මවක් වීමට සිටින කාන්තා ඔබ කොතරම් සූදානමකින් පසු වුණත් ගර්භණී කාලය යනු අනපේක්ෂිත ශාරීරික හා මානසික වෙනස්කම් රැසක් ඇතිවන කාල සීමාවකි. ගර්භණී කාලයේදී මාස 9 ක් පුරාවට තම දරුවා කුස තුල දරාගෙන ඇය ගතකරන්නේ ඉතා සැපපහසු ජිවිතයක් නම් නොවෙයි. මේ කාලයේදී කාන්තාවක් දැඩි කායික වේදනා හා පීඩාවන්ට ගොදුරුවෙන අතර චිත්තාවේගීය වශයෙන් ද විවිධ අපහසුතාවන්ට ලක්වෙයි. පර්යේෂණ වලින් පෙන්වාදෙන ආකාරයට පූර්ව ප්‍රසව සම්බාහනය (prenatal massage) ගැබිණි කාන්තාවන්ට වඩාත් සැහැල්ලු හා සුවපහසු බවක් අත්විඳින්න උපකාරී වන ක්‍රමයකි.ක්‍රමවත් ලෙස අනුගමනය කිරීම බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ද ඇයට ලබාදෙන බවයි සඳහන් වෙන්නේ. ගැබිණි මවකට ලබාදීමට සුදුසු එවැනි සම්බාහන පියවර කිහිපයක් හඳුනාගනිමු.
- මුළින්ම ඇයව සුවපහසු ඉරියව්වකින් සිටීමට සලස්වන්න

සම්බාහනයේදී ගැබිණි මවක් උඩුබැලි අතට වැතිරී නොසිටිය යුතුයි.මේ ඉරියව්වේදී දරුවාගේ බරට හා ගර්භාෂයට රුධිර නාළ සම්පීඩනයට ලක්විය හැකියි.ඉන් වැදෑමහ වෙත ඇති රුධිර ප්‍රවාහය අඩුවීමට තුඩු දිය හැකියි.වඩාත් ආරක්ෂිතම හා සුවපහසුම සම්බාහන ඉරියව්ව වන්නේ පැත්තකට හැරී වැතිරීමයි.මෙහිදි ඇයගේ හිස ,බඩ හා කකුල් යටින් කොට්ට තබා ආධාරකයක් ලබාදිය යුතුයි. ඇඳ මත හෝ exercise ball එකක් මත අත් තබාගෙන බිම දණගසාගෙන වාඩිවීම තවත් සුදුසු ඉරියව්වකි.
- ආතතිය හා පීඩනය දුරලීමට බෙල්ල හා උරහිස් ප්‍රදේශ සම්බාහනය කරන්න

මාංශ පේශි වල වේදනාව හා තැලුම් ස්වභාවයක් ඇතිවිය හැකියි. මේ සම්බාහන ක්‍රමය හරහා සිදුකෙරෙන්නේ ඒ ආශ්‍රිත ආතතිය හා පීඩාව අඩුකරවීමයි.අත්ලින් රවුමට උරහිස් සම්බාහනය කිරීමෙන් ආරම්භ කරන්න. උරහිස හා බෙල්ල සම්බන්ධ වන ස්ථානයෙන් පටන්ගෙන සෙමින් හිස්කබලේ පාදම දෙසට ඔබේ අත පිරිමදිමින් ගමන්කරවන්න.නැවත ආපස්සට ඇයගේ උරහිස් දෙසට අත් ගමන් කරවන්න.අත් දෙකින්ම එකවර උරහිස දෙපැත්තට මේ සම්බාහනය සිදුකරන්න.අත් ඉහළ පහළ ගමන් කරන විට මාංශ පේශී තද ගතියක් දැනෙන ස්ථාන වලදී මද තෙරපුමක් යොදන්න.
ගර්භනී අවධියේදී, ශරීරයේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රයේ වෙනස්වීමට අනුගත වීම සඳහා උත්සාහ කරන නිසා කාන්තාවකගේ පිට කොන්ද හා බෙල්ල ආශ්‍රිත මාංශ පේශී විශාල ආතතියකට ලක් වේ.
- හිස්කබල සම්බාහනය කිරීම මඟින් හොඳ සැහැල්ලුවක් ලැබෙයි

ඇයගේ හිස වටා (කන් පිටුපසින්) ඔබේ අත් තබාගන්න.ඉන්පසු, ඉතා මෘද්යු ලෙස ඔබේ අත් කවාකාරව චලනය කරවන්න.හිසකෙස් අතරින් බෙල්ල දක්වා පහළට සෙමින් අත් ගමන් කරවන්න.ඔබේ ඇඟිලි තුඬු වලින් මෘදු තෙරපුමක් යොදමින් හිස්කබල සම්බාහනය කරන්න.මින් හිස්කබලට හොඳ සුවයක් සැලසෙයි.
- පිටකොන්ද පිරිමැදීම මඟින් මාංශ පේශී තැල්ම දුරුකරගත හැකියි

ගැබ මෝරන විට මවගේ කොන්දේ වේදනා මතුකරවිය හැකියි. මේ සම්බාහනයෙන් ඉලක්ක කෙරෙන්නේ මවගේ කොඳු ප්‍රදේශයට සුවයක් සැලසීමයි.මව පැත්තකට හැරී වැතිරී සිටින විට , ඇයගේ කොඳු ඇට පෙළ දෙපැත්තෙන් ඔබේ අත් දෙක තබාගන්න.අත්ලෙන් හෝ ඇඟිලි තුඬු වලින් මෘදුව ඇයගේ පිට පිරිමැදීම හෝ ඇතිල්ලීම සිදුකරන්න.මෙසේ කොඳු ප්‍රදේශය සම්බාහනය කිරීම හෝර්මෝන නියාමනයවීම,ඉදිමුම් ඇතිවීමේ අවදානම අඩුවීම, රුධිර ගමනාගමනය වැඩිදියුණු වීම හා නින්දේ ගුණාත්මකබව වැඩිවීම වගේ වෙනත් ප්‍රතිලාභ ද ලබාදෙයි.
- ඉදිමුම හා වේදනාව දුරුකිරීමට ඇයගේ කකුල් හා පතුල් සම්බාහනය කරන්න

ගැබිණි සමයේදි මවකගේ සිරුරේ ඇතිවන ප්‍රධාන වෙනස්කම් අතරින් එකක් වන්නේ රුධිර ධාරිතාවයේ ඇතිවන අඩුවීමයි.එහි ප්‍රතිඵලයක් ලෙස කකුල් වෙත සිදුවන රුධිර සංසරණය ඉතා මන්දගාමී ස්වභාවයක් ගන්නා අතර ගැබිණි කාන්තාවන් තුළ රුධිරය කැටිගැසීයාමේ අවදානම ඉහළ යාමට ද මෙය හේතුවෙයි.අධික පීඩනයක් කකුල් වෙත එල්ල වීම එවැනි ලේ කැටිත්තක් මුදාහැරීමට බලපෑ හැකි අතර ඉන් වෙනත් සංකූලතා මතුවීමට ඇති ඉඩකඩ බොහෝය.
අතෙල් ඇයගේ කකුල් ඉහළට හා පහළට ඇතිල්ලීම හෝ පිරිමැදීම හොඳම සම්බාහන ක්‍රමයකි. අත්ලෙන් ඇයගේ පතුල් ද සම්බාහනය කරන්න.වළලුකර හා විලුඹ ප්‍රදේශ මහපට ඇඟිලි ආධාරයෙන් කවාකාරව මෘදුව සම්බාහනය කරන්න.කකුලේ ඇඟිලි මෘදුව ඉහළට ඇදීම හෝ ඇඟිලි වලින් ඇතිල්ලීම මාංශ පේශි ලිහිල් වීමට සලස්වයි.
- උකුල හා ශ්‍රෝණි ප්‍රදේශයේ අපහසුතා දුරුවීමට සරල ව්‍යායාම කිහිපයක් උත්සහ කරන්න

