවන් නිවසේදීම ඒ සඳහා ප්‍රත්‍යක්ෂ  ගුණ දෙන අත්බෙහෙත් කිහිපයක් සිදු කර බලන්න. 

අවශ්‍ය ද්‍රව්‍ය

වැල්මී ස්වසන රෝග ඇතුළු රෝග රැසකට ගුණ දෙන ඖෂධීය වටිනාකමක් ඇති ඔසුවක් විදියට වැල්මී සැලකෙනවා. සාමාන්‍යයෙන් සෙම නිසා ඇතිවන උගුරේ අපහසුතාවලදීත්, කටහඩේ අපැහැදිලිතාවලදීත් සූකිරි සමඟ වැල්මී ආහාරයටත් ගන්නවා බොහෝදෙනෙක්. මේ ස්වසන රෝග හැරුණාම දත් දිරායාම, බඩේ ආම්ලික ස්වභාවය ,බැක්ටීරියා සහ වෛරස් ආසාදන ඇතුළු රෝග බොහොමයක් සමනය කරන්නට වැල්මී සතුව සුවිශේෂී හැකියාවක් තියෙනවා.

 ප්‍රති ආසාත්මිකතා හ ප්‍රතිවෛරස ගුණ සහිත , ලයිකොරිසිඩින්, ග්ලිසරෝල් , ග්ලයිසිරින් සහ ග්ලයිසිකුමරින් ආදී සංඝටක  සහිත වැල්මීවලට  ස්වසන පද්ධතියේ ආසාදන ඇති කරන බැක්ටීරියා සමග සටන් කරන්නට හැකියාව තියෙනවා. ඒ වගේම මතක ශක්තිය වර්ධනයටත්, ආතතිය සමනය කර මොලයේ පුනර්ජීවනය ඇති කරන්නත්, අධික පිපාසය සහ කුසගින්න නිසා ඇතිවන දියවැඩියා රෝග ලක්ෂණ පාලනයටත් සමේ ගැටලු නිරාකරණයටත් වැල්මී කියන්නේ ඉතාම හොඳ ඖෂධයක්. 

තිප්පිලි වා පිත් සෙම් සමනය කිරීමේ හැකියාවක් තියෙන තිප්පිලි කුසගින්න පාලනය කිරීම, ආහාර ජීර්ණය පහසු කිරීම, පණුවන් නැසීම ආදිය සඳහා ඉතාම ගුණදායකයි. ඒ වගේම මෙය පුනර්ජීවන ඔසුවක් විදිහටයි ක්‍රියාකරන්නේ. මේවායේ මුල් සහ වියලි කරල් ආයුර්වේදයේ ඖෂධ වශයෙන් භාවිතයට ගන්නවා. ඒ විතරක් නෙවෙයි ‍ප්‍රතිඔක්සිකාරක, පිළිකා නාශක, ක්ෂුද්‍ර  ජීවී විරෝධී, වේදනා නාශක, විශාද නාශක, අක්මා ආරක්ෂක සහ හෘද ආරක්ෂක ආදී ගුණාංග රාශියකින්ම මේ තිප්පිලි ඔසුව සමන්විතයි.

 ස්වසන පද්ධතියේ විශහරණය කර ස්වසන පද්ධතිය ප්‍රබෝධමත් කරන්නට හැකියාව ඇති මෙමගින් සිරුරේ සෙම ඉවත් කර ශරීරයේ ගැඹුරු  ස්වසන පටකත්   පෝෂණය කරනවා.

උක් හකුරු උක් ශාකය සිංහල බෙහෙතට නැතුවම බැරි අපූරු පලතුරක් .ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ඇදුම, කැස්ස ,පීනස සෙම් ආදී තත්ත්වයන් සඳහා වගේම වෙනත් රෝග සඳහා පිළියම්වලදීත් උක් පැණි වගේම උක් හකුරුත් භාවිතයට ගන්නවා. 

උණුසුම් ජලය 

සාදාගන්නා ආකාරය වැල්මී තිප්පිලි (කරල් )යන දෙවර්ගය සමව ගෙන හොඳින් සෝදා ගෙන ඒවා කුඩු කරගන්න. මේ හා සමාන ප්‍රමාණයකින්ම උක් හකුරු ගෙන සියල්ලම හොඳින් අඹරා ගන්න. පසුව ඒ මිශ්‍රණයට  උණුසුම්  ජලය දමා  මද වේලාවක් තිබෙන්නට හරින්න.

සාමාන්‍ය රස්නය තිබියදීම පෙරා හෝ පෙරීමෙන් තොරව පානය කරන්න. මෙය  දවසට දෙවරක් පමණ පානයට ගැනීමෙන් උගුරේ ඇති සෙම තත්ත්වය සහ අපහසුතා පහසුවෙන්  නැති කරගන්න පුළුවන්. 

 උගුර තැවීම සඳහා-උඳුපියලිය, රතු ළුණු, කුප්පමේනිය කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා උගුර ප්‍රදේශය තැබීම මේ පිළියමත් සමඟ කිරීමෙන් ඉක්මන් සහනය සලසා ගන්නට පුළුවන්.