පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු කොල්ලු යනු ඈත අතීතයේ සිටම ආහාරයට ගත් ධාන්‍ය විශේෂයකි. රනිල කුලයට අයත් කොල්ලු තම්බා පොල් සමඟ හෝ ව්‍යංජනයක් ලෙස,කැඳ පානයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියක් ලබා ගත හැකිය.
- ප්‍රෝටීන්
- කැල්සියම්
- යකඩ
- පොස්පරස්
- තන්තු
- කැලරි
වැනි පෝෂ්‍ය පදාර්ථ රාශියක් කොල්ලු වල අඩංගු වේ. මේ නිසාම කොල්ලු ආහාරයට ගැනීම බාල මහළු සෑම දෙනාටම ගුණදායකය.
කොල්ලු ව්‍යාංජනයක් ලෙස සකස් කර ගැනීමට බොහෝ දෙනා දන්නා නමුදු කොල්ලු කැඳ පානයක් ලෙස සකස් කර ආහාරයට ගන්නේ ඉතා සුළු පිරිසකි.
කොල්ලු කැඳ සකස් කර ගන්නේ කෙසේද?හොඳින් තම්බා ගන්නා ලද කොල්ලු කෝප්ප භාගයක් ගෙන ගෙන එයට ජලය කෝප්ප හතරක් එක් කර ලිපෙන් තබා රතු කැකුළු බත් ස්වල්පයක්, තලා ගත් කරදමුංගු කරල් හතරක් පමණ එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න.

පසුව කොල්ලු ,බත් යනාදී සියලු දෑ පෙරා එම වතුර ටික වෙනම තබා අනෙකුත් සියල්ල ග්‍රයින්ඩර් කර ගන්න. පසුව නැවත පෙරා පසෙකින් තබා ගත් වතුර එම මිශ්‍රණයට එක් කර ලිපෙන් තබා උකු පොල්කිරි කෝප්ප දෙකක් හා හකුරු ග්‍රෑම් 50ක් පමණ එක් කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව උතුරන විට ලිපෙන් බා රස පදමට ලුණු එක් කර පානය කරන්න. ඉතා රසවත් මෙන්ම ගුනවත් මෙම කොල්ලු කැඳ පානය භාවිතා කිරීමෙන් බොහෝ රෝග සමනය කරගත හැකිය.
වාතය නිසා හටගන්නා රෝග සමනය කිරීමට කොල්ලු ඖෂධයක් ලෙස යොදා ගන්නා අතර කොල්ලු භාවිතයෙන් තවත් රෝග ගණනාවක් සුව කර ගත හැකිය.
කොල්ලු වල ඖෂධීය ගුණ භාවිතය
පාචනය සඳහා උදරගත රෝගයක් වන පාචනය සුව කර ගැනීම සඳහා කොල්ලු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් කොල්ලු වල අඩංගු තන්තු ආහාර ජීර්ණය පහසු කර අමාශයේ පවතින අමතර තරල පොගවා ඉන් ඇතිවන පාචනය සමනය කිරීම සිදුකරයි එනම් මෙමගින් බඩවැල්වල චලනය සාමාන්‍ය තත්වයට පත් කරයි. එනම් ඒ සඳහා කොල්ලු තම්බා එම වතුර පානය කිරීම යෝග්‍ය වේ.
පණු රෝග සඳහා අතීතයේ පටන්ම කොල්ලු පණු රෝග සමනය කිරීමට වයස් භේදයකින් තොරව භාවිතා කර තිබේ. එනම් කොල්ලු තැම්බූ වතුර පානය කිරීම මගින් පණු රෝග සමනය කරගත හැකිය.
