බර අඩු කරන නෙල්ලි සතු ගුණ 17 ක්

health tips

අම්ලා හෙවත් නෙල්ලි යනු ආයුර්වේදයේ සඳහන් වන ප්‍රබල ඖෂධ අතරින් එකකි.නෙල්ලි ප්‍රතිඔක්සිකාරක හා පෝෂණ ගුණයෙන් අනූන පලතුරු මූලාශ්‍රයක් ලෙස ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පෙන්වාදී තිබෙනවා.ඉන්දියානු සාහිත්‍යයේ නෙල්ලි යනු විෂ්ණු දෙවියන්ගේ කඳුළු බිඳු වලට බව සඳහන් වේ.ඉන්දියාවේ නෙල්ලි ගස වන්දනීය ශාකයක් ලෙස සලකයි.නෙල්ලි වල විද්‍යාත්මක නාමය Phyllanthus emblica/Embilica officinalis නම් වන අතර Phyllanthaceae කුලයට අයත්ය.නෙල්ලි ගසේ ගෙඩි (අමු හෝ වියලි), ඇට,පොතු,කොළ හා මල් ඖෂධීය භාවිතයන්ට ගනියි.සිරුරේ තිදොස් (වාත,පිත හා සෙම) සමතුලිත කරන ඖෂධයක් ලෙස සැළකේ.සිසිලන ගුණ ඇති බඩට සැහැල්ලු ගුණදායි ආහාරයකි.

පෝෂණ ගුණ

  • නෙල්ලි වල විටමින් සී බහුලය.විටමින් වලින් අනූන පලතුරු වලින් එකක් ලෙස ද සැලකේ.
  • කැල්සියම්, පොස්පරස් හා යකඩ වැනි ඛනිජ ලවණ වලින් ද නෙල්ලි පොහොසත් ය. මේවා සිරුරේ අස්ථි හා දත් වල නීරෝගීබව ආරක්ෂා වීමට ඉතා වැදගත් දායකත්වයක් ලබාදේ.
  • විටමින් ඊ වලින් පොහොසත් නිසා සිරුර අකලට වියපත්වීම පාලනය කිරීම හා ප්‍රතිඔක්සිකාරක ගුණ ලබාදෙයි.සිරුරේ ක්‍රියාවලින්ට වැදගත් විටමින් බී සංකීර්ණයට අයත් පෝෂක ද ඇතුළත්ය.
  • තන්තු බහුල නිසා ආහාර ජීර්ණ පද්ධතියට ද ගුණදායිය.
  • සෞඛ්‍ය ප්‍රතිලාභ
  • අක්මාවේ විෂහරණය කරයි.නිතිපතා නෙල්ලි පරිභෝජනය කිරීමෙන් සිරුරේ තරුණ බව වැඩිදියුණු වී, ශරීර අවයව ශක්තිමත් හා නීරෝගි වේ.ප්ලීහාව මඟින් රතු රුධිර සෛල හා හිමොග්ලොබින් නිර්මාණය කිරීමට, හදවත ශක්තිමත් වීමට හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු වීමට සලස්වයි.
  • විටමින් සී බහුල නිසා එම ඌනතාව ඇතිවීම පාලනය කරගැනීමට උපකාරී වන පලතුරකි. දොඩම් වලට වඩා විසි තිස් ගුණයකටත් වඩා වැඩි විටමින් සී ප්‍රමාණයක් නෙල්ලි වල අඩංගු බව සඳහන් වේ.අපේ සිරුරට මේවා නිපදවිය නොහැකි නිසා බාහිරින් එම පෝෂණය ලබාගැනීම ඉතා වැදගත්ය.විටමින් සී පෝෂණය ලබාගැනීම මඟින් ශීතාද රෝගය (scurvy) වැනි විදුරුමස් අඳුරු හා රුධිරය ගැලීමට හේතුවන ඌනතා රෝග වලින් සිරුර ආරක්ෂා කරයි.
  • විටමින් ඒ හා බිටා කැරොටින් අඩංගු නිසා ඇස් පෙනීම වැඩිදියුණු කරයි.අක්ෂි පේශී ශක්තිමත් කර වයසට යාමේදි ඇස් වල ඇතිවන දුර්වලතා රෝග අවම කරයි. ඇස් ගැටලු අවම කරගැනීමට නෙල්ලි ආයුර්වේදීය පිළියමක් ලෙස නිර්දේශ කරයි. දිනකට දෙවරක් නෙල්ලි යුෂ පානය කිරීමෙන් ඇස් පෙනීම වැඩිදියුණු කරගත හැකිය.
  • බර අඩුවීම වේගවත් කරයි.ආහාර ජීර්ණය වැඩිදියුණු කර විෂ අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කරයි. පරිවෘත්තිය වැඩිදියුණු කරයි.සිරුරේ තැන්පත් මේද දියකර හරිමින් කොලෙස්ටරෝල් බැහැර කිරීම වැඩිකරයි. මූත්‍රාවර්ධක ගුණ ඇති නිසා සිරුරේ අතිරික්ත ජලය හා ලවණ සිරුරෙන් බැහැර වීමට සලස්වයි.සිරුරේ බර අඩුවීමට එය ද ඉතා වැදගත් ලෙස බලපායි.තන්තු බහුල නිසා බඩ පිරුණු බවක් ඇතිකර ආහාර ගන්නා ප්‍රමාණය සීමා කරගැනීමට සහය දෙයි.
  • බඩවැල් ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරයි.තන්තු අඩංගු නිසා මලපහ බැහැර වීමේ අක්‍රමිකතා දුරුකරයි.සිසිලන ගුණ ඇති නිසා ආමාශයේ දැවිල්ල සමනය කරයි. සිරුරේ උෂ්ණය දුරලන ඔසුවක් ලෙස හැඳින්වේ.
  • නෙල්ලි ප්‍රතිශක්තිය වඩවයි.ප්‍රතිඔක්සිකාරක හා විටමින් සී බහුල නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල උත්තේජනය කරවයි. නිතිපතා නෙල්ලි ගෙඩි පරිභෝජනය කිරීම සිරුරේ සුදු රුධිරාණු ප්‍රමාණය හෙවත් සිරුරට ඇතුළු වන බැක්ටීරියා විනාශ කරන සෛල ඉහළ දමන බව සඳහන් වේ.ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාර දැක්වීම් වඩාත් වේගවත් හා ඵලදායි කරවයි.
  • විෂහරණ කාරකයක් ලෙස ක්‍රියාකරමින් ලේ පිරිසිදු කරයි.රුධිර සෛල පෝෂණය කරයි. රුධිරයේ විෂ අපද්‍රව්‍ය බහුල විම බොහෝ ලෙඩ රෝග වර්ධනය වීමට තුඬු දිය හැකි සාධකයකි.සිරුරේ අවයව වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල වීම නිසා ආසාදන වලට ඔබේ සිරුර ගොදුරු වීමට ඇති අවදානම වැඩිවෙයි.නෙල්ලි හොඳ රුධිර පවිත්‍රකාරකයක් නිසා අපිරිසිදු රුධිරය පිරිසිදු කරයි. රතු රුධිර සෛල වල ඔක්සිජන් ‍රැගෙන යාමේ ධාරිතාව වැඩිකරමින් සිරුර නීරෝගී කරයි.
  • නෙල්ලි පරිභෝජනය කිරීම සිරුරේ කොලෙස්ටරෝල් එකතුවීම අඩුකිරීම, අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වීමට හා අක්මාවේ මේද තැන්පත්වීමේ රෝග අවදානම අඩුකිරීමට ගුණ දෙයි.ක්‍රොමියම් ඛනිජ ද අඩංගු නිසා ධමනි  තුළ මේදමය ද්‍රව්‍ය තැන්පත්වීම වළක්වා හෘදයාබාධ අවදානම් අඩුකරවයි.
  • අමුවෙන් හෝ නෙල්ලි වේලා සැකසූ කුඩු පරිභෝජනය කිරීම කොලෙස්ටරෝල් මට්ටම් අඩුකරගැනීමට හොඳ ඔසුවකි.
  • ප්‍රතිඔක්සිකාරක බහුල නිසා හානිකර මුක්තකණ්ඩ වලට එරෙහිව ක්‍රියාකරමින් අකලට සිරුර වියපත් වීම වළකයි.නිතිපතා නෙල්ලි යුෂ පානය කිරීමෙන් සමේ ‍රැළි ඇතිවීම බොහෝදුරට පාලනය කරගත හැකියි.
  • කෙස්කලඹේ නීරෝගී හා දිදුලන බව වැඩිදියුණු කරගත හැකියි.නෙල්ලි හා පොල්තෙල් සත්කාරය හිසකෙස් පෝෂණය කරයි.අකලට හිසකෙස් පැසීම වළකයි.හිසකෙස් හැලීයාම පාලනය කරයි.
  • කැල්සියම් අඩංගු නිසා දත් හා අස්ථි නීරෝගි කරයි. නෙල්ලි වල අස්ථි ත්‍රැටි නම් අස්ථි හානිවීමට බලපාන සෛළ ක්‍රියාකාරීත්වය මර්දනය කරන ගුණ අඩංගුය.නෙල්ලි යුෂ හෝ කුඩු වශයෙන් ගැනීම මෙම සෛල ක්‍රියාකාරීත්වය මන්දගාමි කරවයි.සිරුරේ කැල්සියම් අවශෝෂණය වැඩිකර අස්ථි ඝනත්වය  වැඩිකර දත් ශක්තිමත් කරයි.
  • ඉඟුරු සමඟ නෙල්ලි පරිභෝජනය කිරීම උගුරේ තුවාල අපහසුතාවන්ට පිළියමකි.ආසාදන දුරුකරමින් උගුරේ මාංශ පේශි ශක්තිමත් කරයි.
