කාන්තා ඔබට වළදෙන පියයුරු පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට ගත යුතු ආහාර

health tips

 පිළිකා අද වෙද්දි ලොකු කුඩා හැමෝටම තර්ජනයක් වෙමින් මුළු ලෝකය පුරාම ජනතාව ගොදුරු කර ගනිමින් යන භයානක රෝගයක්. ඒ අතරින් පියයුරු පිළිකා කියලා කියන්නේ කාන්තාවන්ට බහුලවම වැළදෙන නමුත් පිරිමි පාර්ශවයටත් ඇතිවිය හැකි තවත් භයානක පිළිකා කාණ්ඩයක්.

 පියයුරු පිළිකා වැඩි ප්‍රමාණයක් හටගන්නේ කිරි ගෙනයන නාලවල. නමුත් පියයුරු පිළිකාවක් ශරීරයේ වෙනත් ස්ථානවලට පැතිර යාමේ හැකියාව තියෙනවා. කොහොමනමුත් පියයුරු පිළිකා බහුලවම ඇතිවීමේ ප්‍රවණතාවය හිමිවෙන්නේ  කාන්තාවන්ට. ඒ අතරිනුත් වයස අවුරුදු 40ත් 60ත් වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන්ට මෙවැනි පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි බව තමයි සඳහන් වෙන්නේ. මේ පිළිකාව ඇති වෙන්නට ස්ථිර හේතුවක් සඳහන් කරන්නට හැකියාවක් නැති වුණත් ජානමය හේතු, වයස සහ හෝමෝනවල  ක්‍රියාකාරිත්වය හේතු කරගෙන මේ පිළිකාව ඇති වෙන්නට පුළුවන්.

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරා ඇති වන පිළිකා මරණවලට දෙවැනි ප්‍රධානම හේතුව විදිහට මේ පිළිකාව සඳහන් වෙනවා. නමුත් පිළිකාවක් ඇති වුණාම සුවකරගන්නට ඉතාම අපහසු නිසා පිළිකා ඇති නොවන ආකාරයෙන් අපේ ආහාර රටාව සහ චර්යා රටාව හැඩගස්වා ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. බොහෝ පිළිකා ඇති වෙන්නේ අපි ගනු ලබන විවිධ වැරදි ආහාර පුරුදු හේතු කරගෙන. ඒ නිසා අපි අද කතා කරමු පියයුරු පිලිකා ඇතිවීම වළක්වා ගන්නට උදව් වෙන ආහාර වර්ග මොනවාද කියන කාරණාව පිළිබඳව.

සුදු ළූණු

 පියයුරු පිළිකා වැළැක්වීමට විශේෂ හැකියාවක් සහිත ආහාරයක් විදියට සුදුලූනු සඳහන් කරන්නට පුළුවන්. සුදුලූනුවල අඩංගු වෙන සල්ෆර්  ෆ්ලේවර්න්, ෆ්ලේවනොල්ස් ආදී සංඝටක මෙවැනි පිළිකාවලින් අපිව ආරක්ෂා කරන්නට උපකාරී වෙනවා. පියයුරු පිළිකා හැරුණාම ආමාශය, මුඛය සහ මහ බඩවැල් ආශ්‍රිත පිළිකා සෛල දුර්වල කරන්නටත් සුදුලූනුවලට හැකියාව තියෙනවා .

බ්‍රොකලි  

බ්‍රොකලිවලට විශේෂ හැකියාවක් තියෙනවා පියයුරු පිළිකා ඇතුළු බොහෝ පිළිකාවලින් අපිව ආරක්ෂා කරන්නට. බ්‍රොකලි විතරක් නෙවෙයි අපි එදිනෙදා ආහාර වේලට නිතර එකතු කරගන්නා ගෝවා, මල් ගෝවා කොළ ආදී එළවළුත් ගැබ්ගෙල පිළිකා සහ පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රිත පිළිකාවලින්  ආරක්ෂාව සලසනවා.

