දූරියන් කියන්නේ බොහෝදෙනා ඉතාම ආසාවෙන් ආහාරයට ගන්නා තවත් අයට එපාම කරන පලතුරක්. බොහෝදෙනාට දූරියන්වල ඇති අධික සුවඳ ගඳක් විදියට දැනෙන නිසා තමයි මේ පලතුර ආහාරයට ගන්නට කැමති නැත්තේ. ඒත් ඉතින් දූරියන් කන අය නම් කියන්නේ ලංකාවේ තියෙන රසවත්ම පලතුර දූරියන් කියලා. කොහොමවුණත් අපේ රටේ නැති වුණත් මේ දූරියන්වල ආවේණික සුවඳ ඇතැම් අයට අප්‍රිය නිසා සමහර රටවල හෝටල්, පොදු ප්‍රවාහන සේවා හා උමං මාර්ග ආදියේ මේ පලතුර රැගෙන යන එක පවා තහනම් කරලා තියෙනවා. නමුත් දුරියන් කියන්නේ අපේ බොහෝ ගැටළුවලට හොඳම පිළියමක් බව බොහෝදෙනෙක් දන්නේ නැතුව ඇති. ඉතින් අද අපි කතා කරමු කන නොකන හැමෝටම දැන ගන්නට දූරියන් අපේ දේහයට කොතරම් වැදගත් මෙහෙයක් ඉටු කරනවා ද කියලා.
දූරියන්වල අපේ ශරීරයේ කටයුතු නිසි පරිදි පවත්වා ගෙනයන්නට අවශ්‍ය කරන පෝෂක බොහොමයක්ම අන්තර්ගත වෙනවා. ඒ අතරක් කාබෝහයිඩ්රේට්, ෆෝලික් ඇසිඩ්, ඛනිජ ලවණ සහ විටමින් බොහොමයක් අඩංගු වෙනවා. කාන්තා පුරුෂ දෙපාර්ශවයට ඉතාම ගුණදායක පලතුරක් ලෙසට හඳුන්වන්නට හැකි දූරියන් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කිහිපයකුත් පවතිනවා. අපි මුලින්ම දූරියන් අනුභවයෙන් අපේ දේහයට සැලසෙන වාසි මොනවාද කියලා බලමු.

- ලිංගික ශක්තිය වර්ධනය කරනවා.දූරියන් කියන්නේ ප්‍රබල ලෙස ලිංගික ශක්තිය වර්ධනය කරන්නට පුළුවන් පලතුරක්. එමගින් ලිංගික බෙලහීනතාවය දුරු කර ගන්නටත් ලිංගික ක්‍රියාකාරකම් වැඩි දියුණු කර ගන්නටත් පුළුවන්. ඒ වගේම ශුක්‍රානුවල ගුණාත්මක බව වැඩි කරන නිසා එයින් මදසරුභාවය ඇති වෙන්නට තියෙන ඉඩකඩ ඉතාම අවම වෙනවා.
- ඊස්ට්‍රජන් හෝර්මෝනය වර්ධනය කරනවා. කාන්තා පාර්ශවයට දරු ඵල අහිමි කරන්නට මද සරුභාවයට මූලික හේතුවක් වෙන්නේ ඊස්ට්‍රජන් හෝර්මෝනය නිපද නොවීම. මේ තත්ත්වය ඇතැම් කාන්තාවන් අතර දකින්නට ලැබෙන තත්ත්වයක්. ස්වභාවිකවම ඊස්ට්‍රජන් හෝර්මෝනය නිපදවීම සඳහා වගේම නිසරුභාවය සම්බන්ධ ගැටළුවලටත් ඉතාම හොඳ පලතුරක් තමයි මේ දූරියන්.
- රක්තහීනතාවය දුරු කරනවා.දූරියන් සතුව ඉතා ඉහළ ෆෝලික් අම්ල ප්‍රතිශතයක් අඩංගු වෙනවා. ඒ හැරුණාම මෙය රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය යකඩ, කොපර් ආදී අත්‍යවශ්‍ය සංඝටකයන් බොහොමයක් අඩංගු වන නිසා දූරියන් ලේ අඩුවීමට ස්වාභාවික කදිම පිළියමක්.
- තරබාරුව අඩුකර නිසිලෙස බර පවත්වා ගන්නවා. දූරියන් ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බර වැඩිවීමකදී වැඩි බර අඩුකර ගන්නටත් නිසි බර පවත්වා ගන්නටත් උපකාරී වෙනවා.ඒ සඳහා දූරියන් සතු ඛනිජ ඇතුළු පෝෂකත් ජල සංයුතියත් බෙහෙවින් උපකාරී වෙනවා.
