කුරුලෑ බිබිලි නැති කර ආයුර්වේද පිළියම් 8 ක්

health tips

නව යොවුන් වියේදී බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් තමයි කුරුලෑ කියන්නේ.වැඩිවියට පත්වීමත් සමඟ ශරීරයේ ඇතිවන හෝර්මෝන වෙනස්කම්, අහිතකර ආහාර පාන රටාව, සමට හොඳ ‍රැකවරණයක් ලබානොදීම, නොගැළපෙන රළු රූපලාණ්‍ය නිෂ්පාදන භාවිතය , අධිකව දහඩිය දැමීම වගේ සාධක මේ කුරුලෑ ගැටලුවට හේතුවෙනවා.ලෝකයේ වඩාත් බහුලම චර්ම ගැටලුවක් ලෙස කුරුලෑ හැඳින්විය හැකියි.

 මුහුණේ ,බෙල්ල, අත් වල ඉහළ කොටසේ හෝ උරහිස් ආශ්‍රිතව මේවා බහුලව වර්ධනය විය හැකියි.රෝම කූප මැරුණු සෛල හා තෙල් වලින් අවහිර වීම කුරුලෑ මතුවීමට ප්‍රධාන හේතුවකි.තෙල් අධික සමක් ඇති අයට මේ ගැටලුව ඇත.කුරුලෑ ‘බ්ලැක්හෙඩ්’,’වයිට්හෙඩ්’, ‘පැපුල’ ‘පුයිකා හෙවත් සැරව බිබිලි’, ‘කෝෂ්ඨ හෙවත් සිස්ට්’ හා ගැටිති ලෙස වර්ග ඇත.මේවා එකිනෙකට වෙනස් කුරුලෑ තත්වයන් නිසා චර්ම විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ සම පරික්ෂා කරගැනීම හා අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත්.කුරුලෑ දුරුකරගන්න නිවසේදීම ඔබට අනුගමනය කළ හැකි සරල පිළියම් කිහිපයක්

කෝමාරිකා ජෙල් කෝමාරිකා සමට හිතකර ගුණ දෙන පිළියමකි.සමට සිසිලන ගුණ දී සම සුවපත් කරයි.කුරුලෑ වැනි සමේ ගැටලු පාලනය කරයි.ප්‍රතිප්‍රදාහක හා ක්ෂුද්‍රජීවීනාශක ගුණ ඇති නිසා සමේ ක්ෂුද්‍රජීවි වර්ධනය වීම යටපත් කරවයි.නැවුම් කෝමාරිකා පත්‍රයක් ගෙන දිග අතට අඟල් 8 කොටස් ලෙස කපා එම කැබැල්ලක් තීරු 2-3කට කපන්න.පිහියකින් ඒවායේ මදය සූරා ඉවතට ගන්න.වෙනත් බඳුනකට මේවා එක්කරගෙන බ්ලෙන්ඩර් කරගන්න.පැය කිහිපයක් ශීතකරණයේ තබා මුහුණේ ගැල්වීමට භාවිත කරන්න.කුරුලෑ ඇති තැන්වල ගල්වා රාත්‍රිය පුරා තිබෙන්නට හැර, පසු දා උදෑසන සීතල වතුරෙන් සෝදන්න. සමේ රතුගතිය හා අපහසුතාවන් සමනය කිරීමට උපකාරී වන පිළියමකි. මෙය ක්ලෙන්සර් එකක් ලෙසත් භාවිතයට ගත හැකියි. ඇස් වටා ආලේප කිරීමෙන් වළකින්න.

ග්‍රීන් ටී ග්‍රීන් ටී වල ප්‍රතිප්‍රදාහක හා ප්‍රතිඔක්සිකාරක ගුණ අඩංගු නිසා කුරුලෑ ඇතිවීම පාලනය කරයි.පැසවීම වළකන ගුණ ග්‍රීන් ටී වල අඩංගුයි.සම ආසාදන වලට ගොදුරුවීම අවම කරයි.බාහිරව ගැල්වීම සියුම් කුරුලෑ තත්වයට හොඳ පිළියමක් බව අධ්‍යයන පෙන්වාදේ.සති 6ක් පමණ භාවිතයෙන් හොඳ ප්‍රතිපල ලැබෙනු ඇත.ග්‍රීන් ටී කොළ  වතුර දැමූ පෑන් එක්කට දමා උණුකරගන්න.එම වතුර සිසිල් වූ පසු මුහුණ සේදීමට භාවිත කරන්න.නැතිනම් කපු පුළුන් වලින් කුරුලෑ මත ගල්වන්න.

