ජීවිතය පවා නැතිවෙන නියුමෝනියා හැදීගෙන එන විට දැනගත හැකි ක්‍රම 6 ක්

health tips

ස්වසන රෝග අතරින් තරමක් බරපතළ රෝගයක් විදිහට තමයි නියුමෝනියාව හඳුනා ගැනෙන්නේ.  සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමඟ නියුමෝනියා රෝග තත්ත්වය හඳුනා ගන්නට හැකියාව නොමැති වීම නිසාවෙන් ප්‍රතිකාර ලබා ගැනීම පමාවීමෙන් රෝගීයාව ජීවිතක්ෂයට පවා පත්වෙන අවස්ථා ඕනෑ තරම්. ඒ නිසාවෙන් නියුමෝනියා තත්ත්වයක් හඳුනා ගන්නට හැකි ලක්ෂණ පිළිබඳව අවබෝධයකින් යුක්ත  වීම හරිම වැදගත් . ඒ නිසා අපි අද කතා කරමු නියුමෝනියා රෝගය හඳුනා ගත හැකි ලක්ෂණ පිළිබඳව.

නියුමෝනියාව කියලා කියන්නේ පෙනහළු පටකවල ඇතිවන ආසාදන තත්ත්වයක්. පෙනහළුවලට විශබීජ  ඇතුළු වීමෙන් පෙනහලුවල පටක ඒ විශබීජවලට විරුද්ධව ප්‍රතික්‍රියා කරන්නට පටන් ගන්නවා. ඒ නිසා පෙනහැල්ලේ ඇති සියලු ශ්ලේෂ්මල පටල ඉදිමීමට ලක්වෙලා වායු හුවමාරුව ඇති නොවී ඒ ස්ථානය පැසවන තුවාලයක් බවට පත්වෙනවා. ඒ ආසාදනය තමයි මේ නියුමෝනියා විදිහට  හඳුනා ගන්නේ.

බොහෝ වෙලාවට මේ ආසාදිත තත්ත්වය එක් පෙනහැල්ලට පමණයි ඇති වෙන්නේ. පෙනහලු ආසාදනයට ලක් කරන   විෂබීජ කිහිපයක් පවතිනවා. විශේෂයෙන්ම නිව්මෝනියාව ඇති කරන්නේ නිව්මොකොකස් හා හිමොපිලස් කියන විශබීජ වර්ග දෙක. මේ විෂබීජ සාමාන්‍ය වාතයේ පවා තිබෙන්නට පුළුවන්. ඒ විෂබීජ වාතයට එකතු වෙන්නේ තවත් නිව්මෝනියා රෝගියෙකුගෙන්. නීරෝගි පුද්ගලයෙක් නිව්මෝනියා රෝගියෙක් ගැවසෙන පරිසරයේ සිට ආශ්වාස කිරීමේදී මේ විෂබීජ ශරීරගත වෙන්නට පුළුවන්. ඒ හැරුණාම ,

  • පරපෝෂීන් මගින් වන ආසාදන 
  • රසායන ද්‍රව්‍යවලින් පෙනහළුවලට සිදුවන අනතුරු 
  • දුම්පානය මගින්

නිව්මෝනියාව වැළදෙන්නට පුළුවන්.

 නමුත් සෙම්ප්‍රතිශ්‍යාවකින් පසුව නියුමෝනියාව වැළඳෙන්නේ නැහැ. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස කියන්නේ වෛරස් ආසාදනයක්. එය ටික දිනකින් සුව අතට පත් වෙනවා. නමුත් බොහෝම කලාතුරකින් සෙම්ප්‍රතිශ්‍යාව නිසා නියුමෝනියා තත්ත්වය ඇති වෙන්නත්  ඉඩකඩ තියෙනවා. 

 නියුමෝනියා වර්ග කීපයක් දකින්නට පුළුවන්. දිලීර නිසා ඇතිවන නියුමෝනියා තත්ත්වයක් වගේම පරිසරයෙන් ඇති වන තත්ත්වයක් වශයෙන් දෙයාකාර වෙනවා. ඒ හැරුණාම ආහාර පාන වර්ග පෙණහලුවලට ඇතුළු වීම නිසා ඇතිවන තවත් නිවුමෝනියා වර්ග පවතිනවා. නමුත් මේ වර්ග දෙකම එක් පුද්ගලයෙකුගෙන් තවත් අයකුට බෝ වන තත්ත්වයක් නෙවෙයි.

නිව්මෝනියාව හඳුනාගත හැකි රෝග ලක්ෂණ 

උණ ස්වසන අපහසුතාවය සමග උණ ඇති වෙනවා නම් එය බොහෝවිට නිව්මෝනියාවේ රෝග ලක්ෂණයක් වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මේ උණ ෆැරන්හයිට් අංශක 101 වඩා වැඩි නම් මේ නියුමෝනියා වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

ස්පන්දන වේගය වැඩිවීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා  හෘද ස්පන්දන වේගය වැඩි වේගයෙන් සිදුවන බව දැනෙනවා නම් ඒ නියුමෝනියාවේ රෝග ලක්ෂණයක් වෙනවා. මිනිත්තුවකට හදවත වාර 100 කට වැඩි ප්‍රමාණයකින් ගැහෙනවා නම් ඔබ එය සැලකිල්ලට ගත යුතු  කාරණාවක් වෙනවා. නිව්මෝනියා තත්ත්වය උද්ගත වෙද්දි හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ හෘද ස්පන්දන වේගය වැඩිවීමක් සිදු වෙන්නේ.

කැස්ස බොහෝ දෙනෙක්ට සාමාන්‍ය කැස්ස සහ නිව්මෝනියාව නිසා ඇතිවන කැස්ස වෙන්කර හඳුනා ගන්නට අපහසුයි. සාමාන්‍යයෙන් කැස්ස ඇතිවී දින තුනක් ඉක්ම යන්නටත් පෙර තද උණ ඇති වෙනවා නම් එය බොහෝදුරට නියුමෝනියාව වෙන්නට පුළුවන්. ඒ වගේම මුල් දිනවල වියළි කැස්සක් ඇති වෙනවා. පසුව කහපාටට සෙම යනවා. ඇතැම් විට සෙම සමග ලේ පිටවීම වෙන්නටත් පුළුවන්. 

සමග රුධිරය පිටවීම කහින විට සෙම සමග රුධිරය පිට වෙනවා නම් මලකඩ පැහැයක් ගන්නවා නම් එය නියුමෝනියාව හඳුනා ගන්නට උදව්වෙන ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මේ ආසාදනය පෙනහළුවලට හානි කරමින් පවතින බව පෙන්නුම් කරනවා.

පපුවේ වේදනාව පෙනහලුවල ආසාදන තත්ත්වයකදී පපුවේ වේදනාව සහ තද වීම ඇතිවෙනවා. මෙහිදී පිහියකින් අනිනවා මෙන් තියුණු වේදනාවක් හට ගන්නවා. ඒ වගේම කහින විට සහ ගැඹුරු හුස්මක් ලබා ගන්නා විටත් මේ වේදනාව වැඩි වෙනවා දකින්න පුලුවන්.

හුස්ම ගැනීමේ අපහසුතාවය සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස තත්ත්වයකදී හුස්ම ගැනීමේ  ක්‍රියාවලිය ඔබට වඩාත් අපහසුතාවක් ගෙන දෙන්නේ නම් හුස්ම ගැනීමට දැඩි වෙහෙසක් දරන්නට සිදු වෙනවා නම් එයට හේතුව ඔක්සිජන් ඌණතාවය වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නිව්මෝනියා තත්ත්වයකදී.

  • කෑම අරුචිය
  • ඇඟපත වේදනාව
  • අධික ලෙස දහදිය දැමීම
  • ශරීරයේ සිසිල් වීම
  • ඔක්කාරය
  • සිහිකල්පනාව අඩුවීම
  • ශරීරයේ සමබරතාවය ගිලිහී යාම

 කුඩා දරුවන්ට නියුමෝනියා තත්ත්වයකදී නිරන්තරයෙන් නිදිමත ඇතිවීම සහ ආහාර අරුචිය දැකගන්නට පුළුවන්. 

 නියුමෝනියාව සුවකළ නොහැකි වුනොත් ඇතිවිය හැකි බරපතළ තත්ත්වය

නිසිවෙලාවට අවශ්‍ය ප්‍රතිජීවක නියම අවස්ථාවේදී නොලැබුණොත් එය සුව කරන්නට නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ආසාදනය අවසානයේදී සැරව ගෙඩියක් බවට පත්වෙලා පෙනහැල්ලේ කොටසක් විනාශ කිරීමට සිදුවෙනවා. ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සැරව ගෙඩිය නැති වුණත් එහි කැළල තිබෙන්නට හැකියාව තියෙනවා. ඒ වගේ අවස්ථාවක පසුකාලීනව යම් යම් සංකූලතා ඇති වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම  මේ කැළල වෙනත් විෂබීජයක් නිසා නැවත පැසවීමක්  වන්නට පුළුවන්. එවිට එයින් තුවාල වෙලා ලේ ගලන්න ඉඩ තියෙනවා .

ඒ වගේම නියුමෝනියාව උත්සන්න වී මියැදෙන අවස්ථා ඕනෑ තරම් අසා තියෙනවා. ඒ වගේ අවස්ථාවක සිදුවෙන්නේ මේ ආකාරයෙන් ඇතිවන සැරව ගෙඩි ආසාදිත තත්ව ස්වසන මාර්ගය ඔස්සේ ඉහලට ගමන් කිරීමේදී අවහිර වීමක් ඇතිවීමයි. ස්වසන මාර්ගය අවහිරවීම් යම්කිසි ඇටයක් වැනි දෙයක් ස්වසන මාර්ගයේ සිරවී තිබීම, වලිප්පුව සෑදුණු රෝගියෙකුට එකවරම සිහි නැතිවී යාම, අධික ලෙස මත්පැන් බී වමනය කිරීමේදී සිහි නැති වීම නිසා ශ්වසන මාර්ගයට වමනය යාම, මාර්ගයේ පිළිකා ආදී ගෙඩි ඇති වී තිබීම හේතු වෙන්නට පුළුවන්. 

නිව්මෝනියාව ස්ථිරව වැළඳී ඇති බව දැනගන්නට වෛද්‍යවරුන් විසින් රෝගියාගේ පෙනහළු x-ray පරීක්ෂණයකට යොමු කරනවා. එහිදී  ප්‍රතිජීවක ඖෂධ සහ ප්‍රතිජීවක එන්නත් කිරීමත් සිදු කරන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ  සඳහා ලබාදෙන ඖෂධ දිගටම භාවිතා කිරීමට වෛද්‍යවරු නිර්දේශ කරනවා. එමඟින් රෝගය නිට්ටාවටම සුවකර ගැනීමට බොහෝදුරට  හැකියාව ලැබෙනවා.