කහ 

 මුළුතැන්ගෙයි ආහාර පිසීමේදී නැතුවම බැරි කහ  පියයුරු පිළිකා, පෙනහළු පිළිකා සහ චර්ම ආදියෙන් ආරක්ෂා කරන්නටත් ප්‍රසන්න පෙනුමක් සඳහාත් උදව් වෙනවා.ඒ නිසා විෂබීජනාශනය කිරීමේ හැකියාවත් ඇතුළු කහ නිරන්තරයෙන් ආහාර වේලට එකතු කරගැනීමට අමතක කරන්නට එපා.

සැමන් ඇතුළු මාළු වර්ග

 මාළු ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබ දන්නවා. විශේෂයෙන්ම ඒ අතරින් සැමන් කියන්නේ ඔමේගා 3  මේද අම්ල බහුලවම අඩංගු වෙන මාළු වර්ගයක්. ඔමේගා 3  අඩංගු ආහාර වලට විශේෂ හැකියාවක් තියෙනවා පිළිකා වර්ධනය වීම අඩුකරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න. ඒ වගේම සැමන් කියන්නේ ප්‍රෝටීන, විටමින් බී12 ඇතුළු පෝෂක අඩංගු ආහාරයක්.

 මේ සියලුම පෝෂ්‍ය පදාර්ථයන් පිළිකා සෛල වර්ධනය පාලනය කරන්නට පිළිකාවලින් ආරක්ෂාව සලසන්නටත් උදව් වෙනවා. විශේෂයෙන්ම ඔමේගා 3 බහුල මාලු වර්ග වගේම හුරුල්ලන් ඇතුළු කුඩා මසුන් නිතර ආහාරයට එකතු කරගන්නා එක පිළිකාවලින් වගේම වෙනත් නොයෙකුත් රෝගවලින් ආරක්ෂාව සලසා ගන්නටත් උදව් වෙනවා.

තක්කාලි

 වර්තමානය වෙද්දි තක්කාලිවලට වගේම වෙනත් බොහෝ එළවළු පලතුරුවලටත් බහුල වශයෙන් රසායනික ද්‍රව්‍ය එකතු කිරීම නිසා ඒවායින් පිළිකා ඇතිවීමේ අවදානමක් නිර්මාණය වන බව අපි දැනුවත්. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් ආහාරයට නොගන්නා තවත් ආහාරයක් තමයි තක්කාලි කියන්නේ. නමුත් කෘෂිරසායනික   භාවිතා නොකර කාබනිකව වගා කරන ලද තක්කාලි ආහාරයට එකතු කර ගැනීමෙන් පියයුරු පිළිකාවලින් සුවිශේෂී ආරක්ෂාවක් ලබාදෙන බවයි වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙන්නේ. 

විශේෂයෙන්ම තක්කාලිවල අඩංගු වෙන ලයිකොෆීන් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය පිළිකා සෛල වර්ධනය නතර කිරීමට උදව් වෙනවා. 

කොළ පැහැති පළා වර්ග සහ එළවළු

 පලා වර්ගවල, නිවිති ආදී කොළ පැහැ එළවළුවල කැරොටිනොයිඩ්, බියුටීන්, ලියුටීන් ආදී  ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇති ආකාරයට ශරීරයේ බීටා කැරොටීන් මට්ටම ඉහළ ඇති කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම ඉතා අඩු බව සොයා ගෙන තියෙනවා. ඒ නිසා මෙවැනි ආහාර නිතර ආහාරයට එකතු කර ගැනීම පිළිකාවෙන් ආරක්ෂාව සලසා ගන්නට උදව් වෙනවා.

