අපි හැමෝම වයසට යනවා .මොකද එය අපි හැමෝටම අත්විදින්නට සිදුවෙන ස්වභාවික ක්‍රියාවලියක්. ඒ නිසා එය අපිට නතර කරන්නට බැහැ. නමුත් ඔබ දැක ඇති වයස්ගත වුණත් තරුණ පෙනුමක් ඇති සමහර පුද්ගලයන්. ඉතින් වයස්ගතවීම පාලනය කරන තරුණ පෙනුම හැමදාමත් රැක ගන්නට අපිට පුළුවන්ද. ඒ වෙනුවෙන් අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද. ඉතින් අද අපි කතා කරන්න සූදනම් වෙන්නේ ඒ පිළිබඳව.
- වැඩිපුර ජලය පානය කරන්න.අපේ ශරීරයේ නීරෝගී පැවැත්මට අත්‍යවශ්‍යම දෙයක් තමයි ජලය. තරුණ වෙන්න ලස්සන වෙන්නත් වයසට යාම පාලනයටත් ප්‍රමාණවත් තරම් ජලය අපේ ශරීරයට අවශ්‍ය කරනවා. සාමාන්‍යයෙන් දිනකට වතුර වීදුරු 8-10 ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නමුත් දිනකට ඕන කරන ජලය ප්‍රමාණය පානය නොකරන අයගේ සම ඉතාම ඉක්මනින් වයසට යනවා. නමුත් සිරුර සජලව පවතින අයෙකු වයසට යන්නේ ඉතාමත් සෙමින්.

- සන් ක්‍රීම් ආලේප කරන්න.අපේ රට ඝර්ම කලාපීය රටක් නිසාවෙන් වසර පුරාම හිරු එළිය ලැබෙනවා. නමුත් දවස් ගාණේ හිරු එලියට නිරාවරණය වීම කියන්නේ නම් අපේ සමට එතරම් හොඳ දෙයක් නම් නෙවෙයි. හිරු එළියට නිතර නිරාවරණය වෙද්දි සම අවපැහැ ගැන්වීම වගේම සම රැලි වැටීමත් වේගවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමේ පිළිකා තත්ත්වයන් පවා ඇතිවෙනවා. අපේ රටේ බොහෝදෙනෙක් හිරු එළියට යද්දි එය අපේ සමට ඇති කරන බලපෑම ගැන එතරම් සිතන්නේ නැහැ. විශේෂයෙන්ම තරුණ කාලයේ දී නිතර අව්වට නිරාවරණය වීමෙන් වයස්ගත වෙද්දි සම රැළි වැටී ඉතා ඉක්මනින් වියපත් පෙනුමක් අපිට ලැබෙනවා.ඒ නිසා සම වයසට යාම පාලනය කරගෙන තරුණ පෙනුම රැක ගන්නට නම් ඔබ හිරු එළියට නිරාවරණය වන සෑම අවස්ථාවකම සන් ක්‍රීම් එකක් ආලේප කළ යුතු වෙනවා.සන් ක්‍රීම් එකක් මිලදී ගැනීමේ එහි SPF අගය 30 හෝ 30 ට වැඩි අගයක් ඇති ආලේපනයක් මිලට ගන්නට මතක තබා ගන්න. එය අහිතකර UV කිරණ 97% කින් ආරක්ෂා වෙන්නට පුළුවන්.
- අව් කණ්ණාඩි භාවිතා කරන්න. අද බොහෝදෙනෙක්ට විලාසිතාවක් වුණත් අව් කණ්ණාඩි කියන්නේ අහිතකර පාරජම්බුල කිරණින් අපේ ඇස් ආරක්ෂා කර ගන්නට භාවිතා කළ හැකි උපකරණයක්. මෙය පැළදීමෙන් ඇස් අවට ප්‍රදේශයේ සම රැළි වැටීම අවපැහැ ගැන්වීම ආදිය සිදු වෙන්නේ නැහැ. නමුත් අව් කණ්ණාඩි මිලදී ගැනීමේදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබා ගැනීමට කටයුතු කරන්න.
- මොයිස්චරයිසර ආලේපනයක් භාවිතා කරන්න.සමේ තෙතමනය ආරක්ෂා කරගන්නට සමේ ඇති අවලස්සන පැල්ලම් මකා ගන්නට මොයිස්චරයිසර ආලේපනයක් භාවිතා කිරීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් වයස අවුරුදු 25 සිට 30 දක්වා කාලයේදීවත් මුහුණේ වගේම අත් පා වලත් මොයිස්චරයිසර් ආලේපනයක් ගලවන්නට පටන් ගත යුතුයි. එය සමේ රැළි ඇතිවීම අඩුකර වයසට යාමත් පමා කරන්නට උපකාරී වෙනවා.
- සුවදායි නින්දක් ලබා ගැනීම සුවදායි නින්දක් ලබා ගැනීම කියන්නේ පැය 7-8 ක නින්දක් අඛණ්ඩව ලබා ගැනීම, ප්‍රමාණවත් නින්දක් කියන්නේ අපේ සමට වගේම සිරුරේ සෑම පද්ධතියකම නිසි ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍යම දෙයක්. විශේෂයෙන්ම සමේ සෛල අලුත්වැඩියාව, කොලජන් නිෂ්පාදනය, සමේ සජලතාවය සහ තුවාල සුවවීමේ වේගය ආදී සියල්ල වැඩි දියුණු වීම සුවදායි නින්දකදී සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට කොතරම් වයසට ගියත් පෙනුම තරුණ විදියට තබා ගන්නට හැකියාව ලැබෙනවා. ප්‍රමාණවත් නින්දක් නොගැනීම මගින් අපේ සම ඉතා ඉක්මනින් වියළී රැළි වැටීමට ලක් වෙනවා.
