ගැබිණි මව්වරුන් නොගත යුතු ආහාර 9 ක්

health tips

මව් පදවිය ලබන්නට සූදානමින් සිටින මවක් තමන්ගේ කුස තුළ වැඩෙන දරුවා වෙනුවෙන් අමතර පෝෂණයක් ශරීරයට ලබාදිය යුතු වෙනවා. ඒ වගේම ගර්භනී මවක් ආහාරයට ගන්නා දේවල් වගේම කරන කියන සිතන පතන දේ පවා දරුවාට බලපානවා. ඒ නිසා දරුවාගේ පෝෂණය පිළිබඳව සිතා ඉතා පෝෂණීය ආහාරවේලක් ලබා ගන්න එක ගර්භනී මවක් විසින් අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා.ඒ වගේම තමයි ගර්භනී කාලයේදී මවක් කෙසේවත් ආහාරයට නොගත යුතු එළවලු පලතුරු ආදී ආහාර රාශියකුත් තියෙනවා. ඒ ආහාර වර්ග අතුරින් සම්පූර්ණයෙන්ම නොගත යුතු ආහාර වගේම අඩු කළ යුතු ආහාරත් සැලකිල්ලෙන් ගත යුතු ආහාරත් ආදී වශයෙන් කාණ්ඩ කරන්නට පුළුවන්. මේ වාරණ ආහාරවලින් ගර්භනී කාලය තුළ ඈත්ව සිටීමෙන් මවගේ වගේම දරුවාගේ සෞඛ්‍යට අහිතකර බලපෑමක් ඇති වන්නේ නැහැ.ඉතින් අපි බලමු  ගර්භනී මවක් නොගත යුතු නුසුදුසු ආහාර මොනවාද කියලා.

නොපිසූ හෝ දුම් ගැසූ මස් මාළු  සාමාන්‍යයෙන් මස් මාළු හොඳින්ම පිස ආහාරයට ගැනීම බැක්ටීරියා ආදී විෂබීජ විනාශයටත්, ජීර්ණය පහසුවීමටත්, රසවත්ව ආහාරයට ගැනීමට හැකියාව ලැබීමත් කියන වාසිදායක තත්ත්වයන් අපිට ලැබෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල මස් මාළු පිසීමකින් තොරව හෝ භාගෙට පිස හෝ දුම් ගසා ආහාරයට ගනු ලබනවා. නමුත් ගර්භනී සමය පසු කරන කෙනෙක් නම් මෙසේ නොපිසූ හෝ දුම් ගසන ලද මස් මාළු ආහාරයට ගැනීම සුදුසු නැහැ.

මේ නොපිසූ හෝ දුම් ගැසූ මස් හෝ මාළුවල සැල්මොනෙල්ලා, ටොක්සො ප්ලාස්මා ,ලිස්තීරියා වැනි බැක්ටීරියා  පැවතිය හැකියි. එබැවින් මේ ආහාර ගර්භනී මවක් ගතහොත් එය කුස තුළ වැඩෙන කළලයට බරපතල හානි ගෙනදිය හැකියි. ඒ වගේම මීට් බෝල්ස්, හැම් බේකන් වගේ කෘතීම ලෙස සකස් කරන ලද ආහාර වර්ග පවා ගර්භනී මවක් විසින් ආහාරයට නොගැනීම දරුවාගේ සෞඛ්‍යයට වඩාත් හිතකරයි.

