ස්මාර්ට් දුරකථනය වර්තමානයේ අපේ ජීවිත වලට ගොඩක් සමීප වෙලා තියෙනවා. දුරකථනය නැතිව මොහොතක්වත් ඉන්න බැරි තරමට සමහරු ඊට ඇබ්බැහි වෙලා.සමහරු රාත්‍රියේ නිදාගන්න ඇඳට ගිය විට පවා යම් වෙලාවක් දුරකථනය භාවිත කරන්න පුරුදු වෙලා ඉන්නවා.කොහොමවුණත් මේ පුරුද්ද ඔබේ සෞඛ්‍යයට ඉතා හානිකර බවයි පෙන්වාදෙන්නේ.
රාත්‍රී නින්දට කළින් දුරකථනය භාවිත කිරීම ඔබේ සෞඛ්‍යයට මෙවැනි බලපෑම් ඇතිකළ හැකියි.
- ඇස් වලට හානිකරයි

පැය ගණනක් එක දිගට දුරකථන තිරය දෙස බලාගෙන ඉද්දී ඇස් බොඳවී යන ගතියක් දැනිලා තිබෙනවද? තිරය දෙස අධික වෙලාවක් බලාගෙන ඉද්දී ඇස් වල පේශී විඩාවට පත්වෙනවා.මෙය ඇස් වල තෙහෙට්ටුව (eyestrain/tired eyes) ලෙස හඳුන්වයි.ඔබේ ඇස් වල අරක්ෂාවට තිරයේ ආලෝකය (screen brightness) අවම කරන්න. ඒවගේම දිගු වෙලාවක් දුරකථනය භාවිතයෙන් වළකින්න.
- නින්දට බාධා කරයි

සිරුරට හොඳ විවේකයක් ලැබෙන්නේ රාත්‍රී නින්දේදියි. සුවබර නින්දක් ලැබීම සිරුරේ නීරෝගිබවට ඉතා වැදගත්.කෙසේවුවත් නින්දට යන්න ආසන්නව ඉද්දී දුරකථනය භාවිතය ඔබේ නින්දට බාධා ඇතිකරන බව සොයාගෙන තිබෙයි.ඒවයින් නිකුත්වන නිල් ආලෝකය (blue light) ඔබේ ඇස් වල පෙනීමට පමණක් නොව ඔබේ ස්වභාවික නිදි චක්‍රයට ද බාධා ඇතිකරයි.නින්ද ඇතිකරවන මෙලටොනින් නිපදවීම අඩාල කරවයි. සුව නින්දක් නොලැබීම නොයෙකුත් සංකූලතා සිරුරේ මතුවීමට හේතුවෙයි.
- බෙල්ලේ වේදනාවට හේතුවෙයි

ඔබ බෙල්ලේ වේදනාවෙන් පෙළෙනවා නම්, නින්දට යන විට ඇදට හේත්තු වී දුරකථනය භාවිත කරන ඉරියව්වෙන් එය තවත් නරක අතට හැරිය හැකියි.තිරය දෙස බැලීමට හිස ඉදිරියට නවාගෙන ඉන්නා විට බෙල්ලේ පේශී වඩාත් ඇදීයාමකට ලක්වෙයි. ඉන් බෙල්ලේ වේදනාව මතුවෙයි.පේශී ඇදීයාම වළක්වාගැනීමට නම් හිස නොනවා, දුරකථනය ඇස් මට්ටමට තබාගෙන භාවිත කිරීම වඩාත් සුදුසුයි.
- සම වේගයෙන් වයසට යාමට හේතුවක් විය හැකියි

දුරකථනය දෙස හිස නවාගෙන බලා සිටින ඉරියව්ව නිසා මුහුණේ ඉරි වැටීම් සහ බෙල්ලේ නැමි වර්ධනය වීමට ඉඩ තිබෙයි. සම මෙසේ අනවශ්‍ය ලෙස රැළි වැටීමෙන් ඔබ තුලින් අකලට වියපත් වූ පෙනුමක් දිස් විය හැකියි.