දියවැඩියාව පාලනය කරන සේර ශාකය

health tips

Poaceae කුලයට අයත් සේර යනු පැඟිරි කුලයට අයත් තෘණ විශේෂයකි. එනම් සේර ශාකය දකුණු ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වූ නමුදු ආසියාව හා ඇමරිකාව  වැනි රටවල බහුලව වගා කරනු ලැබේ. එනම් තන්තු මූල පද්ධතියක් හා භූගත කදක් සහිත බහු වාර්ෂික ශාක විශේෂයක් වූ සේර ශාකය පඳුරක් ලෙස දැකගත හැකිය. එහි පත්‍ර සෙන්ටි මීටර් 90ක් තරම් දිගටි සිහින් පත්‍ර වන අතර එම පත්‍ර දෙපස බූව දැකගත හැකිය. කහ සහ කොළ පැහැති කොපුව තුළ හටගන්නා මල් දම් පැහැයෙන් යුතුවේ. එනම් මෙය බොහෝ විට භාවිතා කරනු ලබන්නේ ආහාර පිසීම සඳහා සුවඳකාරක කුළුබඩුවක් ලෙසය. ඊට අමතරව වර්තමානය වන විට තේ පානයක් ලෙස ද, ඖෂධයක් ලෙස ද භාවිතා කරනු ලබයි. එනම් තෙත් සහිත ප්‍රදේශවල මෙම ශාකය පහසුවෙන් වගා කර ගත හැකිය. 

සේර ශාකයේ ඖෂධීය භාවිතයන් 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත හැකිය.නිරෝගී දිවියක් ගත කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීම අත්‍යවශ්‍යවේ. එනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට සේර භාවිතය යෝග්‍යවේ. එනම් සේර වල පවතින ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශක්තිකරණය දුර්වල වීමෙන් ඇතිවන ලෙඩ රෝගයන්ගෙන්ද ආරක්ෂාව සලසනු ලැබේ. 

පරපෝෂිතයන් විනාශ කරනු ලබයි.මැලේරියාව, උණ, වෛරස් වැනි රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇති වූ රෝග තත්ත්වයන් සමනය කිරීමට ද සේර භාවිතය යෝග්‍ය වේ. එනම් සේරවල පවතින ප්‍රතිබැක්ටීරියා ප්‍රතිවෛරස්  ගුණයන් මෙවැනි රෝග තත්ත්වයන් ඇතිවීමට හේතුවන පරපෝෂිතයන් විනාශ කර එම රෝග තත්ත්වයන් සමනය කිරීම සිදුකරනු ලැබේ. 

පිළිකා ඇතිවීම වළක්වා ගත හැකිය.මේ වන විට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින මාරාන්තික රෝගයක් වන පිළිකා රෝගය ඇතිවීම වළක්වා ගැනීමට සේර භාවිතා කිරීම ගුණදායකය. එනම් කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ සේර භාවිතයෙන් පිළිකා ඇති වීමට හේතු වන සෛල මර්ධනය කරගත හැකි බවයි. එනම් මේ සඳහා සේරවල අඩංගු ප්‍රතිඔක්සිකාරක මෙන්ම සේර නිස්සාරණය කිරීමෙන් ලබා ගන්නා තෙල් වල අඩංගු ලීනලූල් සංඝටකය මෙන්ම කඳෙහි පවතින සිට්‍රල් සංඝටකය පිළිකා ඇති වීම වළක්වනු ලබයි. එමෙන්ම ඇතිවූ පිළිකා මර්ධනය කිරීම ද සිදු කරනු ලබයි. මේ නිසා පිළිකා රෝගීන්ට සේර භාවිතය වඩාත් සුදුසුවේ. 

උදරගත රෝග සමනය කර ගත හැකිය.උදරයේ ඇතිවන වේදනාවන් හෝ අජීර්ණ තත්ත්වයන් සදහා සේර වඩාත් යෝග්‍ය වේ. මේ සදහා සේර කොළ කොටා ලබාගත් යුෂ වලට මිංචි, ගම්මිරිස්, වියලි ඉගුරු, මිශ්‍ර කර සූකිරි සමඟ පානය කිරීමෙන් උදර වේදනාවන් සමනය කරගත හැකිය. 