- ව්‍යායාම් කිරීම සෞඛ්‍ය සම්පන්නව සහ තරුණ පෙනුමක් සඳහා බොහෝදෙනෙක් නොවරදවාම අනුගමනය කරන ක්‍රමයක් තමයි ව්‍යායාම්වල නිරතවීම. තරුණ කාලයේ සිටම මේ ව්‍යායාම් කිරීමට පුරුදුවීම නීරෝගීව ජීවත් වෙන්නත් ඉතාම වැදගත්. ව්‍යායාම් කිරීමේදී සිරුරේ සෑම සෛලයක් වෙතටම ඉතා හොඳ රුධිර සැපයුමක් ලැබෙනවා.ඒ නිසා ඔක්සිජන් වගේම අනෙකුත් පෝෂකත් ඉතා හොඳින්ම ඒ සෛලවලට ලැබෙනවා. සම මත සීබම් නිෂ්පාදනය වැඩි කර, සමේ තෙතමනය නිසිපරිදි පවත්වා ගන්නත් විෂ ඉවත් කරන්නත් උපකාරී වෙනවා.මේ නිසා සමේ සෞඛ්‍ය වැඩිදියුණු වෙලා තරුණ පෙනුමක් ලබා ගන්නට පුළුවන්.

- තරුණ බව රකින සම තිරිහන් කරන ආහාර ගන්න සම තරුණ බවට පත් කරන්නට උපකාරී වෙන ආහාර අතර පිරිසිදු ඔලිව් තෙල්, ග්‍රීන් ටී, ඩාර්ක් චොක්ලයිට්, කැරට්, බතල, තක්කාලි, තද කොළ පැහැ එළවලු වර්ග සහ පලා වර්ග, බෙල් පෙපර්, හණ ඇට, දෙළුම්, අලිගැට පේර , ගස්ලබු, මේදමය මාළු, නෙල්ලි, යෝගට් සහ මුදවපු කිරි,දොඩම් ඇට වර්ග ආදී ආහාර වැදගත් වෙනවා. ඒ නිසා මේ ආහාර නිතරම ආහාරවේලට එකතු කර ගැනීම මගින් තරුණ පෙනුම බොහෝ කාලයක් තබා ගන්නට හැකියාව ලැබෙනවා.
- මානසික ආතතිය අවම කර ගන්න ආතතියෙන් සිටින විට සම මත දද කුරුලෑ ආදිය ඇති කර දුර්වල ස්ථරයක් බවට පත් කරනවා. ඒ නිසා නිතරම ආතතියෙන් සිටින අයෙකුගේ සම ඉතා ඉක්මනින් වයස්ගත වෙන්නට පුළුවන්.
- සීනි ගැනීම අඩු කරන්න සිරුරට සීනි අධිකව ලැබුණු පසුව ඒවා ශරීරය තුළදී අපේ සම නිර්මාණය වෙලා ඇති කොලජන් ප්‍රෝටීන් සමඟ ගැටී ඒවා බිඳ දැමීම් සිදු කරනවා. සීනි ඒ කොලජන් ප්‍රෝටීන් දුර්වල කර සමේ ඇදෙන සුළු බව සහ ශක්තිමත් බව නැතිකරනවා. මේ නිසා ඉක්මනින් සම එල්ලා වැටීම සිදු වෙන්නට සීනි ගැනීම බලපෑම් කරනවා.
- දුම්පානය නතර කරන්න. මෙය සමේ කොලජන් නිෂ්පාදනය අඩු කරන්නට හේතු වෙනවා ඒ වගේම සමේ ඇදෙන සුළුභාවය අඩුවෙලා සම ඉක්මනින් එල්ලා වැටෙන්න පටන් ගන්නවා.සමේ සෛල වෙත ඔක්සිජන් ඇතුළු පෝෂක නොලැබීමත් නිසා සම ඉක්මනින් රැළි වැටී දුර්වර්ණ වෙනවා.
- පෝෂණ අතිරේක භාවිතය වයස්ගත වෙද්දි ශරීරයේ එතෙක් නිෂ්පාදනය වුණු බොහෝ පෝෂකවල නිෂ්පාදනය අඩුවෙනවා. සමේ ඇදෙන සුළු බව සහ ශක්තිමත් බව ආරක්ෂා කරන පෝෂක වර්ග වයස්ගත වීමත් සමඟ කෘතීමව අපිට ලබා ගන්නට සිදු වෙනවා.ඒ නිසා සම ඉක්මනින් වියපත්වීම පාලනය කර ගන්නට හැකියාව ලැබෙනවා.
- සතුටින් කාලය ගත කරන්න.
- ස්වභාවික සත්කාර භාවිතා කරමින් සම රැක ගන්නට උනන්දු වෙන්න.
රාත්‍රියේ නින්දට යාමට පෙර ඔලිව් තෙල් සමේ ගල්වා සම්බාහනය කිරීමත් යෝගට්, අලිගැටපේර, ගස්ලබු, කඩල පිටි පැක් ආදිය භාවිතා කිරීමත් මගින් ඔබටත් ඔබේ තරුණ පෙනුම බොහෝ කාලයක් පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා.