කෝටරක ආසාදනය වීම නිසාවෙන් ඇතිවන ආසාත්මිකතාවය පීනස ලෙස හඳුනාගත හැකි අතර පීනස වර්ග කිහිපයක් පවතී. ඒවා වන්නේ ලේ පීනස, සෙම් පීනස, ලය පීනස, ළදරු පීනස, ගල් පීනස ආදී වශයෙනි. මේ අතුරින් බහුලව දැකගත හැක්කේ සෙම් පීනස තත්ත්වයයි.
පීනස් රෝගයේ දී ශරීරයෙ අවයව අතුරින් වැඩි පීඩනයකට මුහුණ දෙනු ලබන්නේ නාසයයි. ඒ අනුව පීනස රෝගී තත්ත්වය ඇතිවීම සඳහා බලපාන හේතු සාධක රාශියක් පවතී.
- උදෑසනම හා රාත්‍රී කාලයේදී ස්නානය කිරීම
- බල්ලන් පූසන් වැනි සතුන් ගේ ලෝම
- විදුලි පංකා යට නිදා ගැනීම
- සීත දේශගුණික තත්ත්වයන් වලට හා පින්නට වැඩි වශයෙන් නිරාවරණය වීම
- කැරපොත්තන්ගේ මලපහ
- විෂ වායු වලට හා දූවිල්ලට නිරාවරණය වීම
- උෂ්ණාධික ආහාරපාන ගැනීම
- රූපලාවණ්‍ය ද්‍රව්‍ය හා කේශාලංකරණ ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිතා කිරීම
- ජානමය හේතු සාධක
- ආදී වශයෙන් පීනස රෝගය ඇතිවීම සඳහා හේතු සාධක රැසකි.
එමෙන්ම පීනස් රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පහත රෝග ලක්ෂණ හදුනා ගත හැකිය.
- නිතර නිතර කිවිසුම් යාම
- නාසයෙන් උදෑසනට හා රාත්‍රියට සොටු දියර ගැලීම
- නාසය අවහිරවීම
- හිසේ බර ගතිය ඇතිවීම
- ඇස් හා තල්ල කැසීම
- අකලට හිස කෙස් පැසීම.
- ආදී රෝග ලක්ෂණ පීනස රෝගයෙන් පීඩා විඳින පුද්ගලයකු තුළින් හඳුනාගත හැකිය.
මෙම රෝගය සඳහා ඖෂධ ලබා ගැනීමේදී රෝගියාගේ හිතුමතයට ඖශධ වර්ග පානය කිරීම සුදුසු නොවේ. මන්දයත් පීනසේ යම් යම් ප්‍රභේද පවතින අතර එම ප්‍රභේදය නිසි නිසිපරිදි හඳුනා ගත හැක්කේ වෛද්‍යවරයකුට පමණක් වන නිසාවෙනි. එබැවින් පීනස රෝගය පවතින පුද්ගලයෙකු වෛද්‍යවරයෙකු හමුවට ගොස් රෝග විනිශ්චය කිරීමෙන් අනතුරුව ලබා දෙන ඖෂධ පමණක් භාවිත කිරීම යෝග්‍ය වේ.
මෙම රෝග තත්ත්වය සඳහා නිවසේ සිට කළ හැකි ස්වභාවික ප්‍රතිකාරයන් ද පවතී.
- ගොටුකොළ සහ වලඟසහල් මිට බැගින් ගෙන ඊට රතු ලූනු ගෙඩි හත අටක් එකතු කර වතුර කෝප්ප හතක් දමා එය වතුර කෝප්පයකට සිඳවා පානය කිරීම මගින් පීනස ඇති වීම පාලනය කරගත හැකිය.
- වෙද ගොටුකොළ මිටක් සහ රතුලූනු ගෙඩි කිහිපයක් හොඳින් සෝදා කොටා ගත යුතු අතර එම තලපය පිරිසුදු රෙදි කැබැල්ලකට දමා යුෂ වෙන්කර ගත යුතුය. එම යුෂ උදේ සවස පානය කිරීම මගින් ද පීනස රෝගය පාලනය කරගත හැකිය.
- වෙද ගොටුකොළ මුල් මිටක්, රතු ලූනු ගෙඩි හත අටක් සහ කරද මුංගු ඇට හතරක් පහක් පමණ ගෙන හොඳින් තලා මැටි මුට්ටියකට දමා ගත යුතුය. අනතුරුව එම මිශ්‍රණය වැසී යන පමණ තෙක් වතුර දමා මදගින්නේ තම්බා ගත යුතු අතර එම කසාය උදේ සවස පානය කිරීම ද මෙම රෝගය සඳහා යෝග්‍ය වේ.
- ගොටු කොළ කොටා ලබා ගන්නා යුෂ වලට ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා පානයක් ලෙස සකසා උදෑසනට පානය කිරිම ද යෝග්‍ය වේ.
- කොල්ලු ඇට ගෙන හොඳින් සෝදා තම්බාගෙන එම යුෂ පානය කිරීම හා කොල්ලු ඇට ආහාරයට ගැනීම පීනස රෝගය සඳහා යෝග්‍ය වන අතර සතියකට දෙවතාවක් පමණ භාවිතා කිරීම සුදුසු වේ.
- අරළු, බුළු, නෙල්ලි කොත්තමල්ලි, සුදු හදුන්, තිප්පිලි යන ඖෂධ වෙන වෙනම හොඳින් කුඩුකර මේස හැඳි 2 බැගින් මී පැණි සමඟ මිශ්‍ර කර ගුලියක් ආකාරයට සකසා වතුර වීදුරුවක් සමඟ පානය කිරීම යෝග්‍ය වේ.
- වියළි ඉඟුරු සහ අරළු කබලේ බැද කුඩු කර උතුරන වතුරට දමා තම්බා පෙරා පානය කිරීම කල්ගත වූ පීනස් රෝගය පවා සුව කිරීමට සමත් ඔසුවකි.
- පියල් කරන ලද මුං ඇට සහ රතු කැකුළු සහල් සමව ගෙන අඹරා ඇල්දියෙන් හිසෙහි ආලේප කර ස්නානය කිරීම ද රෝග සුවයට උපකාරී වේ.
- ඉඟුරු පියලි, තිප්පිලි, පිටවක්කා, නෙළුම් අල ,සුදු ළූණු සහ ගම්මිරිස් කළං දෙක බැගින් ගෙන කසායක් සකසා උදේ සවස පානය කිරීම ද යෝග්‍ය වේ.
- කරාබු නැටි, සාදික්කා, වසාවාසි, වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, සහිද ලුණු යනාදී ඖෂධ වර්ග සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන චූර්ණ ලෙස සකසා උදේ සවස නස්න කිරීම හෝ දුම් ඇල්ලීම පීනස සුවයට වඩාත් යෝග්‍ය වේ.
- වියළි කහ සහ වියළි ඉඟුරු කුඩු කර එම කුඩු තැඹිලි ගෙඩියක ඇස්ස කපා එයට දමා රැයක් පෙඟෙන්නට තබා හිස් බඩට පානය කිරීම ද රෝග සුවයට හේතු වේ.
පීනස් රෝගය සඳහා භාවිත කළ හැකි අත් බෙහෙත් ලෙස ඉහත ඔසු වර්ග පෙන්වාදිය හැකි වුවත් මේවා භාවිතා කිරීමට ප්‍රථමව වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. එමෙන්ම පීනස රෝගයට බලපාන හේතු සාධක පාලනය කිරීම තුළින් ද මෙම රෝගය පාලනය කරගත හැකි වේ.