කොලෙස්ටරෝල් පාලනය කර ගත හැකිය.වර්තමානය වන විට බොහෝ දෙනකු කොලෙස්ට්‍රෝල් රෝග තත්ත්වයෙන් පීඩා විඳිනු ලබයි. එවැනි රෝගීන්ට සේර භාවිතා කිරීම මගින් ශරීරගත අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගත හැකිය. එනම් ආහාර පිසීමේදී කුළුබඩුවක් ලෙස හෝ සේර තේ පානය මේ සඳහා වඩාත් සුදුසුවේ. 

දියවැඩියාව ඇතිවීම පාලනය කර ගත හැකිය. නිදන්ගත රෝග අතර වැඩි දෙනෙකුට පවතින දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීමට සේර යනු ගුණදායක ඖෂධයකි. එනම් සේර ආහාර පිසීමේදී කුළුබඩුවක් ලෙස හෝ තේ පානයක් ලෙස භාවිතා කිරීම මගින් රුධිරගත සීනි මට්ටම පාලනය කරගත හැකිය.

මානසික රෝග සමනය කර ගත හැකිය. අප ගතකරන කාර්ය බහුල ජීවන රටාවත් සමඟ මානසික පීඩනය හා මානසික රෝග තත්ත්වයන් ඇතිවීම වර්ධනයවී තිබේ. එනම් මානසික ආතතිය, කාංසාව, විෂාදය වැනි රෝග තත්ත්වයන් නිසා බොහොමයක් රහසේම පීඩා විඳිනු ලබයි. එම රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ මානසික රෝග සමනය කරගෙන සහනය සලසා ගැනීමට සේර භාවිතය ගුණදායකය. එනම් මේ සඳහා සේර කොළ දඬු වියළා කුඩුකර උණුවතුරට  දමා පානය කිරීම හෝ සාමාන්‍ය පරිදි අප පානය කරන තේ පානයට සේර කැබැල්ලක් එක් කොට පානය කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ. එනම් ඉන් මානසික ආතතිය ,කාංසාව වැනි මානසික රෝග තත්ත්වයන් සමනයට පත් කරගත හැකිය. 

ආර්ථව වේදනාවන්ට සහනය සලසා ගත හැකිය.බොහෝ කාන්තාවන් ආර්තව වේදනාවන් හේතුවෙන් පීඩාවට පත් වනු ලැබේ. එම කාල වකවානුව තුළ සේර භාවිතා කරන්නේ නම් එම වේදනාවන් සුව කරගත හැකිය. එනම් මේ සඳහා සේර තම්බා එයට ගම්මිරිස් ස්වල්පයක් දමා පානය කිරීම යෝග්‍ය වේ. 

ඉදමුම්, වේදනා, උලුක්කු සමනය කරගත හැකිය. ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන් හේතුවෙන් ඇති වන ඉදමුම්, වේදනා මෙන්ම හදිසි අවස්ථාවල ඇති වන උලුක්කු සුවකර ගැනීමට ප්‍රදාහ තත්ත්වයන් හේතුවෙන් ඇතිවන ඉදිමුම් සමනය කිරීමට සේර තම්බා එම වතුරෙන් සේදීම මෙන්ම සේර තෙල් හා පැඟිරි තෙල් මිශ්‍ර කර ආලේප කිරීම ගුණදායකය. මීට අමතරව පහත දැක්වෙන රෝගී අවස්ථාවන් සඳහා ද සේර භාවිත කරයි. 

  • අම්ල පිත්තයට 
  • වමනයට
  • පාචනයට
  • ආහාර අරුචියට ආදී රෝග සමනය කිරීමට සේර භාවිතා කළ හැකිය. කෙසේ නමුත් ගර්භණී කාන්තාවන් සේර භාවිතය එතරම් සුදුසු නොවේ.