ගර්භණී කතුන්ට ගුණ දෙන නෙල්ලි 

health tips

ආමලකි යන සංස්කෘත නාමයෙන් හදුන්වන නෙල්ලි බෝහෝ දෙනෙක් ප්‍රිය කරන ඖෂධීය ගුණ පිරි පළතුරකි. එමෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව නෙල්ලි ත්‍රිදෝෂ හර ඖෂධීය ශාකයකි. එනම් පෝෂ්‍ය පදාර්ථ රැසක් අන්තර්ගත මෙම ශාකය Phylantha emblica යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන අතර එය Euphorbiaceae ශාක කුලයට අයත් ශාකයක් වේ. නෙල්ලි ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ලබා ගත හැකිය. එනම්

ජලය ,ශක්තිය ,මේදය ,කැල්සියම් පොස්පරස් ,යකඩ ,තයමින් රයිබොප්ලේවින් ,නියසීන්, විටමින් A ,විටමින් C යනාදී වශයෙන් බෝහෝමයක් පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වේ. නෙල්ලි මද ග්‍රෑම් සියයක් පමණ ආහාරයට ගැනීමෙන් ඉහත පෝෂ්‍ය පදාර්ථ ශරීරයට  ලබා ගත හැකිය. නෙල්ලි යනු දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී බෝහෝමයක් රෝග සුවපත් කිරීමට භාවිත කරනු ලබන ඉතා වටිනා ඖෂධයක් වේ. 

නෙල්ලි ශාකයේ ඖෂධීය ගුණ හදුනා ගනිමු. 

  • ප්‍රතිඔක්සිකාරක ගුණය.නෙල්ලි යනු විටමින් C බහුලව පවතින ආහාරයක් වේ. විටමින් C මිනිසාගේ ශරීරය තුළදී ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින් ශරීරය රෝගාබධවලින් ආරක්ෂා කිරීම සදහා ක්‍රියා කරනු ලැබේ.ඒ නිසා නෙල්ලි ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකිය. 
  • තරුණ බව රැක දෙයි.නෙල්ලි විටමින් A විටමින් C යනාදී ප්‍රතිඔක්සිකාරක අඩංගු පළතුරක් වේ. ප්‍රතිඔක්සිකාරක මගින් ප්‍රධාන වශයෙන් ම සිදු කරනු ලබන්නේ වයසට යාම වැළැක්වීමයි. විවිධ රූපලාවණ්‍යය කටයුතු මගින් තම තරුණ පෙනුම රැක ගැනීමට උත්සාහ කරන කාන්තාවන්ට නෙල්ලි වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ස්වාභාවිකවම තම තරුණ පෙනුම රැක ගැනීමට හැකියාව ලැබේ. උදෑසනට නෙල්ලි ගෙඩි තුනක් දහවලට නෙල්ලි ගෙඩි දෙකක් සහ රාත්‍රියට නෙල්ලි ගෙඩියක් බැගින් ආහාරයට ගැනීමෙන් අවුරුදු සියයක තරම් දීර්ඝායුෂ ලැබෙන බවද කියවේ. 
  • හිසකෙස් ආශ්‍රිතව ඇතිවන ගැටලු සදහා.හිසකෙස් අකලට සුදු වීම බෝහෝමයක් දෙනෙකු මුහුණ දෙන ගැටලුකාරී තත්වයක් වේ. මේ සදහා අමු නෙල්ලි ගෙඩි තම්බා හිස සේදීම වඩාත් ගුණදායක ප්‍රතිකාරයක් වේ. මෙහිදී සබන් භාවිත කර හිස සේදීම නොකළ යුතුය. දෙහි සහ නෙල්ලි යුෂ මිශ්‍ර කර දිනපතා රාත්‍රි නින්දට යාමට පෙර හිසේ ආලේප කර හිස හොඳින් පිරිමදින්න. මෙමගින් හිසකෙස් අකලට පැසීම, හිසකෙස් පැලීම මෙන්ම හිසේ උකුණන් ද ඉවත් කර ගත හැකිය. එසේම අරළු ,බුළු,නෙල්ලි ,කීකිරිඳිය යුෂවලින් අඹරා කීකිරිඳිය යුෂ ට මිශ්‍ර කර හිසේ ගල්වා පසුව ස්නානය කිරීම මගින් නීරෝගී කෙස් කළඹක් ලබා ගත හැකිය. 
  • හිසරදය සදහා.අරළු ,බුළු, නෙල්ලි ,ඇහැල පොතු රසකිද,කලාදුරු අල කලං දෙක බැගින් ගෙන වතුර පත අටක් මිශ්‍ර කර එකට සිදුවා ලුණු මිශ්‍ර කර පානය කිරීම හිසරදය සදහා ඉතා ගුණදායක වේ. 
  • මධුමේහයට. වියළි නෙල්ලි ,මාදං ඇට , කරවිල චූර්ණය මේ සදහා ගුණදායක වේ. 
  • ඉස්සොරි සදහා.කීකිරිඳිය, මුං ඇට ,නෙල්ලි ,සුදු හදුන් එළකිරිවලින් හා තැඹිලි දියෙන් අඹරා හිසේ හොඳින් ආලේප කර පසුව සෝදා හැරීම සුදුසුවේ. 
  • ගර්භණී සමයේ ඇතිවන සංකූලතා සමනය කරයි.ගර්භණී සමයේ විශේෂයෙන් හොර්මෝන ක්‍රියාකාරිත්වය වෙනස් වීම නිසා ගර්භණී කාන්තාවන්ගේ සිතුවිලි කුඩා දෙයකදි පවා වෙනස් වේ.කෝපයට ව්‍යාකූල තත්වයට පත්වේ. නෙල්ලි ආහාරයට ගැනීමෙන් මෙම තත්වයන් යහපත් ලෙස වෙනස් කර ගත හැකිය. 
  • මලබද්ධය තත්වයන් සමනය කරයි. ගර්භණී සමයේ මලබද්ධය සුලභ තත්වයක් වේ. නෙල්ලි වල අන්තර්ගත ෆයිබර් ආහාර ජීරණය පහසු කර වැසිකිළි යාම පහසු කරනු ලබයි. 

තාවකාලික දියවැඩියාව සදහා. ගර්භණී සමයේ ඉන්සියුලින් හෝර්මෝනයේ සිදුවන වෙනස්කම් නිසා දියවැඩියා තත්වයන් ඇතිවන අතර නෙල්ලි ආහාරයට ගැනීමෙන් එම තත්වය වළක්වා ගත හැකිය. එමෙන්ම,

  • ගර්භණී සමයේ මූත්‍ර ආසාදන ඇතිවීම වළක්වනු ලබයි.
  • නෙල්ලි යකඩවලින් පරිපුර්ණ නිසා ගර්භණී සමයේ රක්තහීනතාව සදහා ගුණදායක වේ.
  • නෙල්ලි යුෂ පානය කිරීමෙන් ගර්භණී සමයේ හොර්මෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන බඩේ දැවිල්ල හා ඇසිඩ් ගතිය සමනය කරයි.
  • අඩු වයසින් දරුවන් ඇති වීමට අති අවදානම වළක්වන අතර දරුවන්ගේ බුද්ධි මට්ටම වර්ධනය කරයි.
  • දරුවා ඉපදුණු පසු මව්කිරි නිෂ්පාදනය සදහා ද නෙල්ලි ආහාරයට ගැනීම උපකාරී වේ. 

• දන්ත රෝග සදහා.දත් ආශ්‍රිතව හා විදුරුමස් ආශ්‍රිතව හටගන්නා රෝගී තත්වයන් සුවපත් කර ගැනීම සදහා නෙල්ලි තැම්බූ ජලයෙන් මුඛය සේදීම මෙන්ම. විදුරුමස්වලින් ලේ ගැලීම නැවත්වීම සදහා නෙල්ලි වැඩි වශයෙන් ආහාරයට ගැනීම ගුණදායකය. 

  • චර්ම රෝග සදහා.නෙල්ලි සහ කොහොඹ පොතු වේලා හොඳින් කුඩු කර ආලේප කිරීම. එමෙන්ම එමගින් නීරෝගී සමක් ලබා ගත හැකිය. උණුසුම් කාලයන් වලදී සමෙහි ඇතිවන දහඩිය බිබිලි සදහා ද නෙල්ලි ඖෂධයක් වේ. එමගින් සම අවපැහැ වීමද සිදු වේ. මේ සදහා නෙල්ලි සහ රසකිඳ තැම්බූ ජලය රාත්‍රි කාලයේ පානය කළ යුතුය. එමෙන්ම සමේ දහඩිය බිබිලි ,කැසීම් ඇති විට නෙල්ලි ,නෙල්ලි කොළ ,නිදිකුම්බා කොළ බෙහෙත් අනෝදා කොළ ආදිය තම්බා එම ජලයෙන් ඇග සේදීම ඉතා ගුණදායක වේ. 
  • ඇස්වල සුන්දරත්වය පවත්වා ගැනීම සදහා.සමහර පුද්ගලයන්ගේ ඇස් විවිධ හේතූ නිසා රතු පැහැ වේ. එය එතරම් සුන්දර නැත. මෙවැනි අවස්ථාවන්හි නෙල්ලි සහ මුංඇට තම්බා පානය කිරීම ඉතා ගුණදායක වේ. මේ අනූව නෙල්ලි යනු ලොකු කුඩා කාගෙත් ප්‍රියතම ආහාරයක් වන අතර ගුණදායක බවින් ද පිරි පළතුරක් වේ. නමුත් දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් ඇතිවිට ඖෂධ වර්ග සමග නෙල්ලි ආහාරයට නොගත යුතුය.