වයස 20ක් උනත් 30 වගේ වයසක පෙනුමක් පෙනවානම් හෙට ඉදන් උදෑසනට පානය කර යුතු දේවල් 10 ක්

health tips

අපේ ජීවිතයට පෝෂණ ගුණයෙන් හීන කිරි කිරිපිටි අත්‍යවශ්‍යම ද? එදා අපේ පැරැන්නන්  උදේ සවස පානය කළ ඔසු පැන් ද අපිට අකැප ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු අපි දන්නවා වුණත් ඒවා ගැන විශේෂ උනන්දුවක්  අපේ රටේ ජනතාව තුළ නැහැ. නමුත් අපේ හෙළදිව පරපුරෙන් පරපුරට ලැබුණු වෙදහෙදකම්, බුදු දහමෙන් පෝෂණය වුණු සංස්කෘතික රටාව සහ ගොවිතැන මූලික කරගත් ජීවන රටාවක් ගත කළ නිසාවෙන් ඔවුන් ඉතා නීරෝගීව දීර්ඝ කාලයක් ජීවත් වුණා. ඔවුන්ට ලෙඩක් දුකක් වැළදුණේ ඉතාම කලාතුරකින්. ඔවුන්ගේ ආහාර පාන රටාව තුළ අල වර්ග, ධාන්‍ය වර්ග වගේම දේශීය ඔසු භාවිතයෙන් සකසා ගත්  පානයන් වර්ග විශේෂ ස්ථානයක් හිමිකරගත්තා. 

උදෑසන හේනට කුඹුරට යන්නට පෙර, වැඩ කටයුතු කරන අතරතුර වගේම වැඩ කටයුතු අවසාන වූ විටත් ඔවුන් මෙවැනි ඔසු පානයන් ලබා ගත්තා. එමගින් දේහයට අවශ්‍ය කරන විටමින් වර්ග, ක්ෂුද්‍ර  පෝෂක ඇතුළු සියලුම පෝෂණ කොටස් ලබා ගනිමින් ඔවුන්ගේ දේහයට රෝගවලින් ආරක්ෂාව සලසා ගත්තා. ලෙඩවලට ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කරගත්තා. නමුත් ජාතියේ අවාසනාවට අපිට බටහිරින් ලැබුණු කිරි පිටි, තේ කෝපි සහ මත්ද්‍රව්‍ය ආදිය අද බොහෝදෙනෙකුගේම ජනප්‍රිය පානයන් බවට පත්වෙලා. නමුත් අද අසන්නට ලැබෙන නොයෙකුත් භයානක ලෙඩරෝග හමුවේ සැලකිය යුතු පිරිසක් නැවතත් දේශීය හෙළ පානයන් පිළිබඳව උනන්දුවෙමින් ඒවාට නැඹුරුවීමක් දැකගන්නට ලැබීම සතුටට කාරණයක්. අද අපි කියන්නට සූදානම් වෙන්නේ එවැනි පානයන් අතුරින්  වයසට යාම වළකනා දීර්ඝායුෂ ලබාදෙන අපූරු පානයන් කිහිපයක්  පිළිබඳව.

වැල් පෙනෙල කාන්තා සහ පුරුෂ යන දෙපාර්ශවයේම ශරීර ශක්තිය වැඩි කරන්නට දායක වෙන වැල් පෙනෙල ඉතා පහසුවෙන් හඳුනා ගත හැකි වැල් වර්ගයක්. තරුණ කාලයේ ශරීරයට තිබුණු ශක්තිය ජවය අඩුවී යන බව හැඟෙන්නේ නම් වැල් පෙනෙල කැඳ සාදා පානයට ගැනීම ඉතා වැදගත්. දේශීය සහල් වර්ගයක් ගෙන කබලේ බැද තම්බා පොල් කිරි ද එකතු කර රසවත්ව මේ වැල් පෙනෙල කැඳ සකස් කරගන්නට පුළුවන්. ධාතු වර්ධනය කරන වැල් පෙනෙල ශරීරයෙන් වයසට ගියත් ශක්තිමත්ව ජවසම්පන්නව දිවි ගෙවන්න දිව ඔසුවක්.

ඉරමුසු බිම දිගේ වැල් වශයෙන් වැඩෙන ඉරමුසු දේශීය පානයන්  අතර කැපී පෙනෙනවා. ලෙඩ රෝග බොහොමයකටම ගුණදෙන මේ ඉරමුසු සම්පූර්ණ පැලෑටියම ගලවා තරමක කෑලිවලට කපා වියළා අවශ්‍ය විට තම්බා පානය කරන්නට පුළුවන්. ඒ වගේම මෙය තේ මෙන් කිතුල් හකුරු සමඟ පානය කළ හැකියි. අවශ්‍ය නම් පමණක් කස ඇට හා සීනී එකතු කර ගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේමයි ඉරමුසු නැටි හොඳින් තලා උළුහාල් හා සූදුරු එකතු කර තම්බා මද රස්නයෙන් පානය කිරීම ඉතාම ගුණදායකයි.

උණුසුම්ව පානය කිරීම වඩාත් සුදුසු වුණත් සිසිල් වූ පසු දවසේ ඕනෑම වේලාවක් තුළත් පානයට ගන්නට සුදුසුයි. ඉරමුසු අපි ගන්නා ආහාරවල ජීර්ණය උත්තේජනය කරන හොඳ උත්තේජකයක්. දේහයේ උෂ්ණය අඩුකර රුධිරය  පිරිසිදු කරන්නත්, සම රැළි වැටීමට හේතුවන මුක්ත ඛණ්ඩක විනාශ කරන්නත් මේ ඉරමුසුවලට හැකියාව තියෙනවා.

රණවරා ඈත අතීතයේදී සම රන්වන් පැහැයකට හරවන අපූරු ඔසුවක් ලෙසයි රණවරා ජනප්‍රියව තිබුණේ.මේ රණවරා කොළ වගේම මල් පවා තම්බා පානයට කිරීම සුදුසු වෙනවා. රණවරා කොළ සහ මල් පවනේ වියළා තම්බා පානය කිරීම හෝ කුඩු වශයෙන් සකසා තබා පානය කිරීමටත් හැකියි. දිනපතා රණවරා පානය කිරීම මගින් සති දෙකක වගේ කාලයක් තුළ සමේ පැහැදිලි වෙනසක් ඔබටම දැක ගන්නට ලැබේවි. කුරුළෑ, අළුහම්,  ඉස්සොරි ආදී සමේ ගැටළු නිසා ඇතිවන  අවලස්සන වීම මෙමගින් දුරු කෙරෙනවා. ඒ නිසා හැමදාම තරුණව සිටින්නට දිනපතාම රණවරා පානය කළ යුතුයි.

බෙලිමල් බෙලි ගසේ කොළ, මල්, පොතු ආදී සෑම දෙයක්ම ඖෂධීය ගුණයෙන් ඉතාම ඉහළයි. බෙලි මල් පානය රසවත් වගේම ගුණයෙනුත් ඉතාම ඉහළ බව ඔබ දන්නවා. බෙලි මල් වියළා තම්බා ගැනීමෙන් සහ බෙලි කොළ හොඳින් කොටා වරු 3 ක් කහට පිපෙන්නට තබා තම්බා ගැනීමෙනුත්  ඉතාම ගුණදායක පානයන් දෙකක්  සාදා ගන්නට පුළුවන්. බෙලිමල් මගින් අක්මාවේ ක්‍රියාකාරිත්වය යාමනය කරමින් අක්මාවේ විෂහරණය කරනවා. ඒ වගේම අක්මාවේ මේදය තැන්පත්වීම වළකන අතර බෙලිකොළ දේහයේ පරිවෘත්තීය ක්‍රියාවලීන් වේගවත් කරමින් දේහයට ශක්තිය ලබා දෙන්නට දායක වෙනවා. වයස්ගත වෙද්දි අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම මන්දගාමී වෙන නිසා  කාලයක්  ගතවනතුරු කාර්යක්ෂම නීරෝගී දිවියක් සඳහා බෙලි මල් සහ බෙලි කොළ පානය අතිශයින්ම වැදගත්.

ගොටුකොළ කොළ කැඳ සෑදීමේදී වගේම ආහාරවේලේ රසවත් ගුණවත් පලාවක් ලෙසත් අපි හැමෝම සුලබව භාවිතයට ගන්නා  ගොටුකොළ අපේ දේහයේ නීරෝගී බව වෙනුවෙන් ඉටු කරන්නේ අමිල මෙහෙයක්. ගොටුකොළ ප්‍රභේද අතුරින් කුඩා  කොළයක් සහිත වෙද ගොටුකොළ තෝරා ගැනීම වැඩි ගුණයක් ලබා ගන්නට උදව් වෙනවා. බුද්ධිය වර්ධනය  කරන, මතක ශක්තිය දියුණු කරන ගොටුකොළ කාංසාව,  විශාදය සහ වයසට යාම පාලනයටත් කදිමයි.ඒ වගේම වයස්ගතවීමත් සමඟ ඇතිවන ඇල්ෂයිමර් රෝගයෙන් ආරක්ෂා වෙන්නත් ගොටුකොළ සතු හැකියාව විස්මිතයි. 

හාතාවාරිය මේ ශාකයේ ඇති දිගු සිහින් කොළ කොටා එයට පොල් කිරි ආදිය එකතු කර සාදා ගන්නා කොළ කැඳ බොහෝදෙනෙක් ඉතා කැමැත්තෙන්ම පානයට ගන්නවා. හාතාවාරියවල අපේ දේහයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර  පෝෂක බොහොමයක්ම අඩංගු වෙන ඔසුවක්. ප්‍රධාන වශයෙන් පොටෑසියම්, මැග්නීසියම් ඉහළ සාන්ද්‍රණයකින් යුත් මෙහි  කොපර්, සින්ක්, යකඩ  හා සෙලේනියම් අංශු මාත්‍රයකිනුත් අඩංගු වෙනවා. දේහයේ වැදගත් ක්‍රියාවලීන් රාශියකට ඕන කරන හෝර්මෝන ප්‍රෝටීන් ආදිය සංස්ලේෂණය සඳහා මේ මූලද්‍රව්‍ය අතිශයින්ම වැදගත්.ප්‍රතිශක්තිය වර්ධනය කරන නිසා දිනපතාම හාතාවාරිය කැඳ පානය කරන අයෙක්ට නම් කිසිම ලෙඩක් දුකක් වැළදෙන්නේ නම් නැහැ. 

නෙල්ලි නෙල්ලි හෙවත් අම්ල කියන්නේ මුළු ලෝකයම දන්නා මහඟු ඔසුවක්.  ඇට ඉවත් කරගෙන මදය බ්ලෙන්ඩර් කර ගැනීමෙන් රසවත් නෙල්ලි පානයක් සකසා ගන්නට පුළුවන්. නෙල්ලි මගින් සමේ පැහැය රැකීම, හිසකෙස් ප්‍රකෘතිමත් කිරීම, විශේෂයෙන්ම හිසකෙස් සුදුවීම ගැලවී යාම වගේම සමේ අඳුරු ලප කැලැල් පවා ඉවත් කරනු ලබනවා. නෙල්ලි සතු  ඖෂධීය ගුණ අතුරින් ඒ සඳහන් කළේ කිහිපයක් පමණයි.

මේ පානයන් හැරුණාම රසකිද, පොල්පලා සහ කරපිංචා කියන්නෙත් නිතර අපිට පානයට ගත හැකි ඔසු පැලෑටි. මේ පානයන් දිනපතාම හෝ සතියකට වාර කිහිපයක් කිරි පිටි, තේ  වෙනුවට පානය කිරීමෙන් වයසට යාමත් සමඟ ඇතිවන සමේ රැළි වැටීම්, අඳුරු ලප කැලැල්, මතකයේ ගැටළු, අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ දුබලතා ආදී සියල්ලම වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා. එමගින් ඔබට දිගාසිරි ලබන්නට වාසනාව හිමි වෙනවා නිසැකයෙන්ම.