හැමදාම කන පොල් සම්බෝලේ ශරීරයට මෙච්චර ගුණදායකයි කියලා ඔබ දැන සිටියාද ?

health tips

ලෝකයේ හැම රටකටම වගේ තමන්ටම අනන්‍ය වුණු ආහාර සංස්කෘතියක් තියෙනවා. ශ්‍රී ලාංකීය අපේ ආහාරවලින් වැඩි දෙනෙක් දන්නා අපේ ආහාර වේලට නැතුවම බැරි දෙයක් තමයි පොල් සම්බෝලය. බත්, පාන්   ඉඳි ආප්ප  වගේ දේවල්වලට නැතුවම බැරි අපේ  රටේ ජනප්‍රියම පොල් සම්බෝලය දේශීය වගේම විදේශීය පර්යේෂකයන් පවා විස්මයට පත් කරවපු ගුණයකින් සමන්විතයි. ග්‍රාමීය  ප්‍රදේශවල නම් බත් එක්ක පොල් සම්බෝලයටම ගැළපෙන කරවල බැදුමත්  වියළි හාල් මැස්සන් බැදුමත් හරිම රසවත් . ඕනෑම අවස්ථාවක ඉතාම ඉක්මනින් පිළියෙල කර ගන්නට හැකියාව තියෙන පොල් සම්බෝලය  ගැන තමයි අද අපි කතා කරන්නේ.

පොල්, ලුණු, දෙහි උම්බලකඩ ආදිය දමා අඹරලා හරි කොටලා  හරි ඉක්මනින් පිළියෙල කර ගන්නට පුළුවන් පොල්  සම්බෝලය ලොකු කුඩා හැමෝම ආසාවෙන් ආහාරයට ගන්නවා. ඔයා දන්නේ නැතුව ඇති කොලෙස්ටරෝල් වගේ අද බොහෝ දෙනෙක් පීඩා විඳින විවිධ රෝගවලින් ආරක්ෂා වෙන්නටත් ඒවා සුවපත් කරගන්නටත් පොල් සම්බෝලය අපේ ශරීරයට කොතරම් ගුණදායකද කියන වග. 

 පොල් 

 සම්බෝලයට අත්‍යවශ්‍ය මූලික ද්‍රව්‍ය තමයි පොල්. පොල්වල සෝඩියම්, පොටෑසියම්, තන්තු වගේම සංතෘප්ත මේදයත් අඩංගු වෙනවා.

 රතු ළූණු 

රතු ළූණු සතුව විටමින් A, විටමින් B, විටමින් C, ප්‍රෝටීන්, මේද, කැල්සියම්, යකඩ,මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක්  වගේම සෙලීනියම්, මැංගනීස් ආදී අති දුර්ලභ අංශු මූලද්‍රව්‍යයත් අඩංගු වෙනවා.

පිළිකවෙන්, දියවැඩියාවෙන් ආරක්ෂා කරන රතු ළූණු හදවතේ නිරෝගී බවටත් බෙහෙවින් උදව් වෙනවා. අපේ ශරීරයට බොහෝම ප්‍රතිලාභ ලබා දෙන ආහාරයක් වන රතු ළූණු  බැක්ටීරියා ඇතිකිරීමත් වළක්වනවා.

සුදු ළූණු 

හදවතට ගුණදායක ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන විෂබීජ නාශක  ගුණ ඇති සුදු ළූණු  පොල් සම්බෝලයේ අනිවාර්යය අමුද්‍රව්‍යයක්. සුදු ළූණුවල අන්තර්ගත විටමින් C සහ B6 ලෝහ සහ අනෙකුත් විටමින් වර්ග නිසා ලෙඩරෝගවලින් ආරක්ෂා වීමට ඕන කරන ප්‍රතිශක්තිකරණය වැඩි කරන්නට සමත්.  

 මිරිස්

 විටමින් ඒ, විටමින් බී, සහ  විටමින් සී බහුල ආහාරයක් විදියට තමයි මිරිස් සැලකෙන්නේ. අපේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට හදවතේ සෞඛ්‍යමත් බව පවත්වා ගන්නට, ස්ථුලතාවය අඩු කරන්නට, ග්ලූකෝස් යාමනයට  ඇතුළු බොහෝමයක් වාසි මිරිස් අනුභව කිරීමෙන් ලබාගන්නට පුළුවන්.