පැඟිරි කුලයේ පළතුරු

 දෙහි, දොඩම්, නාරං, මිදි ආදී පැඟිරි කුලයට අයත් පලතුරු දිනපතාම ආහාරයට එකතු කර ගැනීම පියයුරු පිළිකා ඇතුළු පිළිකා ඇතිවීමේ අවදානම බොහෝද දුරට අඩුකර ගන්නට උදව් වෙනවා. ෆෝලේට් සහ බීටා  ක්‍රිප්ටොක්සැන්ටින් සහ බීටා කැරොටීන් ආදී ප්‍රතිඔක්සිකාරක මේ සඳහා අපිට උදව් වෙනවා. 

රට ළූණු සහ  ලීක්ස්

සුදුළූණුවල වගේම අනෙකුත් ළූණු වර්ගවලත් ලීක්ස් ආදියේත් flavonoids, ප්‍රතිඔක්සිකාරක සහ  විටමින් සී ඇතුළු පෝෂ පදාර්ථ බොහොමයක් අඩංගු වෙනවා. ඒ නිසාවෙන් පර්යේෂකයන් සඳහන් කරන්නේ මේවාට පියයුරු පිළිකා ඇතුළු පිළිකා සෛල නැසීමේ විශේෂ හැකියාවක් පවතින බවයි. 

ඉඟුරු, රෝස්මරි, ඔරිගානෝ, පාස්ලි  

ඖෂධ පැළෑටි වශයෙන් වගේම කුළුබඩු ලෙසත් නිතර භාවිතයට ගැනෙන මේවායේ විටමින් මේද අම්ලවලට අමතරව පොලිපීනෝල් ආදී ප්‍රතිඔක්සිකාරක බහුලවම අන්තර්ගත වෙනවා. ඒ නිසාවෙන් මේවා නිතර ආහාරයට එකතු කර ගැනීම පියයුරු පිළිකා ඇතුළු අනෙකුත් පිළිකා ඇති වීමට හේතු වන පිළිකා සෛල විනාශ කරන්නට උදව් වෙනවා.

දෙළුම්

 පිළිකා නැසීමේ සුවිශේෂී හැකියාවක් තියෙන පලතුරක් විදිහට දෙළුම් සැලකෙනවා. පියයුරු පිළිකා මර්දනය කරන ශාක රසායන අඩංගු පලතුරු අතරින් දෙළුම්වලට විශේෂිත ස්ථානයක් හිමි වෙන්නේ ඒ නිසාවෙන්මයි. දෙළුම් ගෙඩියේ සියලුම කොටස්වල එනම් ඵලාවරණය, බීජ, මල් සහ පිට පොත්තේ පවා පිළිකා මර්දන හැකියාවක් ඇති බව මේ වනවිට සනාථ කරගෙන තියෙනවා.

බෝංචි සහ අනෙකුත් ධාන්‍ය වර්ග

 බෝංචි ඇට වර්ග සහ අනෙකුත් රනිල කුලයේ බෝගවල විටමින් සහ ඛනිජ අඩංගු පෝෂ්‍ය කොටස් බහුලවම අන්තර්ගත වෙන නිසා සහ ඒවායේ අඩංගු ඉහළ තන්තු ප්‍රමාණය පියයුරු පිළිකා ඇතුළු පිළිකාවලින් ආරක්ෂාව සලසනවා. මේ සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණවලට අනුව තහවුරු කර ඇත්තේ බෝංචි සහ ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආහාරයට ගත් කාන්තාවන් තුළ පියයුරු පිළිකා සෑදීමේ අවදානම ඉතා අඩු බවයි.

ඒ හැරුණාම 

බ්ලූ බෙරි 

පීච් 

ඇපල් 

දිවුල්

කරිවිල

පැපොල්

බෙලි

ආදී ආහාරත්  වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම වගේම ක්ෂණික ආහාර, alcohol, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, සොසේජස් බේකන් ආදී සකස් කරන ලද මස් වර්ග, රතු මස් වර්ග, අධික සීනි සහිත ආහාර පිරිපහදු කළ පිටි සහිත ආහාර ගැනීම සීමා කිරීමත් මේ පිළිකාවලින් මිදෙන්නට උපකාරී වෙනවා.