කුඩා දරුවන්ගේ ජීවිතය පවා නැතිවිය හැකි විෂ ශාක10 ක්

health tips

 ගෙවතු අලංකරණය සඳහා විවිධ වූ විසිතුරු පැළෑටි අපි වගා කරනවා. සොඳුරු ගෙවත්ත හැඩ කරන විසිතුරු ගහ ගහකොළ පවා බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට අපේ ජීවිතවලට අනතුරු ඇති කරන්නට සමත් වෙනවා. ඒ නිසා දකින දකින ස්ථානවලින් දකින දකින විසිතුරු පැල  හෝ මල් වර්ග ඉල්ලා ගෙන එන්නට කලින් දෙවරක් සිතන්නට ඔබට සිද්ධ වෙනවා. මේ ශාකවල ඇති විෂ රසායන ඔබේ දරුවන්ට  මරණය වුණත් ඇති කරන්න පුළුවන්. ඒ නිසා අපි හැමදෙනාම අපේ පරිසරයේ ඇති විෂ සහිත විසිතුරු ශාක පිළිබඳව හොඳ දැනුවත්වීමකින් යුක්ත වීම අනිවාර්යයි.

 දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ නොදැනුවත්කම නිසා බොහෝ වෙලාවට මේ ශාක විශවීම්වලට වැඩි වශයෙන් දරුවන් ගොදුරු වෙනවා. ඒ විසිතුරු පැලෑටිවල තියෙන මල්වල අලංකාරය, පැහැය සුවඳ ආදිය දරුවන් ආකර්ෂණය කරගන්නට හේතු වෙන  නිසා ගෘහාශ්‍රිතව තියෙන ඇතැම් විෂ සහිත ශාක පිළිබඳව වැඩිහිටි ඔබ දැනුවත් වීම අනිවාර්යයි.

 මේ විෂ සහිත ශාකවල වියළුණු කොළ හෝ පුළුස්සන කොළවලින් නැගෙන දුම් පවා ආඝ්‍රාණය කිරීමෙන් විෂ වෙන්නට පුළුවන්. ඒ නිසා මෙවැනි විෂ සහිත ශාක ඔබේ ගෙවත්තෙන් ඉවත් කිරීම ඉතාම සුදුසුයි. ඇතැම් වෙලාවට විෂ ශාක කොටස් වලින් සෙල්ලම් බඩු සකස් කර දරුවාට දීම තුළින් පවා දරුවන්ට මේ විෂ ශරීරගත වෙන්න පුළුවන්. ඒ  නිසා මේ විෂ ශාක ගැන ඔබ තුළ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා අපි අද කතා කරමු මේ වගේ විශ වෙන්නට ඉඩකඩ තියෙන ශාක වර්ග මොනවාද කියන කාරණාව පිළිබඳව.

එඬරු

 ඖෂධීය ගුණයෙන් ඉහළ එඬරු බෙහෙත් එඬරු සහ තෙල් එඬරු වශයෙන් දෙවර්ගයක් තියෙනවා. කොහොම වුණත් මේ එඬරු ඇට විෂ සහිත බව මතක තියාගත යුතුයි. එඬරු ඇටවල ඇති රයිසින්  කියන විෂ ශරීරගත වුණොත්  හුස්ම හිරවීමට ලක්වෙලා මරණයට පත්වෙන්නට සිද්ධ වෙනවා. 

ඔලිඳ

මේ  විෂ ශරීරගත වෙන්න ඔලිඳ ඇටයක් වුණත් ප්‍රමාණවත් වෙනවා. මේවායේ ඇති ඒබ්‍රන්  කියන විෂ ශරීරගත වීමෙන් වමනය, මලපහ සමග රුධිරය පිටවීම ආදීය  ඇතිවෙලා දරුණු අවස්ථාවේදී වකුගඩු අක්‍රිය වීමත් සිද්ධ වෙන්න පුළුවන්. සිත්ගන්නා සුළු පෙනුමක් තියෙන නිසා දරුවන් සෙල්ලම් කරන්නට පවා භාවිතා කරන  නිසා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න.

හබරල

 අලංකාරය සඳහා ගෙවතුවල වවන හබරල වර්ගවල ඇති කොළ දරුවන්ට ඉතාම විෂ සහිතයි. නොදැනුවත්කම නිසා මේවායේ කොළ සැපීමෙන් දරුවන්ගේ තොල්, දිව, උගුර ආදිය ඉදිමිලා කටහඬ දුර්වල වෙලා කතා කිරීමත්  අපහසු වෙන්න පුළුවන්. කුඩා දරුවන් නොදැනුවත්කමින් මේ  කොළ වර්ග සැපීම මේ විෂ ශරීරගත වීමට හේතුවක්.

කනේරු

 කනේරු විෂ සහිත ශාකයක් බව ඔබ දැනටමත් දන්නවා ඇති.  විසිතුරු මල්පැල අලෙවි කරන ස්ථානවල වගේම  ගෙවතු අලංකරණය සඳහාත් මේ කනේරු ගස් භාවිතා වෙනවා. මේවායේ අඩංගු වෙන ග්ලයිකොසයිඩ් කියන විෂ හේතු කරගෙන හදවතේ ක්‍රියාකාරීත්වයට  දැඩි ලෙස හානි සිද්ධ වෙන්න පුළුවන්. එහිදී හුස්ම හිර වීමට ලක්වෙලා මරණයට  පත්වෙනවා. නොදැනුවත්කම නිසා මේ ශාකයේ ඇට, කොළ හෝ මල් ආහාරයට ගැනීමෙන් එහෙමත් නැත්නම් පානීය ජලයට මේ මල් එකතු වීමෙන් විෂ වෙන්නට ඉඩකඩ තියෙනවා. 

ඒන්ජල්ස් ට්‍රම්පට් හෙවත්  Brugmansia 

උද්‍යාන අලංකරණය පිණිස වැඩි වශයෙන් යොදා ගන්නා මේ මල් සහිත ශාකය මුළුමනින්ම විෂ සහිත ශාකයක්. මෙහි ඇටවල සහ කොළවල වැඩි වශයෙන්ම මේ විෂ අන්තර්ගත වෙනවා. මේ විෂ ශරීරගත වීමෙන් මස්පිඬුවල ක්‍රියාකාරිත්වය ඇනහිටීම, පාචනය, හිසේ කැක්කුම් ආදී රෝග ලක්ෂණ ඇතිවෙනවා. වැඩි විෂක් ශරීරගත වුණොත් ජීවිතක්ෂයට පත් වෙන්න වුණත් පුළුවන්. ඒ නිසා මෙය නිවෙස්වල වැවීම කොහෙත්ම සුදුසු නැහැ.

කැපුම් කීරිය

 තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කළ හැකි නිසා කැපුම්කීරිය ලෙස හඳුන්වන මේ ශාකයේ හයිඩ්‍රො සයනික් අම්ලය අඩංගු වෙනවා. මෙය ශරීරගතවීමෙන් විෂ වී බඩේ කැක්කුම, කරකැවිල්ල, වමනය, මලපහ පිටවීම ආදී අපහසුතා ඇතිවෙන්න පුළුවන්. මේ පැළෑටිය මුගුණුවැන්න ශාකයට  සමාන නිසා වැරදීමෙන් ආහාරයට වුණත් එකතු වෙන්නට ඉඩකඩ පවතින නිසා වඩාත් ප්‍රවේශම් වෙන්න.

අත්තන

 ජලභීතිකා රෝගය, සර්ප විෂ, ඇදුම ආදී රෝගවලට පිළියම් කරන්නට භාවිතයට ගන්නා  මේ ශාකය ඖෂධීය ගුණය අතින් ඉතාම ඉහළයි. මේ ශාකයේ කොටස් විශේෂයෙන්ම ඇට වැඩිපුර ශරීරගත වුණොත් විෂ සහිත වෙනවා. මේ නිසා සිහිය විකල් වීම සිහි නැති වීම වගේම මරණය පවා කැඳවන්නට හැකියාව මේ ශාකය සතුයි.

කදුරු

ලංකාවේ කදුරු වර්ග කිහිපයක්ම දකින්නට පුළුවන්. සමහර කදුරු වර්ග වෙදහෙදකම්වලට යොදා ගත්තත් මේ කදුරු විෂ සහිතයි. වෙදකම්වලට භාවිතා කරද්දි මේ කදුරුවල විෂ ඉවත් කරමින් ඒවා භාවිතයට ගන්නවා. ඒ නිසා දරුවන් ඉන්නා නිවෙස්වල ගෙවත්තේ මේ ශාකය වවන එක එතරම් සුදුසු නැහැ. මෙහි ගෙඩි  නොදන්නාකමින් ආහාරයට ගැණුනොත් ඒ විෂ ශරීරගත වෙන්න පුළුවන්.

ගජමදාරා

 මේ ශාකය ඖෂධීය වශයෙන්  ඉතාම වටිනා ශාකයක්. නමුත් ඒ වගේම තමයි ඉතාම විෂ සහිත ශාකයක්.  මේවායේ හටගන්නා ගෙඩි බෙහෙත් නෙල්ලි ගෙඩියක් හා සමාන නිසා වැරදීමකින් මේ බෙහෙත් නෙල්ලි  යැයි සලකා ආහාරයට ගත්තොත් ක්ෂණිකවම මරණයට පත් වෙනවා. මේ ශාකයේ සෑම කොටසක්ම පාහේ ආයුර්වේද ප්‍රතිකාර පිණිස යොදා ගන්නවා. ඒ නිසා කිසිවෙකුට  හිතුමතේ මේ ශාකය භාවිතා  කරන්නට බැහැ.   හස්තීන් පවා දණ නමන ශාකයක් ලෙසට සැලකෙන මෙය කෘමි උවදුරු කිසිවකින් හානියක් නොවන ඉතාම වටිනා විෂ සහිත ශාකයක්. 

නියඟලා

 නියඟලා අල, මල් ආදිය ඉතාම විෂ සහිත බව වැඩිහිටි ඔබ දන්නවා. නමුත් මෙහි හටගන්නා අලංකාර මල් නිසා දරුවන් මේ ශාකය වෙත ආකර්ෂණය වෙන්න  පුළුවන්. තවත් අය මේ ශාකයේ අලංකාරය නිසාම නිවෙස්වල අලංකාරයටත් භාවිතා කරනවා. නමුත් මේවා ශරීරගත වුණොත් ඉතාම විෂ සහගත තත්තවයක් ඇතිවෙනවා. පානීය ජලය ලබා ගන්නා ලිං අසල මේ ශාකය වැවිලා තියෙනවා නම් ඒ නියඟලා මල් ජලය සමග මිශ්‍ර වෙලා ඒ විෂ ශරීරගත වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න.

දරුවන් සිටින නිවෙස්වල ඔබ වගා කරන සෑම පැළෑටියක් පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඔබගේ නොසැලකිලිමත්කම අනවබෝධය ඔබේ දරුවා අනතුරක හෙළන්නට පුළුවන්.