වදකහ කහ වල විෂබීජනාශක හා ප්‍රතිප්‍රදාහක ගුණ අඩංගු නිසා කුරුලෑ ලක්ෂණ අඩුකිරීමට උපකාරී වේ.සමේ ආසාදන, කුරුලෑ නැවත ඇතිවීම් පාලනය කරයි.අවපැහැගැන්වීම් ඇතුළු ගැටලු සමනය කරයි.කහ තේ හැඳි 1/2ක්, යෝගට් තේ හැඳි 2ක්, මී පැණි තේ හැඳි 1ක් බඳුනකට දමා කළවම් කරන්න.මේ මිශ්‍රණය මාස්ක් එකක් ලෙස මුහුණ පුරා තවරන්න. වියළෙන තුරු තබා වතුරෙන් සෝදාහරින්න.සති දෙකකට වරක් කරන්න.ඇස් අවට ගැල්වීමෙන් වළකින්න.

පරිප්පු ෆේස් මාස්ක් පොලිෆෙනෝල් වැනි ප්‍රතිඔක්සිකාරක බහුල සංඝටක ඇති නිසා මෙන්ම ප්‍රතිප්‍රදාහක හා ක්ෂුද්‍රජීවිනාශක ගුණ ඇතිනිසා පරිප්පු සමට හොඳ ප්‍රතිකාරයකි.කුරුලෑ ඇතිවීමට හේතුවන හෝර්මෝන සාධක නියාමනය කිරීමට සහය දෙයි.පරිප්පු අහුරක් ගේ බ්ලෙන්ඩරයට දමා වතුර සමඟ අඹරාගන්න.මද වෙලාවක් පැත්තකින් තබා කපු රෙද්දකින් මුහුණේ ආලේප කරගන්න.මාස්ක් එක පැය බාගයකට පමණ පසු සෝදා ඉවත්කරගන්න.

මී පැණි මී පැණි වල බැක්ටීරියානාශක ගුණ ඇති නිසා සමට ඉතා හිතකරයි.කුරුලෑ ඇතිවිමට හේතුවන ප්‍රොපොනියම් වර්ධනාය් වැළැක්වීමට මී පැණි ක්‍රියාකරයි.මී පැණි මේස හැඳි 1ක් මුදවපු කිරි මේස හැඳි 1 සමඟ මිශ්‍ර කර, ඇඟිලි තුඬු වලින් සමේ ගල්වන්න.මිනිත්තු 10ක් පමණ සම මත තිබෙන්නට හැර සෝදාහරින්න. දිනකට එක්වරක් මෙය භාවිතයට ගන්න.

 ටී ට්‍රී ඔයිල් සමට බොහෝ ප්‍රතිලාභ දෙන සගන්ධ තෙල් විශේෂයක් වන ටී ට්‍රි ඔයිල් කුරුලෑ හා සමේ ඇතිවන බිබිලි වලට හොඳ ප්‍රතිකාරයකි.ප්‍රතිජීවක ගුණ ද බහුල නිසා කුරුලෑ ඇතිකරන ක්ෂුද්‍රජීවීකාරක වලට එරෙහිව ඵලදායිව ක්‍රියාකරයි.සමේ ප්‍රදාහය අඩුකරවයි. මාස 3ක් පමණ භාවිතයෙන් හොඳ ප්‍රතිපල දැකිය හැකි බව අධ්‍යයන පෙන්වාදේ.වතුර වීදුරුවකට ටී ට්‍රී ඔයිල් බිංදු කිහිපයක් දමා මිශ්‍ර කරන්න. කුරුලෑ සහිත තැන් වල ආලේප කරන්න.සතියකට වරක් හෝ දෙවරක් පමණ මෙය කිරීම සුදුසුයි.

රෝස්මරි එසෙන්ෂියල් ඔයිල් රෝස්මරි තෙල් වල ද සමට හිතකර බොහෝ ගුණ අඩංගුයි.සැරව සහිත කුරුලෑ තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී ඵලදායිය. කුරුලෑ වල විශාලත්වය අඩුකරමින් එම ගැටලුව පාලනය කරයි.වතුර වීදුරුවක රෝස්මරි තෙල් බිංදු කිහිපයක් මිශ්‍ර කර සම මත කපු පුළුන් ආධාරයෙන් ගල්වන්න.දිනකට එක්වරක් මෙය භාවිතයට ගන්න.තෙල් භාවිතයට පෙර තනුක කරන්න.

අශ්වගන්ධ හෙවත් අමුක්කරා සාරය අමුක්කරා ආයුර්වේදීය ඖෂධිය ගුණ ඇති ශාකයකි. ප්‍රතිප්‍රදාහක හා බැක්ටීරියානාශක ගුණාංග බහුල අමුක්කරා සාරය සමේ කුරුලෑ ගැටලුව පාලනයට ඉතා ඵලදායි ලෙස දායක වේ.කිරි  කෝප්පයකට අමුක්කරා කුඩු තේ හැඳි 1/2ක් කළවම් කරන්න.මෙම ලෝෂන් එක මුහුණේ කුරුලෑ ඇති තැන් වල ගල්වන්න. මිනිත්තු 10ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.යම් අතුරුආබාධ ඇතිවීම් වළක්වාගැනීමට අමුක්කරා භාවිතයට පෙර නිසි ආයුර්වේදිය වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුයි.