නින්ද කියන්නේ අපේ නීරෝගී පැවැත්මට අත්‍යවශ්‍යම කාරණයක් නේ. නමුත් අවාසනාවට බොහෝදෙනෙක්ට රාත්‍රියට නින්ද නොයාමේ ගැටළු පවතිනවා. එකදිගට පැය 8 ක ගුණාත්මක නින්දක් ලබා ගැනීම අපේ සිරුරේ පටක අලුත්වැඩියාවට,විෂහරණයට ආදී සෑම කර්තව්‍යයකටම අතිශයින්ම වැදගත්.කාලයක් තිස්සේ නිසිපරිදි ගුණාත්මක නින්දක් ලබා ගන්නට නොහැකිවීම හදවත් රෝග, දියවැඩියාව, අක්මාව ආශ්‍රිත රෝග ආදී බෝ නොවන රෝග බොහොමයක් ඇති කරන්නට මූලික හේතුවක් වෙනවා. සාමාන්‍යයෙන් විවිධ අසනීප තත්ත්ව හැරුණාම අද බොහෝදෙනෙක්ට සුවදායි නින්දක් ලබා ගන්නට බාධාවක් වෙලා තියෙන්නේ ජංගම දුරකථනය.
නින්දට යනතුරුම දුරකථනය භාවිතා කිරීම, කැෆේන් අඩංගු පාන වර්ග නිතර ගැනීම, මානසික ආතතිය යන කාරණා හේතුවෙන් සනීපෙට නිදා ගන්නට නොහැකි වෙලා තියෙනවා. ඒ නිසාම නින්දයාම සඳහා ඖෂධ ලබා ගැනීම, ඉයර් ෆෝන් කනේ ගසාගෙන නින්දට යාම ආදී ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර නොවන කටයුතුවලටත් පෙළඹෙන ආකාරය දැක ගන්නට පුළුවන්. ඒවා දීර්ඝකාලීනව අපේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිකරවන්නට සමත් වෙන නිසා එවැනි දේට යොමුවීම එතරම් සුදුසු කාරණයක් නොවෙයි. ඉතින් ඒ ගැටළුවට ඉතාම සාර්ථක විසඳුමක් ගැන තමයි අද කියන්නට යන්නේ.ඒ සුවදායි නින්දක් ලබා ගන්නට දායක වෙන පැල කිහිපයක් පිළිබඳව. මේ පැලවලින් තමාට සුදුසු වන පැලෑටියක් නිදන කාමරයේ තබා ගැනීම මගින් ස්වභාවිකව සුවදායි නින්දක් ඔබට ලඟා කරදෙන්නට උපකාර කරනවා.
මිනිසා සත්ත්වයා විතරක් නෙවෙයි රාත්‍රී කාලය පුරාම ගහකොළත් ස්වසනයේ යෙදෙනවා. ඒ සමඟ වාතයට මුසුවෙන ඒවායේ ස්වභාවික සංයෝග මගින් අපේ නින්ද සඳහා විශාල උපකාරයක් ලබා දෙනවා.

- සමන්පිච්ච අපි හැමෝම දන්නා සමන් පිච්ච ශාකය සන්සුන් බව ඇති කරන්නට ඇති හොඳම ශාකයක්. මිහිරි සුවඳ වගේම රාත්‍රී කාලයට ගැළපෙන සුදු පැහැ මලකින් යුත් සමන් පිච්ච මල් පැලයක් කාමරයේ තබා ගැනීම මගින් සන්සුන් බව දියුණු කර ගන්නට පුළුවන්. කොතරම් ඉරියව් වෙනස් කළත් නින්ද නොයාමට හේතුව තමයි මොළය නිදා ගැනීම සඳහා නිසිපරිදි සන්සුන්ව නොතිබීම. සවස් කාලයේදී කැෆේන් සහිත ආහාර ගැනීම ඒ සඳහා හේතුවක් වන්නට පුළුවන්. නමුත් සමන් පිච්ච මල් සුවඳ අපේ මොළයේ සන්සුන් බව ඇති කරන්නට උපකාරී වෙනවා. සමන්පිච්ච මල් රාත්‍රී කාලයේදී වඩාත් සුවඳවත් වන නිසා එයින් පිටවෙන සුවඳ රාත්‍රී කාලයේ ඇති සන්සුන් බව සමඟ සම්බන්ධ කර ගන්නට මොළයත් හැඩගැසී ඉන්නවා. කුඩා පෝච්චියක මල් සහිත සමන් පිච්ච පැලයක් වගා කර නිදන කාමරයේ තබා ගැනීමෙන් මේ වෙනස ඔබටත් අත් විදින්නට හැකියාව ලැබෙනවා.
- ඕකිඩ් ශාකය රාත්‍රී කාලයේදී ඔක්සිජන් විමෝචනය කරනු ලබන ඕකිඩ් ඔබට සුවදායි නින්දක් ලබා ගැනීමට උපකාරී වෙනවා.