 ගම්මිරිස්

ගිනියම් ගුණ තිබුණත් ඉතා සුළු ප්‍රමාණයක් අනුභව කිරීමෙන් ප්‍රතිලාභ බොහොමයක් ගම්මිරිස්වලින් ලබාගන්න පුලුවන්. ආහාර රුචිය වර්ධනය, වාත සෙම් රෝග නැසීම, ආහාර ජීර්ණය පහසු කිරීම, බඩගිනි වැඩීම, රුධිර  ගමනය  ශක්තිමත් කිරීම ආදී වටිනා  ගුණ රැසක් ලබාදෙන ගම්මිරිස් සම්බෝලයට අනිවාර්යෙන්ම එකතු කළ යුතු අමුද්‍රව්‍යයක්.  ගම්මිරිස් මල බද්ධය, හර්නියා,  පෙනහළු රෝග සහ වකුගඩු රෝග ආදී බොහෝමයකටම ගුණදායකයි.  

ලුණු

හරි පරිස්සමට භාවිතා කළ යුතු අමුද්‍රව්‍යයක් වෙන ලුණු  අපේ ශරීරයට වැඩි වුණත් අඩු වුණත් අහිතකර බලපෑම්   ඇති  කරනවා. ඉතින් පොල් සම්බෝලය  රසවත් වෙන්න නම් අනිවාර්යෙන්ම ලුණුත් රස පදමට එකතු කළ යුතුයි.  

දෙහි  හෝ සියඹලා

 සම්බෝලය රසවත් වෙන්නට වගේම  එහි ගුණය වැඩිකර ගන්නටත් එයට ඇඹුල් එකතු කරන්නට ඕන. මේ සඳහා දෙහි එහෙමත් නැත්නම් සියඹලා යුෂ එකතු කරන්නට පුළුවන්. මේවා අපේ ශරීරයේ බර අඩු කරන්නට මේදය  දහනය කරන්නට  සහ ආහාර ජීර්ණය පහසු කරන්නටත් දායක වෙනවා.  

පොල් සම්බෝලයේ  ගුණ සැකෙවින්

ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම  යහපත්ව පවත්වා ගනියි . 

ශරීරයට අවශ්‍ය විටමින් සහ තන්තු ලබා දෙයි. 

වෙනත් ආහාරවලින් ශරීරයට ලැබෙන විටමින් අවශෝෂණය වැඩි කරයි.  

පොල්  සම්බෝලයේ  තෙල්වල දියවෙන විටමින් පවතිනවා.  වෙනත් ආහාරවල ඇති වතුරේ දිය නොවන විටමින් වර්ග තෙල්වල දිය වෙන නිසා පොල් සම්බෝලය ඒ විටමින් වර්ග ශරීරයට උරා ගැනීමට උදව් කරනවා. 

ආහාර රුචිය වඩවයි.  

මළ බද්ධයට ගුණදායකයි.  

මේ කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න 

ගොඩක් වේලුණ පොල් භාවිතා කරන්න එපා. 

සාමාන්‍යයෙන්  පොල් සම්බෝලයක් හදද්දිවේලුණු පොල්  භාවිතා කරන්නේ නැහැ.  මොකද ඒ පොල් වල රසය අඩුයි.  ඒ වගේම මේද ගතිය වැඩියි .  ඒ නිසා සම්බෝලයේ  රස හරියාකාරව ගන්නට බැහැ. නමුත් වේලුණු පොල්වලින් සම්බෝලයක් සාදාගැනීමේදී  එයට සීනි හැඳි බාගයක් විතර දාලා පොල් ටිකත් එක්ක හොඳට අඹරා ගැනීමෙන් වෙනස්ම රසයක් ලබා ගන්න පුළුවන්.  

පොල් සම්බෝලයට රසකාරක එකතු කරන්න එපා.

 එදා වගේම අදත් පොල් සම්බෝලය ලොකු කුඩා හැමෝම අතර ජනප්‍රිය වුණාට එය සකසා ගන්නා ක්‍රමය ගෘහනියගේ කාර්යබහුලත්වයත් එක්ක යම් තරමකට වෙනස් වෙලා තියෙනවා.  ඉතාමත් සරලව ඉක්මනින් සකසා ගන්නට හැකියාව තියෙන පොල් සම්බෝලයට ඇතැම් අය විවිධ ක්ෂණික රසකාරක එකතු කරනවා.  මෙයින් අපේ ශරීරයට පොල්සම්බෝලයෙන්  ලැබෙන ගුණවලට වඩා  අපේ ශරීරයට වන අහිතකර බලපෑම වැඩියි.  ඒ නිසා ඒ කාරණා ගැන ඔබ සැලකිලිමත් වෙන්න. 