- අස්ථි නීරෝගීව පවත්වා ගෙන යාමට උපකාරී වෙනවා.අස්ථි ශක්තිමත්ව තබා ගැනීමට සහ අස්ථි ආශ්‍රිතව ඇතිවන ඔස්ටියෝපොරෝසීස් තත්ත්වයෙන් ආරක්ෂා වෙන්නත් දූරියන් අපිට උපකාරී වෙනවා. මේ සඳහා දූරියන්වල අඩංගු වෙන මැග්නීසියම්, පොටෑසියම්, මැන්ගනීස් සහ කොපර් උදව් වෙනවා.

- ආහාර ජීර්ණ පද්ධතියට හිතකර ලෙස ක්‍රියා කරනවා.තන්තු බහුල ආහාරයක් වන දූරියන් ආහාරයට ගැනීම ආහාර ජීර්ණය ඉතා හොඳින් පවත්වා ගන්නටත් මල බුරුල් කිරීමටත් මලපහ හොඳින් පිට කරන්නටත් උදව් වෙනවා. ඒ වගේම ආහාර ජීර්ණයට අවශ්‍ය කරන යුෂ ක්‍රමවත්ව නියාමනයටත්, බඩ පිපීම, බඩවැල් පෙරළීම ආහාර ගමන් ගන්නා බඩවැල් සිරවීම ආදී අපහසුතා පවා පාලනය කරනු ලබනවා. ඒ විතරක් ද බඩවැල්වල ඇතිවිය හැකි පිළිකා ඇතිවීමේ අවදානම බොහෝදුරට අඩු කරන්නටත් දුරියන් බෙහෙවින් වැදගත් වෙනවා.
- ශක්තිය ලබාදෙනවා.දූරියන් සතුව ඇත්තේ හිතකර මේදයයි. ඒ වගේම සුක්‍රෝස්, ෆ්රුක්ටෝස් ආදී සීනි සුළු වශයෙන් අඩංගු වෙනවා .මේ සංයුතිය දවස පුරාම ඔබට ශක්තිය සපයන අතර දවසම ක්‍රියාශීලීව ගත කරන්නට උපකාරි වෙනවා.
- රුධිරයේ කොලෙස්ටරෝල් තැන්පත්වීම අවම කර හෘද සෞඛ්‍ය යහපත් කරනවා.
- රුධිර සංසරණය ක්‍රමවත් කරනවා.එමගින් හෘදයාබාධ සහ ආඝාතය ආදී දරුණු රෝගවලින් අපිව ආරක්ෂා කරනු ලබනවා.
- සමට සහ හිසකෙස්වලට හිතකර වෙනවා. ශරීරයෙ විෂ ද්‍රව්‍ය නිසා සම රැළි වැටීම, ලප කැලැල් ඇතිවීම වගේම වීයපත්වීමත් ප්‍රමාද කරන්නට දූරියන්වලට හැකියාව පවතිනවා. ඒ වගේම පැහැපත් සමක් ලබා ගන්නටත් දූරියන් ඔබට උපකාරී වෙනවා.ඒ වගේම හිසකෙස් හැලිම වගේම දත් ආශ්‍රිත රෝගයන් පවා දුරු කරගන්නට දූරියන් සතු පෝෂක, විටමින් අත්‍යවශ්‍ය වෙනවා.
- පිළිකාවලට එරෙහිව සටන් වදිනවා.
- මානසිත ආතතිය දුරු කරනවා.
- විෂාදයට ගොදුරු වූ රෝගීන්ට,ඉරුවාරදය හිසරදය ආදීයෙන් පීඩා විදින අයටත් කදිම ආහාරයක්.
- රාත්‍රී නින්ද නොයන තත්ත්වයට සහනය ගෙන දෙනවා.
- ඔසප් වේදනාවන් සමනය කරනවා.
- පණු රෝග නසනවා.
- රුධිර කැටි ගැසීම වළක්වනවා.
- රුධිරයේ සීනි මට්ටම සමබරව තබා ගන්නට උපකාරි වෙනවා.
- අඩු බර ඇති දරුවන්ට බර වැඩි කර ගන්නට ඉතා සුදුසුයි.
සැලකිලිමත් විය යුතු කරුණු
- දූරියන් ගසෙන් වැටී දින 2- 4 ත් අතර කාලය තුල ආහාරයට ගැනීමෙන් ඉහළ පෝෂණයක් ලබාගත හැකියි.
- සෙම්ප්‍රතිෂ්‍යාව සෑදි ඇතිවිට දූරියන් ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි.
- ඇදුම රෝගීන්ට අහිතකරයි.
- අධික ලෙස ආහාරයට ගැනීම ඉතා භයානක විය හැකි බැවින් පමණ දැනගෙන ආහාරයට ගන්න.
- ඉතින් දූරියන් කියන්නේ ඊට ආවේණික සුවඳ නිසා අනුභවයෙන් වැළකිය යුතු පලතුරක් නොවන වග ඔබට වැටහෙන්නට ඇති.