රසදිය අඩංගු මාළු මාළු ශරීරයේ නිසි පෝෂණය සඳහා වඩා වැදගත් අත්‍යවශ්‍ය පෝෂ්‍යදායි ආහාරයක්. නමුත් ගර්භනී මවක් මාළු ආහාරයට එකතු කර ගැනීමේදී  සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක්ම තියෙනවා. මුහුදේ වැඩි කාලයක් ජීවත් වන බලයා, මෝරා, තලපත්, කකුළුවා, බෙල්ලා, කුම්බලාව, කිංග් මැකරල් වගේ මාළුවල රසදිය අගය ඉතා ඉහළ අගයක් ගන්නට පුළුවන්. නමුත් මුහුදේ කෙටි කාලයක් ජීවත්වන බෝල්ලන්, හාල්මැස්සන්, සාලයන් ආදී මසුන් තුළ ඇති රසදිය මට්ටම ඉතා පහළයි. ඒ නිසා ගර්භනී මවක් වැඩි වශයෙන් බලයා, මෝරා ආදී මාළුන් ආහාරයට ගැනීම හිතකර නැහැ. එමගින් දරුවාගේ මොලය මෙන්ම ස්නායු පද්ධතියේ වර්ධනය අඩාල කරනවා.රසදිය අගය වැඩි මසුන් හඳුනා ගෙන එවැනි මසුන් පරිභෝජනය අවම කිරීමයි ගර්භනී මවකට වඩා සුදුසුයි.

එදා පැරැන්නන් බලයා, කෙලවල්ලා ආදී මාලු වර්ග ඉතා උෂ්ණ මාළුන් විදියටයි සැලකුවේ. ඒ නිසා එවැනි මාළු ගර්භනී මවකට ආහාරයට ගන්නට වැඩිහිටියන් ඉඩ දුන්නේ නැහැ. මේ මාලු වර්ගවල අන්තර්ගත “හිස්ටමින් ” නිසා හිසරදය, සිරුරේ පලු ඇතිවීම, කැසීම වගේම දැවිල්ල වගේ අපහසුතාවයන් ඇතිවෙන්නට තියෙන ඉඩකඩ වැඩි නිසා ඒ මාළුන් ආහාරයට ගැනීමෙන් ගර්භනී මවක් වැළකිය යුතුයි.

විෂබීජ ඉවත් නොකළ කිරි වර්ග පැස්චරීකරණය නොකළ කිරි නැත්නම් විෂබීජ විනාශ නොකළ කිරි වර්ග පානය කිරීම ගර්භනී මවකට සුදුසු නැහැ. විශේෂයෙන් නැවුම් එළකිරි උණු කිරීමෙන් තොරව පානය කිරීමෙන් ලිස්තීරියා වැනි බැක්ටීරියා මගින් කලලය පවා විනාශ විය හැකියි. එබැවින් කිරි හොඳින් නටවා පානය කිරීමට ගර්භනී මවක් වග බලා ගත යුතුයි.

කෝපි පානය  කෝපි (කැෆේන්) පානය කිරීම ගර්භනී මවකට නුසුදුසු නැතිවුණත් කෝපි අධිකව පානය කිරීම ඉතාම අහිතකරයි.ගර්භනී මවක් සාමාන්‍යයයෙන් දිනකට කෝපි මිලිග්‍රෑම් 200 ට වඩා අඩු ප්‍රමාණයක් ගැනීමට වග බලා ගැනීමයි සුදුසු. ඒ ප්‍රමාණය ඉක්මවා කෝපි පානය කිරීමෙන් අඩු බර දරු උපත් ඇතිවිය හැකියි. ඒ වගේම අධික කෝපි පානය ගබ්සා වීම් පවා ඇති කරයි.

ගස්ලබු හා අන්නාසි සාම්ප්‍රදායික මතවාදයන් විදියට පැවතෙන කාරණයක් තමයි මේ ගැට අන්නාසි සහ ගස්ලබු කියන පලතුරු වර්ග ගැනීම ගර්භනී මවකට සුදුසු නොවන වග. නමුත් විද්‍යානුකූලව විමසා බැලුවොත් ගර්භනී අවදියේ මුල් කාලයේදී අන්නාසිවල අන්තර්ගත ප්‍රොස්ටග්ලැන්ඩින් සංයෝගයෙන් ගැබ්ගෙල මෘදු කරන නිසා ඒ ආහාරවලින් වැළකීම කළ යුතුයි. ඒ වගේම නොඉදුණු ගස්ලබු ආහාරයට ගැනීමෙන් පවා වැළකිය යුතුයි. මොකද එයින් නොමේරු දරු උපත් සිදුවිය හැකි නිසා. එබැවින් ගර්භනී මවක් ඉදුණු ගස්ලබු පමණක් ආහාරයට ගන්නට වග බලා ගත යුතුයි.

අමු බිත්තර බිත්තර ඉහළ පෝෂණ ගුණයක් අන්තර්ගත ආහාරයක්. නමුත් නොපිසන ලද බිත්තර ගර්භනී මවකට සුදුසු වෙන්නේ  නැහැ. මොකද නොපිසන ලද බිත්තර පහසුවෙන්ම බැක්ටීරියා ආසාදනවලට ලක්විය හැකි නිසා. එවිට ගර්භනී මවට විවිධ ආසාදන ඇතිවීමේ ඉහළ අවදානමක් පවතිනවා. එබැවින් ගර්භනී මවක් නොපිසන ලද හෝ අඩක් තැම්බූ බිත්තර ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම කේක්, මිශ්‍රණ සැකසීමේ දී බැටරය අමුවෙන් රස බැලීමෙන් පවා වැළකිය යුතුයි.

දිය වූ අයිස්ක්‍රීම් – අයිස්ක්‍රීම් ආහාරයට ගැනීමේදී නියමිත පරිදි අධි ශීතකරණයක තැබූ අයිස්ක්‍රීම් ආහාර ගැනීමයි සෞඛ්‍යාරක්ෂිත වන්නේ. දිය වූ ස්වභාවයක් සහිත හෝ දියවී නැවත ශීත වූ අයිස්ක්‍රීම් පවතී නම් එවැනි ආහාර ගර්භනී මවකට නුසුදුසුයි.

 ටොෆි චොක්ලට් ආදී සීනි අධික ආහාර වර්ග අධික ලෙස සීනි අඩංගු ආහාර ගැනීම දියවැඩියා තත්ත්වයන් ඇති කරන්නට හේතු වෙනවා. ගර්භනී සමයේදී දියවැඩියා තත්ත්වයක් ඇතිවුණොත් එය කුස තුළ වැඩෙන දරුවාටත් විශාල බලපෑමක් ඇති කරනවා. පලතුරු, කිතුල් හකුරු ආදිය වුණත් අවශ්‍ය ප්‍රමාණයට  පමණක් ලබා ගන්නට ගර්භනී මවක් කටයුතු කළ යුතුයි.

තෙල් අධික ආහාර සීනි වගේම මේදය අධික ආහාරත් ගර්භනී මවකට සුදුසු වන්නේ නැහැ. ශක්තිජනක ආහාර පමණට වඩා පරිභෝජනයට ගැනීමෙන් ඒ ශක්තිය මේදය බවට පත්ව ශරීරයේ ගබඩා කර ගන්නවා. මොකද එදිනෙදා කටයුතුවලදී එය භාවිතා නොවන නිසා. මේදය අධික ආහාර ලබා ගන්නා විට ලැබෙන අධික කැලරි ප්‍රමාණයත් මේදය වශයෙන්ම තැන්පත් වෙනවා.මෙයින් ස්ථූලතාවය ඇති කරන අතර හෘද රෝග ඇති කරන්නටත් එය හේතුවක්. මේදය අධික බටර්, බදින ලද අල, පුඩිම්, කේක් වැනි ආහාර ගැනීමෙන් වැළකීම ගර්භනී මවකට වඩාත් සුදුසුයි. නමුත් අත්‍යවශ්‍ය මේදය ශරීරයේ පැවැත්මට අවශ්‍යයි. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. 

දරුවාගේ වගේම මවගෙත් ආරක්ෂාව පිළිබඳව සිතා ආහාර ලබා ගැනීමට ගර්භනී මව සැලකිලිමත් විය යුතුයි. ඒ අනුව ඉහත සඳහන් කළ ආහාර වර්ගවලින් වැළකී සිටිමින් හැකිතාක් නිවසේ පිසූ ගුණාත්මක ආහාර වේලක් ලබා ගන්නට උත්සාහ කිරීමයි වඩා වැදගත්.