පොල්  සම්බෝලය බ්ලෙන්ඩර් කරන්න එපා. 

අද අපේ ගෘහණියන් බොහෝ දෙනෙකුගේ නිවෙස්වල මිරිස් ගලක් වංගෙඩියක් දකින්නට නැහැ නේ.  මෙන්න මේ නිසා බොහෝ ඇඹරුම් කෙටීම් ආදී කටයුතු කරන්නේ බ්ලෙන්ඩර් එක ආධාරයෙන්. පොල් සම්බෝලයේ නියම රසය ගුණය ගන්නට නම් වංගෙඩියකින් කෙටීම හෝ ඇඹරුම් ගලකින් අඹරා ගන්නට ඕන. 

වැඩියෙන් ගුණ රැකෙන විදිහට පොල් සම්බෝලයක් හදමු 

වියලි මිරිස් කරල් 20

පොල් ගෙඩියක  ගාගත් පොල්

 ගම්මිරිස් තේ හැන්දක්

 රතු ළූණු  ගෙඩි මිටක්

සුදු ලූණු බික් දෙකක්

 උම්බලකඩ මිටක්

 ඉදුණු දෙහි ගෙඩියක්

 ලුණු ස්වල්පයක්

 පොල් සම්බෝලය අපිට විවිධ පැහැයෙන් හදාගන්න පුළුවන්. අමුමිරිස් භාවිතා කළොත් සුදු පැහැයෙන් පොල්  සම්බෝලයක් හදා ගන්න පුළුවන්.  වියලි මිරිස් භාවිතා කළොත් රතු හෝ රෝස පැහැති සම්බෝල සාදා ගන්නත්  පුළුවන්.  අපි දැන්  කියන්නේ රතු හෝ රෝස පැහැති සම්බෝලයක් හදා ගන්නේ කොහොමද කියලා. 

 මුලින්ම වියලි මිරිස් කරල් සෝදා පෙගෙන්නට තබන්න.  එයින් මිරිස් කරල් අඹරාගන්නට පහසු වෙනවා.ඒ අතරේ  ඉතිරි කළමනා ලෑස්ති කරගන්න. 

 මිරිස් ගලක අඹරනවා නම් මුලින්ම මිරිස් ගල  පිරිසිදු කර පොඟවා ගත් මිරිස් කරල් ටික වතුර ටික පෙරාගෙන මදක් මිරිකා ලුණු කැට මේස හැන්දක් පමණ දමා හොඳින් අඹරා ගන්න.  එයටම සෝදා ගත් ගම්මිරිස් ද අඹරාගෙන මිරිස් ගුළිය පසෙකින් තියාගන්න. 

 උම්බලකඩ කෑල්ලක් කලින් වතුරේ පොඟවා ගත්තහම අඹරාගන්න ඉතා පහසුයි.  උම්බලකඩ කෑල්ල මදක් අඹරාගෙන මිරිස් ගුලියටම එකතු කර ගන්න.   

 ඉන්පස්සෙ සුදු ලූණු බික් දෙකක් සමඟ රතු ලූණු ටිකත්  හොඳින් අඹරා ගන්න.  ඉන්පසු මේ  මිරිස් ගුලිය තියලා නැවත අඹරා ගන්න.  මේ මිරිස් මිශ්‍රණයට ගාගත් පොල්වලින් කොටසක් දමා අඹරාගෙන ඉතිරි පොල් ටික අඹරා ගන්නේ නැතිව මිරිස් සමඟ කලවම් කරගන්න.  මොකද පොල් සියල්ල දමා ඇඹරූ විට පොල් සම්බෝලය තලපයක ස්වභාවයක් ගන්න නිසා.  ඒ වගේම පොල් සම්බෝලය මිශ්‍ර කර ගන්නට භාවිතා කරන්නට ඕන මැටි භාජනයක්.  අඹරාගත් සම්බෝල ටික  භාජනයට දාලා එයට දෙහි යුෂ අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා ලුණු පදමට එකතු කරලා හොඳින් කලවම් කරන්න.  මේ සම්බෝලයට  දෙහි යුෂ වෙනුවට සියඹලා යුෂ එකතු කළොත් වෙනස්ම රසයක් ලබා ගන්නත් පුළුවන්.  

තවත් අය මේ පොල් සම්බෝලයට කරපිංචා ස්වල්පයකුත් අඹරා ගන්නට අමතක කරන්නේ නැහැ.  එයින් මෙහි ගුණය තවත් වැඩි කරගන්නට පුළුවන් .