බිඳුණු අස්ථි තිස්පැයක් යාමට මත්තෙන් සවිමත් කරන කැටකෑල ශාකයේ රෝග සුව කිරීමේ ගුණ 9 ක්

health tips

බිඳුණු අස්ථි තිස් පැයක් යාමට මත්තෙන් සවිමත් කරන කැටකෑල යනු ආයුර්වේදය තුළ  කැඩුම් බිඳුම් වෙදකම සඳහා භාවිතා කරන වටිනා ඖෂධීය ශාකයකි. phyllanthaceae උද්භිද කුලයට අයත් කැටකෑල මධ්‍යම ප්‍රමාණයට වැඩෙන ශාකයක් වන අතර  පත්‍ර ළපටි සරල ඒකාන්තරව පිහිටි පත්‍ර වේ.  පත්‍ර මතුපිට කොළ පැහැති වන අතර යටි පැත්තෙහි සුදු පැහැති  බූවා ද දක්නට ලැබේ.

මල් පතනශීලි පුෂ්ප වන අතර කොළ ,රතු, දම් මිශ්‍ර ඒක ලිංගික මල් වේ. ඵලය අෂ්ටිලයක් වන අතර ළපටි අවධියේ කහ පැහැති පොකුරක් ලෙස ද ඉදුණු පසු රෝස පැහැති පොකුරක් ලෙස ද දැක ගත හැකිය. පැණි රස හෝ කහට  රසැති කැටකෑල ගෙඩි  පළතුරක් ලෙස ආහාරයට ගත හැකිය.

කැටකෑල වර්ග දෙකක් හඳුනාගත හැකිය.
එනම් කැටකෑල ශාකයේ පොළොවට ආසන්න කඳ කොටස තුළ කටු පැවතීම හා  කටු නොපවතින ලෙස එම වර්ග දෙක හඳුනාගත  හැකිය.

  • කටු කෑල- කටු ඇති
  • කැට කෑල -කටු නැති යනුවෙනි.

නමුත් බොහෝ දෙනෙකු කැටකෑල, කෑලිය , කෑල  එකම ශාකයක් ලෙස වැරදියට  හඳුනා ගෙන තිබේ. නමුත් මේවා ශාක වර්ග තුනකි.

විශේෂ කොට මෙම ශාක භාවිතා කරන්නේ අස්ථි කැඩුම් බිඳුම් හා දද, ගෙඩි වලට ප්‍රතිකාර කිරීම සදහාය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීයව ඉන්දියාව වැනි රටවල ද කැට කෑල ශාකය  දැකගත හැකිය.

ආයුර්වේදය තුළ  කැඩුම් බිඳුම් වෙදකම සඳහා කැටකෑල ශාකයේ  පොතු, කොළ ,මුල්, මල් …..ආදිය ඖෂධ ලෙස භාවිතා කරනු ලැබේ.

කැට කෑල ශාකයේ ඖෂධීය ගුණ භාවිතය

වැටීම් ,තැලීම් නිසා ඉලයේ ඇතිවන වේදනාවන් සඳහා කැට කෑල ශාකය බටහිර පැත්තෙන් පොත්තක් පහලට ගලවා යුෂ ගෙන කකරා පැණි පදමට ගෙන ශරීර උෂ්ණත්වයට සමාන උණුසුමෙන් එම ස්ථානවල ආලේප කිරීමෙන් වේදනාව සුවවේ.

උලුක්කු හා ඉදමුම් සඳහා කල්ගිය කැට කෑල පොතු ගෙන කොටා වතුර දමා මිරිකා යුෂ ගෙන නැවත කකාරා පැණියක් ලෙස ගෙන උලුක්කු වූ ස්ථානවල ගැල්වීමෙන් වේදනා ඉදිමුම් සුව වේ.

ගඩු සඳහා කැබැල්ල පොතු, කැටකෑල පොතු කොටා යුෂ ගෙන පැණියක් සේ සිඳ  ගඩු වල ගැල්වීම මෙන්ම  කැටකෑල පොතු, කෑලිය පොතු කොටා යුෂ ගෙන වියන් දුඹුලු සමඟ අඹරා කකාරා මී පැණි මිශ්‍රකර ගඩු වල ගැල්වීම යෝග්‍ය වේ.

අස්ථි භග්නයකදී ඇතිවන වේදනා සමනය කිරීම සඳහා කැටකෑල පොතු යුෂ තෙල් වලින් කකාරා එම ස්ථානය ගැල්වීමෙන් ගුණ ගෙන දේ.

කැඩුණු ඇට සන්ධි නැවත සකස් කිරීම සඳහා කැට කෑල ශාකයේ පොතු තම්බා බැඳීමෙන් කැඩුණු ඇට සන්ධි නැවත සකස් කර ගත හැකිය.

කුෂ්ට රෝග සදහා කැටකෑල දලු අඹරා එම යුෂ කුෂ්ඨ දද මත ආලේප කිරීමෙන් සුවය සලසා ගත හැකිය.

අස්ථි බිඳීම් සඳහා කැටකෑල ශාකයේ පොතු ,කොළ ,මුල්, අමු කහ සමඟ ලුනු දමා කොටා තල තෙලෙන් මලවා බැඳීමෙන් බිඳුණු අස්ථි නැවත සවිමත් කර ගත හැකිය.

කෑල පොතු ,කහට පොතු ,මගුල් කරද පොතු, කිතුල් පොතු ,මාදං පොතු කොටා යුෂ ගෙන පොල් පැණි දමා පත්තු සිද බිඳුණු අස්ථි වල ආලේප කිරීමෙන් සුවය සලසා ගත හැකිය.

කැටකෑල පොතු ,රසකිඳ කොළ ,තොටිල කොළ සහ පොතු, මදටිය කොළ හා පොතු, කහ , ලුණු දමා කොටා මලවා බැඳීමෙන් බිඳුන අස්ථි තිස්පැයෙන් සුව වේ.

රතගාය සඳහා කැටකෑල පොතු මදටිය පොතු කැකුණ පොතු රම්මානිස්ස කොළ යුෂ ගෙන හීනටි බතින් අඹරා ආලේප කිරීමෙන් සුව කර ගත හැකිය.

සන්ධි වූ තැන් සවි කිරීම සඳහා.කැටකෑල පොතු ,කහට පොතු ,මාදං පොතු, හික් පොතු ,කඩොල් පොතු යුෂට පොල් පැණි දමා පත්තු සිඳවා එම ස්ථාන වල ගල්වා තැබීමෙන් සන්ධි වූ තැන් සවි වේ.

මේ ආදී වශයෙන් කැඩුම් බිඳුම් වෙදකමට මෙන්ම බොහෝ රෝග සමනය කිරීම සඳහා කැටකෑල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.