හිසකෙස් ගැලවී යාමට විවිධ හේතු බලපානවා. ඒ අතරින් එක් හේතුවක් තමයි දරු ප්‍රසූතියෙන් පසුව මව්වරුන්ගේ හිසකෙස් ගැලවී යාම. ගර්භනී කාලය තුල ඇතිවන ස්ට්‍රෙච් මාක්ස්, බෙල්ල කිහිලි කලු වීම, තරබාරු බව ආදී කාරණා ගැන වැඩි වශයෙන් කතා කළත් දරු ප්‍රසූතියෙන් පසුව මව්වරුන් මුහුණ දෙන මේ ගැටලුව පිළිබඳව එතරම් කතාබහට ලක් වෙන්නේ නැහැ. නමුත් සෑම මවක්ම මේ පීඩාකාරී ගැටලුව අත්විදිනවා. ඉතින් අපි අද කතා කරමු මේ සඳහා අපිට කළ හැකි පිළියම් ගැන.
මෙසේ හිසකෙස් අධිකව ගැලවී යාම ඔබේ පෙනුමට විශාල හානියක්. මේ නිසා කාන්තා ඔබත් දුක් වෙනවා නම් ඒ සඳහා පිළියම් කිහිපයක්ම තියෙනවා . සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පසුව ශරීරයේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම් පහත බසිනවා. ඒ කාරණය තමයි මෙසේ හිසකෙස් ගැලවී යන්නට මූලිකම හේතුව වෙන්නේ.
පශ්චාත් ප්‍රසව අවධිය විදිහට හඳුනාගන්නා මේ කාලය තුළ කාන්තා ඔබ දරුවාගේ කටයුතුත් එක්ක කොහොමත් කාර්යබහුලයි. මේ කාලයේදී හිසකෙස් ගැලවී යාම ඉතා සෙමින් ආරම්භ වෙලා ක්‍රමයෙන් වැඩි වෙනවා.
සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට කොණ්ඩ ගස් 100 ක් පමණ අහිමි වුණත් පශ්චාත් ප්‍රසව අවධියේ දී කොණ්ඩ ගස් හාරසියයක් පමණ අහිමි වීමේ හැකියාව තියෙනවා.කොණ්ඩය පීරන පනාවේ නාන කාමරයේ ගැලවිලා යන හිසකෙස් ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා මේ කාලයේදී. නමුත් මෙහිදී ඔබ වටහාගත යුතු කාරණාව තමයි මෙය සාමාන්‍ය ස්වභාවික ක්‍රියාවලියක් කියන කාරණාව . විශේෂයෙන්ම දරු ප්‍රසූතියෙන් මාස තුනකට පමණ පසුව හිස්කෙස් වැටීම වැඩි වෙන බව බොහෝ කාන්තාවන් දැනුවත් නැහැ. ඒ නිසා මේ කාලය තුළදී ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වීම වගේම හිසකෙස් සඳහා වැඩි අවධානයක් ලබා දෙමින් ඒ සඳහා සත්කාර කිරීමත් ඉතාම වැදගත්.
පශ්චාත් ප්‍රසව අවධියේදී කාන්තා ඔබ සැලකිලිමත් විය යුතු පෝෂණ සංඝටක
යකඩ
සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පසුව කාන්තාවන්ගෙන් සැලකිය යුතු පිරිසක් පිරිසක් රක්තහීනතාවෙන් පෙළෙන බව අනාවරණය කරගෙන තියෙනවා. සාමාන්‍ය දරු ප්‍රසූතියෙන් සති එකකට පසුව කාන්තාවන්ගෙන් 26% ක් යකඩ ඌනතාවයෙන් පෙළෙන බවයි සොයාගෙන ඇත්තේ.
ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය නොලැබීම සෛල වර්ධනයට සහ අලුත්වැඩියාව කිරීමට බාධාවක්. සෛල කරා ඔක්සිජන් රැගෙන යාමට තරම් හිමොග්ලොබින් නිපදවන්නට අපහසුවක් වෙන නිසා ගර්භණී සමයේදී වගේම දරු ප්‍රසූතියෙන් පසුවත් යකඩ ශරීරයට නිසි පරිදි ලබා ගැනීමට ඔබ උනන්දු විය යුතුයි. කොළ පැහැති එළවළු, රනිල කුලයේ ආහාර ,වට්ටක්කා, චියා ඇට, පරිප්පු ,ටෝෆු, කුකුල් මස්,බෙල්ලන් ආදී ආහාර අනුභව කිරීමෙන් මේ යකඩ ප්‍රමාණය ඉතා පහසුවෙන් ඔබට ලබා ගන්නට පුළුවන්.
ඔමේගා 3 මේද අම්ල
ඔමේගා ත්‍රී මේද අම්ල ශරීරයේ අත්‍යවශ්‍ය කාර්යභාරයන් රාශියකටම දායකත්වය ලබා දෙනවා. රුධිර සංසරණය කාර්යක්ෂම කිරීම, හිස් කබලේ තෙතමනය ආරක්ෂා කිරීම සහ හිසකෙස් පෝෂණය ඇතුළු කාර්යභාරයන් රාශියක් සඳහා ඔමේගා ත්‍රී මේද අම්ල අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසාවෙන් දරු ප්‍රසූතියෙන් පසුව ඔබේ ශරීරයට අවශ්‍ය කරන ඔමේගා ත්‍රී ප්‍රමාණය නිසි පරිදි සපයන්නට උනන්දු විය යුතුයි. මේ සඳහා ඔබට ඔමේගා ත්‍රී මේද අම්ල බහුල මාලු වර්ග පරිභෝජනය කරන්නට පුළුවන්. සැමන්, මැකරල්, හුරුල්ලන්, බෙල්ලන් වගේම කජු, රටකජු, ආමන්ඩ්, චියා ඇට වෙනත් මුහුදු පැලෑටි, සෝයා බෝංචි, නිවිති, බිත්තර ආදියෙන් ඔබට ඉතා පහසුවෙන් ඔමේගා ත්‍රී ශරීරයට ලබා ගන්නට පුළුවන්.
විටමින් බී6 සහ බී12
ගැලවී ගිය හිසකෙස් නැවත වර්ධනය කරගන්නට අවශ්‍ය වන විටමිනයක් විදිහට විටමින් B හඳුන්වන්නට පුළුවන්. ශරීරය පුරා පෝෂය පදාර්ථ සහ ඔක්සිජන් රැගෙන යාමටත් විටමින් ඩී සහ විටමින් බී උදව් වෙනවා. ඒ නිසා විටමින් b අඩංගු වෙන ආහාර ආහාරයට එකතු කරගැනීම වගේම බයෝටීන් අඩංගු ෂැම්පු භාවිතා කිරීමත් ඉතාම වැදගත්..
විටමින් සී සහ ඊ
දරු ප්‍රසූතියෙන් පසුව හිස කෙස් ගැලවී යාමට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රවීනයන් නිර්දේශ කරන තවත් විටමින් වර්ගයක් ලෙස විටමින් සී හඳුන්වන්නට පුළුවන්. මේ ප්‍රතිකාරක ක්‍රියාවලිය කෙස්කලබ ආරක්ෂා කර හිස කෙස් වර්ධනය උත්තේජනය කරනවා. ඊට අමතරව පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිජන් හිස් කබලට යාමට උදව් කරනවා. ඒ නිසා විටමින් සී ශරීරයට ප්‍රමාණවත් පරිදි ලබා ගැනීමත් මේ අවස්ථාවේ දී ඉතා වැදගත්.
ඒ වගේම විටමින් ඊ හිසකෙස් ගැලවී යාමට එරෙහිව කටයුතු කරන්නට උදව් වෙනවා. විටමින් ඊ ශරීරය පුරා සෛලවලට රුධිරය ප්‍රවර්ධනය හොඳින් සිදු කරන්නට උදව් කරන නිසා හිසට සහ හිසකෙස්වලට අවශ්‍ය කරන පෝෂය පදාර්ථ සහ ඔක්සිජන් අඛණ්ඩව ලබා දීමට උදව් කරනවා .
අලිගැටපේර හෙයා මාස්ක්
ගැලවී යන හිසකෙස් නැවත වර්ධනයට කිරීම සඳහා හිස්කබල නිරෝගී කිරීම අතිශයින්ම වැදගත්. හිස් කබලේ නිරෝගීව පැවතීම අලුත් හිසකෙස් වර්ධනයට දිරිගැන්වීමක් කරනවා. ඒ නිසා හිසකෙස් සඳහා hair mask භාවිතා කරන එක හරිම වැදගත්. ඒ සඳහා මේ අලිගැටපේර හෙයා මාස්ක් එක ඔබට ඉතාම වැදගත් වේවි.

බිත්තර එකක්
අලිගැටපේර
යෝගට් හැඳි 4 ක්
ඔලිව් තෙල් තේ හැඳි 2 ක්
කෝමාරිකා යුෂ තේ හැඳි 2 ක්
මී පැණි තේ හැඳි 2 ක්
මුලින්ම අලිගැටපේර ගෙඩියේ පොත්ත වගේම ඇට ඉවත් කර ගෙන මද ටික හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. මේ අලිගැටපේර මිශ්‍රණයට බිත්තරයක් කඩලා දාලා හොඳින් මිශ්‍ර කරගන්න. මේ ද්‍රව්‍ය දෙකම හොඳින්ම මිශ්‍ර වුණාට පස්සේ අනෙකුත් අමුද්‍රව්‍ය ටිකත් එකතු කරලා පේස්ට් එකක් වගේ හදාගන්න.
නෑමට පැයකට කලින් මේ මිශ්‍රණය හිස් කබලේ වගේම හිස්කෙස් අග දක්වාම හොඳින් ආලේප කර ගන්න. වඩාත් හොඳ ප්‍රතිඵල ගන්නට නම් ඔබට shower cap එකකින් හොඳින් හිස ආවරණය කරගන්න පුළුවන්. මේක පැයක පමණ කාලයක් තියෙන්නට හැරලා සැර අඩු මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කර සෝදා හරින්න.
ඉඟුරු පොල්තෙල්

ඉඟුරු කෑල්ලක් සිහින්ව කපාගෙන නැත්නම් ග්‍රේට් කරගෙන එහි යුෂ පෙරා ගන්න. මදක් උණුසුම් කරන ලද පොල්තෙල් සමඟ ඉඟුරු යුෂ හොඳින් කලවම් කරගෙන ඔබේ හිස් කබලේ ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. ටික වෙලාවක් තිබෙන්නට හැර සෝදා හරින්න. හොඳ ප්‍රතිපල ලබා ගන්නට නම් සතියකට වරක් දෙවරක් නැවත නැවත මේ සත්කාරය සිදු කරන්න.