අස්ථි හා දත් ශක්තිමත් කිරීම සඳහා අස්ථි සෞඛ්‍යය හා දන්ත සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වා ගන්නට උපකාරී වන ධාන්‍ය විශේෂයක් ලෙස කොල්ලු හදුනා ගත හැකිය. වයස්ගත වීම මෙන්ම වෙනත් පෝෂ්‍ය සංඝටකයන්හි ඇතිවන ඌනතා නිසා අස්ථි හා දත් වල ඇතිවන දුර්වලතාවයන් වළක්වා ගනිමින් අස්ථි හා දත් ශක්තිමත් කර ගැනීමට කොල්ලු ආහාරයට ගැනීම උපකාරී වේ. කොල්ලු වල අන්තර්ගත වන කැල්සියම් පෝෂ්‍ය පදාර්ථය දුර්වල අස්ථි හා දත් ශක්තිමත් කරමින් ආතරයිටීස් ,ඔස්ටියෝපොරෝසිස් හා අපට දත් ආශ්‍රිතව ඇතිවන විවිධ රෝග සමනය කිරීම සිදු කරනු ලබයි.
මලබද්ධය සඳහා කොල්ලු ඇටවල ඇති ප්‍රබල තන්තුමය පෝෂ්‍ය පදාර්ථ මලබද්ධය නිසා ඇතිවන ගැටලුකාරී තත්වයන් සමනය කර ගැනීම සදහා උපකාරී වේ. මේ සදහා කොල්ලු ඇට පොගවා අමු ස්වරූපයෙන් සලාදයක් ලෙස අනුභව කළ යුතුය.
දියවැඩියාව පාලනය කිරීම සඳහා කොල්ලු වල අඩංගු තන්තු මගින් රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සිදුකරනු ලබයි එම නිසා දියවැඩියා රෝගීන්ටද කොල්ලු ආහාරයට ගැනීම ගුණදායකය.

අර්ශස් සදහා කොල්ලු ඇට කෝප්පයක් පමණ ගෙන එක් රැයක් පමණ පෙගෙන්නට දමා එම ජලය පානය කිරීමෙන් කොල්ලු ඇට අමු සලාදයක් ලෙස අනුභව කරන්න.
කෙදි සහිතබව හා එහි ඇති රළුබව අර්ශස් සදහා ප්‍රතිකාර කිරීමේදී වඩාත් උපකාරී වේ.
සෙම්ප්‍රතිශ්‍යාව උණ සඳහා පුරාණ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ දී උණ රෝගයෙන් පෙළෙන පුද්ගලයන් සදහා කොල්ලු ඇට ආහාර සදහා ලබා දී තිබේ. පෙනහළු රෝග ,ඇදුම වැනි රෝග තත්වයන්ගෙන් පෙළෙන අය සදහා ද කොල්ලු ගුණදායක ඖෂධයක් වේ. කොල්ලු ඇට සුප් ලෙස සකසා පානය කිරීමෙන් ශ්ලේෂ්මල පටල දිය වී නාස් කුහරය විවෘත වී හුස්ම ගැනීම ද පහසු කරවයි.
ආර්තවය සඳහා කොල්ලු සුප් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් ආර්තව දෝෂ සමනය කර ගත හැකිය. එනම් ආර්තවය නිසා ඇති වන වේදනාවන් සමනය කිරීමටත් අධික රුධිරය පිට වීමෙන් ඇතිවන රක්තහීනතාවය ඇති වීම වැළැක්වීමටත් කොල්ලු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. මේ සඳහා කොල්ලුවල අඩංගු යකඩ වැඩි දායකත්වයක් සපයනු ලැබේ.මීට අමතරව
- ශරීරයේ බර පාලනය කිරීම සඳහා
- කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා
- කුෂ්ට රෝග සඳහා
- මුත්‍ර රෝග සඳහා
- වණ සුවපත් කිරීම සඳහා
- වකුගඩු ගල් දියකර හැරීම සඳහා
- ලියුකෝරියා සඳහා
- ආහාර ජීර්ණය සඳහා
මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස කොල්ලු ආහාරයට ගැනීම යෝග්‍ය වේ.