ගැබිණි මව හිටගෙන හෝ exercise ball එකක් මත ඉදිරියට බර වී වාඩි කරවන්න.ඇයගේ උඩු කය ප්‍රදේශය රඳවාගැනීමට මේසයක් හෝ ඇඳක් වැනි යමක සහය ලබාදෙන්න.ඇයගේ පිටුපසින් වාඩි වී ඇයගේ උකුල් ප්‍රදේශය මත දෑත් තබාගන්න.උකුල ප්‍රදේශය මිරිකීමට උත්සහ කරන ආකාරයෙන් එක්වරම ඇතුල්දෙසට අත් තෙරපන්න.
Shake the tree යනු තවත් එවැනිම ක්‍රමයක්.ඇයගේ පිටුපසින් සිට,ඇයගේ කලවයක් වටා ඔබේ අත් යොමුකරවන්න (එක් අතක් ඇතුල් පැත්තෙන්ම අනෙක් අත පිටතින්ද ඇති සේ).දැන් අත් දෙක එකවරකදී විරුද්ධ දෙසට රෝල් කරවමින් කලවය මෘදුව සෙලවීම හෝ පිරිමැදීම සිදුකරන්න.මෙසේ අනෙක් කකුලට ද ව්‍යායාමය ලබාදෙන්න.මෙම සරල ව්‍යායාම මඟින් අස්ථි බන්ධන ,ශ්‍රෝණි ප්‍රදේශයේ පාදම හා කොඳු ප්‍රදේශය සැහැල්ලු හා ලිහිල් කරවයි.
ඔබ විසින් මතක තබාගත යුතු කළ යුතු හා නොකළ යුතු දේවල් කිහිපයක්

- මවගේ උදරය සම්බාහනය කිරීමෙන් වළකින්න. ඉන් ගර්භාෂ බන්ධනි වෙත අධික පීඩනයක් එල්ලවිය හැකි අතර ඒ බලපෑමින් වෙනත් සංකූලතා මතුවීමට ඉඩ තිබිය හැකියි.
- ගැබිණි සමයේ පළමු ත්‍රෛමාසිකය තුළ සම්බාහනයන් සිදුකිරීමෙන් වළකින ලෙස උපදෙස් දෙයි.මෙය අතිශයින්ම සංවේදී හා තීරණාත්මක කාල සීමාවක් නිසා ගබ්සාවීම් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතියි.ඇතැම් චිකිත්සකවරුන්ගේ මතය වන්නේ සම්බාහනයේදී රුධිර ප්‍රවාගයේ සිදුවන ඉහළ යාම ගැබිණි මවකට හානි බලපෑම් ඇතිකිරීමට ඉඩ තිබිය හැකි අවස්ථා ඇති බවයි.ප්‍රසූතිය ඉක්මන් කෙරෙන නිල ස්ථාන කාන්තා සිරුරේ පිහිටා ඇති බව විශ්වාස කෙරෙන නිසා දැනුමකින් තොරව සම්බාහන සිදුකිරීම නොකළ යුතුය.
- සම්බාහන සත්කාර ලැබීම සුරක්ෂිත දැයි ඔබේ වෛද්‍යවරයා හමුවී නිසි උපදෙස් ලබාගන්න.අධි රුධිර පීඩනය, උණ, උදර වේදනා හෝ වෙනත් සෞඛ්‍ය ගැටලුවකින් පෙළෙන්නේ නම් සම්බාහනයකට පෙර වෛද්‍ය උපදෙස් ලබන්න.
- එසෙන්ෂියල් ඔයිල් (සගන්ධ තෙල්) භාවිතයෙන් වළකින්න.වැඩෙන කලලයට මේවායින් යම් යම් බලපෑම් විය හැකි බව ඇතැම් පර්යේෂණ පෙන්වාදෙනවා.තවදුරටත් ඒ සම්බන්ධ අධ්‍යයනයන් සිදුකළ යුතුව ඇතත් වැඩි ආරක්ෂාව සඳහා ඒවා භාවිතයෙන් වැළකී සිටීම නුවණට හුරුය.සම්බාහනයේදී සමේ අපහසුතා අඩුකරගැනීමට සුවඳ අඩංගු නොවන සම්බාහන තෙල් වර්ගයක් හෝ ලෝෂන් වර්ගයක් භාවිත කරන්න.
- මෙම සම්බාහන සත්කාර සඳහා සහකරු හෝ පවුලේ සාමාජිකයෙකුගෙන් සහය ලබාගත යුතුයි. නැතිනම් පළපුරුදු සම්බාහන උපදේශක සහය ලබාගන්න.
- සම්බාහනයේදී වේදනාවක්, පීඩාවක් හෝ වෙනත් සංකූලතා සිරුරේ මතුකරයි නම් සම්බාහනය වහාම නතර කරන්න.පැය කිහිපයක් තුළ ලක්ෂණ සමනය නොවෙයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
(*මෙය දැනුම පිණිස පමණක් වන අතර නිසි වෛද්‍ය උපදෙස් සඳහා ඔබේ වෛද්‍යවරයාව හමුවීමට සැළකිලිමත්වන්න.)