අර්ශස් රෝගය සුව කරන ආයුර්වේද පිළියම් 9 ක්

health tips

මූලරෝගය හෙවත් අර්ශස් (piles) යනු ගුද මාර්ගයේ හෝ ගුදය අවට රුධිර නාළ හා පටක ප්‍රදාහයට ලක්වීමෙන් ඇතිවන රෝගයකි.මෙය haemorrhoids තත්වය ලෙස ද හඳුන්වයි.ලේ පිරුණු රතට හුරු දුඹුරු පැහැ ගෙඩි පොකුරු ගුද මාර්ගය තුළ හා ඒ වටා වර්ධනය වෙයි.මේවා පුපුරායාම නිසා ගුදය තුළින් රුධිරය වහනය වීම සිදුවේ.අර්ශස් රෝගය ඇති පුද්ගලයින් හට මලපහ කිරීම ඉතාමත් වේදනාකාරී අත්දැකීමක් ඇතිකරයි.

අර්ශස් තත්වයේ රෝග ලක්ෂණ:

  • වේදනාව
  • ගුදයේ දැවිල්ල
  • මලපහ කළ ද නැවත වැසිකිළි යාමේ අවශ්‍යතාවක් මෙන් දැනීම
  • ගුදය අවට කැසිල්ල

දින කිහිපයක් තුළ මෙම රෝග ලක්ෂණ පහව යා හැකි අතර අපහසුතා සමනය කරගැනීමට සරල පිළියම් භාවිත කළ හැකියි.

ටර්නිප් කොළ අර්ශස් රෝගයට ගුණ දෙන ශාකසාරමය ඖෂධයක් ලෙස මේවා හඳුන්වයි.ගෝවා කොළ,බ්‍රොකොල් කුලයට අයත් ටර්නිප් වල තන්තු, විටමින් සී ,විටමින් කේ,ෆෝලේට්,මැග්නීසියම්,පොස්පරස් හා පොටෑසියම් බහුලයි.වතුර අන්තර්ගතය ද ඉහළයි.එමඟින් මල අපද්‍රව්‍ය බැහැර වීමේ ක්‍රියාවලිය පහසු හා ක්‍රමවත් කරවයි.විටමින් කේ රුධිර කැටිගැසීම් නියාමනය කරන නිසා අර්ශස් ගෙඩි වලින් රුධිර වහනය වීම් අඩුකරවයි.උණුවතුරේ තත්පර 30ක් පමණ තබා (බ්ලාන්ච්), සලාදයට එක්කරගන්න.කොළ වල යුෂ ලබාගෙන ඉන් මිලිලිටර් 50-150ක් පමණ දිනකට පානය කරන්න.

ලූනු රුධිර වහනය ඇතුළු අර්ශස් රෝග ලක්ෂණ වලටට සහනයක් සලසයි.ප්‍රතිප්‍රදාහක හා ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල බැවින් ඉදිමුම හා දැවිල්ල අඩුකරවයි.මාංශ පේසි භ්‍රාසයන් (ගැස්මන්) සමනය කිරීමට උපකාරී වන සැපොනින් සංඝටක රතු ලූනු වල බහුලයි.ලූනු වියලි අර්ශස් ගෙඩි සුවකරයි.රුධිර වහනය වන අර්ශස් තත්වයට සහනයක් සලසාගැනීම සඳහා ලූනු හා සීනි 1:2 අනුපාතයෙන් පරිභෝජනය කරන්න.වියලි අර්ශස් ගෙඩි මත ලූනු පෙති ලෙස කපා අතුල්ලන්න (සියුම් දැවිල්ලක් දැනිය හැකිය. කෙසේවෙතත් එය දරාගත නොහැකි මට්ටමකට වැඩිවේ නම් භාවිතය නතර කරන්න).

කෝමාරිකා මද අර්ශස් රෝගයේ දැවිල්ල හා වේදනාව සමනය කිරීමට කෝමාරිකා හි සිසිලන හා සමනය කරන ගුණ ප්‍රයෝජනවත්ය.විටමින්, ඛනිජ ලවණ, හෝර්මෝන, එන්සයිම හා මේද අම්ල වැනි ජෛවක්‍රියාකාරි සංඝටක ඇති නිසා පැසවීම වැළැක්වීම, වේදනානාශකයක් ,ප්‍රතිඔක්සිකාරකයක් හා ප්‍රතිප්‍රදාහකකාරකයක් ලෙස ක්‍රියාකරයි.කෝමාරිකා මදය සූරා බලපෑමට ලක්වී ඇති ප්‍රදේශයේ සෘජුව ආලේප කරන්න.කෝමාරිකා ජෙල් නිෂ්පාදනයක් වුව භාවිත කළ හැකියි.

තෙල් සත්කාර අර්ශස් රෝග ලක්ෂණ සමනය කරගැනීමට යොදාගත හැකි විවිධ තෙල් වර්ග ඇත.තල තෙල්,ඔලිව් තෙල් හා පොල් තෙල් ඒ අතරින් වඩාත් ඵලදායිය.මෙම තෙල් වර්ගයකින් ස්වල්පයක් ගුදය අවට ආලේප කරන්න.අධ්‍යයන වල දැක්වෙන ආකාරයට ඔලිව් තෙල්, මී පැණි හා මී ඉටි මිශ්‍ර කර ආලේප කිරීමෙන් අර්ශස් තත්වයේ රුධිරවහනය වීම, වේදනාව හා කැසිල්ල වැනි ලක්ෂණ සමනය කරගත හැකි බවයි.

උණුසුම් වතුර අර්ශස් තත්වය සමඟ මලබද්ධයෙන් පෙළෙන අයට මෙය හොඳ පිළියමකි.උණුසුම් වතුරේ බැස සිටීම පිධායක ස්නායුව හෙවත් ගුදමාර්ගයේ පිහිටි මාංශ පේශිය ලිහිල් කරවමින් වේදනාව දැනීම සමනය කරවන බව අධ්‍යයන පෙන්වාදේ.උණුසුම් වතුර පිරවූ නාන තටාකයක දිනකට දෙවරක් මිනිත්තු 10ක් පමණ වාඩි වී සිටින්න.

අයිස් පැක් අර්ශස් තත්වයේ ඉදිමුම  අඩුකිරීමට උණුසුම් වතුර වගේම සිසිල් තැවීම් ද ඵලදායිය.එම ප්‍රදේශයේ ප්‍රදාහය ක්‍රියාවලිය මන්දගාමි කිරීම අයිස් පැක් එකක් භාවිතයෙන් සිදුකෙරේ.දැවිල්ලට ඉක්මන් සහනයක් සලසයි.අයිස් කැට කිහිපයක් මෘදු රෙදි කැබැල්ලක ඔතා පොට්ටනියක් ලෙස සකසාගන්න.ගුදය අවට අයිස් වලින් මිනිත්තු කිහිපයක් තවන්න.

රාබු රාබු, අල වගේ මුල් එළවළු වල තන්තු ඇතුළු පෝෂක බහුලයි.එවැනි ආහාර බඩවැල් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කර මලද්‍රව්‍ය බැහැර වීම ක්‍රමවත් කරවයි.එදිනෙදා ආහාර වේලට අර්තාපල්,බතල වැනි ආහාර ද එක්කරගන්න.මේවායේ අඩංගු වන්නේ කුඩා අන්ත්‍ර මඟින් අවශෝෂණය නොවන ප්‍රතිරෝධී පිෂ්ටය වේ.ඒවා මඟින් බඩවැල් බැක්ටීරියා මුහුන්කිරීම හා ජීර්ණ ගැටලු සමනය කිරීමට ආධාර කරයි.මලපහ විම පහසු කරවයි.

දිඹුල් පෙඟවූ දිඹුල් ගෙඩි උණුසුම් කිරි වීදුරුවක් සමඟ ගැනීම අතීතයේදි මලබද්ධයට ප්‍රතිකාර කළ ක්‍රමයකි.හිස්බඩ වතුරේ පෙඟවූ දිඹුල් ගෙඩි 3-4ක් ආහාරයට ගැනීමෙන් අර්ශස් ලක්ෂණ වලට සහනයක් ලබාගත හැකි බව අධ්‍යයන වලින් සොයාගෙන ඇත.මීට හේතුව මේවායේ බහුල තන්තු අන්තර්ගතයයි.දිඹුල් වල ප්‍රතිප්‍රදාහක ගුණ ද අඩංගුය.උණු වතුරේ තම්බා තේ ලෙස සකසා පානය කළ හැකියි.

අඹ අඹ වල තන්තු ඉතා බහුලයි.බඩවැල් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරවන ගුණදායි පලතුරක් ලෙස අඹ ප්‍රචලිතයි.ප්‍රදාහයට ලක්වූ බඩවැලෙහ් කොටස් අතරින් මල ද්‍රව්‍ය ගමන් කරවීම පහසු කරවයි.අඹ අර්ශස් රෝගයට ද ගුණදායි බව සඳහන් වේ.මේවායේ අර්ශස් රුධිර වහනය සමනය කරවන ජෛවීය සංඝටක අඩංගුය. අඹ ඇට වියලා කුඩු කරගෙන හුලං නොවදින බඳුනක අසුරාගන්න. අඹ ඇට කුඩු තේ හැඳි 2ක් බැගින් මී පැණි සමඟ හෝ රහිතව දිනකට දෙවරක් පරිභෝජනය කරන්න.

අර්ශස් දුරුකරගැනීමට උපදෙස්

  • මෙම පිළියම් මඟින් අර්ශස් තත්වයේ ප්‍රදාහය ආශ්‍රිත අපහසුතා සමනය කරගැනීමට යම් සහනයක් ලබාගත හැකියි.ඔබේ ආහාර පාන රටාවේ හා ජීවන රටාවේ යම් යම් වෙනස්කම් ඇතිකරගැනීම මඟින් මේ රෝගයේ ඇතැම් මූලික හේතු සාධක දුරුකරගැනීමට උපකාරී වනු ඇත.
  • තන්තු බහුල ආහාර පාන ලබාගන්න.ආහාරමය තන්තු අර්ශස් ලක්ෂණ වැළැක්වීමට මෙන්ම සමනය කිරීමට ප්‍රතිලාභ දෙයි.බඩවැල් බැක්ටීරියා ගහනය වර්ධනය කරමින් ජීර්ණ ක්‍රියාවලිය යහපත් කරවයි.මලපහ වීම පහසුකරයි.එළවළු,පලතුරු,නට් හා ඇට වර්ග ආහාරයට එක්කරගන්න.
  • හොඳින් වතුර බොන්න.හොඳින් වතුර පානය නොකිරීම මුඛ දුර්ගන්ධය, මලබද්ධය,තෙහෙට්‍ටුව ආදි නොයෙකුත් ගැටලු වලට හේතුවේ.දිනකට වතුර ලීටර් 1.5-2ක් පමණ පානය කරන්න.
  • ගුදය අවට පිරිසිදුව තබාගන්න.
  • මල මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතා තදකරගෙන සිටීමෙන් වළකින්න.
  • මත්පැන් හා දුම්පානයෙන් වළකින්න.
  • සැර අධික ආහාර වලින් වළකින්න.
  • කෙසේවෙතත් රෝග ලක්ෂණ උත්සන්න වේ නම්, හෝ දිගින් දිගටම පවතියි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න.