- ස්නේක් ප්ලාන්ට් හෙවත් සර්ප පැලෑටිය මේ ශාකයේ ඇති දීර්ඝ පැතලි පත්‍රවලින් වාතයේ ඇති වාෂ්පශීලි කාබනික සංයෝග හොඳින් අවශෝෂණය කරනු ලබනවා. ඒ නිසා වාතය හොඳින් පිරිසිදු කිරීමට දායක වන මේ පැලෑටිය විවිධ සුවඳ විලවුන්වල, සැනිටයිසර්වල කොණ්ඩය සකස් කිරීමේදී භාවිතා කරන ස්ප්‍රේ වර්ගවල අඩංගුව ඇති වාෂ්පශීලි කාබනික සංයෝග හොඳින් අවශෝෂණය කරගනු ලබනවා. අපේ නින්දට බාධා ඇති කරනා ඒ සංයෝග උරා ගන්නා මේ පැලෑටිය නිදන කාමරයේ තිබිය යුතුම ශාකයක්. එමගින් සුවදායි නින්දක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා.
- කෝමාරිකා කෝමාරිකා කියන්නේ අපි හැමෝම දන්නා ප්‍රයෝජන බොහොමයක් ලබාදෙන වටිනා ශාකයක්. රාත්‍රී කාලයේදී පවා වාතයේ ඔක්සිජන් ඉහළ නංවන හොඳම පැලෑටිය ලෙස කෝමාරිකා අතිශයින්ම වැදගත්.නිදා ගන්නා විට ඉතා හොඳ මට්ටමේ ඔක්සිජන් ලැබීමෙන් වේගයෙන් හුස්ම ගැනීම අඩු කරනවා. හදවතේ ක්‍රියාකාරිත්වයක් අවම මට්ටමේ පවත්වා ගෙන යාමට හැකියාව එයින් ලැබෙනවා.ඒ නිසා නිදන කාමරයේ කෝමාරිකා පැලයක් තබා ගැනීම ඔක්සිජන් වැඩි පිරිසිදු වාතය ලබා ගන්නටත් සුවදායි ගැඹුරු නින්දක් ලබා ගන්නටත් උපකාරී වෙනවා.
- වැලේරියන් මේ ශාකය නිදි බෙහෙත් ලෙස හඳුන්වනු ලබන අතර එය නින්ද නොයාමට කදිම විසඳුමක් ලබාදෙන පැලෑටියක්. මේ ශාකය සතුව මානසික ආතතිය අඩු කරන්නට වගේම නින්ද ළඟා කරවා ගන්නටත් උපකාරී වෙන සංයෝග කිහිපයක්ම අන්තර්ගත වෙනවා. මේ ශාකයේ මුලෙන් කොටසක් ගෙන හොඳින් තලා සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් පමණක් ක්ෂණික නිදිමතක් ඇති කර ගන්නට පුළුවන්. මේ සංයෝගවලින් අපේ ස්නායු ලිහිල්වීම සිදු කරනු ලබනවා. ඒ නිසා නිදන කාමරයේ මේ වැලේරියන් පැලෑටියක් තබා ගැනීම සුවදායි නින්දක් සඳහා අත්‍යවශ්‍ය වෙනවා.

- තනි පෙති ලිලී ආර්තද්‍රතාවය නිසි පරිදි පවත්වා ගෙන යාමට මේ ශාකය ඉතාම වැදගත් වෙනවා. විදුලි පංකා ක්‍රියාත්මක වන කාමරයක හෝ වායු සමීකරණය කළ කාමරයක ආර්ද්‍රතාවය යහපත් මට්ටමකින් පවතින්නේ නැහැ. මේ ආර්ද්‍රතාවය අඩු වැඩිවීම වළක්වා ගන්නට මේ පැලෑටිය අතිශයින්ම වැදගත් වෙනවා. පෙනුමෙන් ඇන්තූරියම් මලකට සමානකම් දක්වන මේවා සුදු පැහැ තනි පෙත්තකින් සහ කහ පාට මංජරියකින් සමන්විතයි. ආර්ද්‍රතාවය වැඩිවීමෙන් ඇතිවන දහදිය දැමීම වගේම වායු සමීකරණ නිසා ආර්ද්‍රතාවය අඩුවී සම වියළීයාමත් වළක්වනු ලබනවා.
- ලැවෙන්ඩා ශාකය මෙය රාත්‍රියට ගැඹුරු නින්දක් ඔබට ලබාදෙන්නට බෙහෙවින් උපකාරී වෙනවා. මෙයින් අපේ හදවත ගැහෙන වේගය අවම වීම සහ රුධිර පීඩනය පහළ බැසීම හා ආතතියත් අඩු කරනු ලබනවා. ලැවෙන්ඩා සුවඳ නින්ද ළඟා කරගැනීමට වඩා නින්ද ගැඹුරින් ලබා ගන්නට වැදගත් වෙනවා.සිරුරට අහිතකර දේවල්වලට යොමුවී අහිතකර ශාරීරික ගැටළු මතුකර ගන්නවාට වඩා මේ වගේ ස්වාභාවික පැලෑටියක් තබා ගැනීම මගින් සුවදායි නින්දක් කිසිදු සෞඛ්‍ය ගැටළුවකින් තොරව ලබා ගන්නට හැකියාව ලැබෙනවා.