  • නෙල්ලි පරිභෝජනය කළ හැකි ආකාර
  • නෙල්ලි ගෙඩි වශයෙන් ආහාරයට ගැනීම ඉතා ගුණදායිය. ඊට අමතරව නැවුම් හෝ වියළි නෙල්ලි,චට්නි,රසකැවිළි, නෙල්ලි කුඩු,කරල් හෝ පෙති ලෙස සැකසූ නිෂ්පාදන, නෙල්ලි යුෂ වර්ග,ජෑම් හා තෙල් ආදි නිෂ්පාදන වෙළඳපොලේ ඇත.අමතර සීනි එක්කර ඇති පාන වර්ග සිරුරට හිතකර නැත.
  • නෙල්ලි යුෂ- නෙල්ලි ගෙඩි වලින් ඇට ඉවත්කරගන්න. අඹරා පේස්ට් එකක් ලෙස සකසා ගන්න. වතුර සමඟ මිශ්‍ර කර බ්ලෙන්ඩර කර ජොග්ගුවකට පෙරාගන්න. ඊට ගම්මිරිස්, ඉඟුරු හෝ මී පැණි ස්වල්පයක් දමා පානය කරන්න.නැවුම් නෙල්ලි යුෂ සතියක් පමණ ශීතකරණයේ කල්තබාගත හැකිය.
  • චට්නි- ඇට ඉවත්කරගත් නෙල්ලි ගෙඩි ඉඟුරු, ලුණු ,කොත්තමල්ලි කොළ සමඟ අඹරාගන්න.පේස්ට් එකක් ලෙස සකසාගත්  පසු වීදුරු බඳුනකට දමා, උඩින් තෙල් ස්වල්පයක් දමා ශීතකරණයේ තබන්න. නෙල්ලි චට්නි මාසයක් පමණ මෙසේ කල්තබාගත හැකියි.
  • නෙල්ලි තෙල්- පොල් තෙල් පිරවූ බෝතලයක නෙල්ලි ගෙඩි පුරවා සතියක් පමණ අව්වේ තබන්න. සෙවල හෝ දිලීර බැඳී ඇත්දැයි පරික්ෂා කර බැලීමට දින 4-5කට පසු තෙල් බෝතලය කලතන්න.තෙල් පිරවීමට කළින් බෝතලය හොඳින් සෝදා වේලාගන්න.තෙල් සෑදීමට නෙල්ලි කුඩු හෝ වියළන ලද ඒවා භාවිත කළ හැකියි.නියමිත කාලයට පසු ගෙඩි ඉවත් කර තෙල් භාවිතයට ගන්න.විකල්පයක් ලෙස නෙල්ලි යුෂ පොල් තෙල් සමඟ මිශ්‍ර කර මද ගින්නේ රත්කරගන්න. ලිපෙන් ඉවත් කර සිසිල් වීමට තබා සම මත හෝ හිස්කබලේ ගල්වන්න.
  • මාත්‍රාවන් සාමාන්‍යයෙන් හිස්බඩ ග්‍රෑම් 1 ක් බැගින් පරිභෝජනය කරන්න. ඇතැම් ආයුර්වේද වෛද්‍යවරු සෑම ආහාර වේලකටම පසු නෙල්ලි ගෙඩි ආහාරයට ගැනීම ගුණදායි බව නිර්දේශ කරති.ආහාර ජීර්ණය වීමට එය ඉතා ගුණදායි බව පිළිගැනීමයි.නෙල්ලි තෙල් හිස්කබලේ ගැටලු වලට පිළියමකි.මාත්‍රාවන් වයස ,ස්ත්‍රී පුරුෂ බව හා සෞඛ්‍ය තත්වයන් අනුව වෙනස් විය හැකි බැවින් නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලැබීම වඩාත් සුදුසුයි.
  • අතුරුආබාධ
  • අධිකව ආහාරයට ගැනීම මලබද්ධය සුවකිරීම විනා එය වැඩිවීමට බලපෑ හැකියි. විශේෂයෙන්ම අඩුවෙන් වතුර පානය කිරීමෙන් ගැටලුව වැඩිවිය හැකි බව අමතක නොකළ යුතුයි.ප්‍රමාණවත් ලෙස වතුර පානය නොකිරීමෙන් නෙල්ලි වල තන්තු ඝන වි ගොස් බඩවැල් අවහිර වී යාමට පටන්ගනියි.
  • විටමින් සී බහුල ආහාර වලට සංවේදීතාවක් පෙන්වන අය නෙල්ලි පරිභෝජනයෙන් වැළකිය යුතුයි.
  • වෙනත් ඖෂධ සමඟ අන්තර්ක්‍රියාකළ හැකි නිසා දියවැඩියාවෙන් පෙළෙන අය නෙල්ලි පරිභෝජනයට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.
  • මූත්‍රා වර්ධක ගුණ ඇති නිසා සිරුරෙන් වතුර ඉවත්වීම වැඩිය. නිතිපතා නෙල්ලි පරිභෝජනය කිරීමේදි හොඳින් වතුර පානය කිරීම ද වැදගත්ය.
  • සිසිලන ගුණ ඇති නිසා සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන අයට පරිභෝජනය සුදුසු නොවිය හැකිය.