ලෙඩ සුව කරගන්න ඔබ පානය කරන ජලයට එකතු කරගත යුතු අමුද්‍රව්‍ය 8 ක්

health tips

ජලය සෑම ජීවියෙකුගේම පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක්. ඉතින් අපේ ශරීරයේ සෑම ක්‍රියාවලියක් සඳහාම ජලය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා සිරුරට ප්‍රමාණවත් පරිදි ජලය ලබාදිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් දවසකට නියමිත වතුර වීදුරු 8 පානය කිරීම අත්‍යවශ්‍ය වුණත් රසයෙන් තොර මේ ජලය පානය අපෙන් නිසි පරිදි සිදු කෙරෙන්නේ නැහැ. ඒ නිසාම සිරුරේ පැවැත්මට අවශ්‍ය කරන ජලය ප්‍රමාණවත් ලෙස සිරුරට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කියන්නට යන්නේ එපා වෙන්නේ නැතුව ජලය පානය කරන්නට පුළුවන් ආකාර කිහිපයක් පිළිබඳව. වෙනස් රස කිහිපයකින් ලෙඩ රෝග කිහිපයකට ගුණදායක විදියට ජලය සකසා ගන්න විදියයි මේ කියන්න සූදානම් වන්නේ.

ලුණු එකතු කළ වතුර හැමදාම බොන වතුර වීදුරුවට ලුණු ටිකක් දාලා පානය කළොත් එය වෙනසකට ඉතා සුදුසුයි වගේම ලෙඩ රෝග කිහිපයකටත් ඉතාම හිතකරයි.නමුත් ලුණු එකතු කළ වතුර ඔබ වඩාත් ආසා කරන රසය නොවෙන්නට පුලුවන්. නමුත් බඩේ අමාරුව,  මල බද්ධය ආදී රෝගවලින් පීඩා විදින කෙනෙක්ට වතුරට ලුණු ටිකක් මිශ්‍ර කරලා පානය කිරීමෙන් සහනයක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපිව ලෙඩ කරන බඩවැල්වල ඇති නොයෙකුත් විෂබීජ  විනාශ කරන්නටත් ලුණු වතුරට හැකියාවක් තියෙනවා. ඒ වගේම යෝගා ආදී ව්‍යායාම්වල නිරත වෙන ගමන් මද රස්නය ඇති උණු වතුරට ලුණු ස්වල්පයක් එකතු කර පානය කළොත් එය ශරීරයට ඉතා සුදුසු බවයි පර්යේෂණවලින් හෙළිවී තියෙන්නේ.

දෙහි එකතු කළ වතුර දිනකට පානය කරන වතුර වීදුරු කිහිපයකට ඉතා ප්‍රණීත රසයක් වගේම ගුණයක් එකතු කර ගන්නට දෙහි බිංදු කිහිපයක් එකතු කරන්නට පුළුවන්. දෙහි සතු ප්‍රතිඔක්සිකාරක ජලයට එකතුවීමෙන් ශරීරයේ ඇති විෂ සහිත දේවල් ඉවත් කරනු ලබනවා.මැග්නීසියම්, කැල්සියම්,පොටෑසියම් ,විටමින් A,B,C D සහ පෝෂණ කොටස් දෙහි වල අන්තර්ගත වෙනවා. ඒවා සමේ තරුණ පෙනුම රැක දෙන්නටත්, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර ගන්නටත්, තරබාරුව අඩු  ගන්නටත් උපකාරී වෙනවා.

කුරුඳු එකතු කළ වතුර කුරුදු තේ මන්ඩි තේකට එකතු කරලා පෙරා පානය කිරීම වගේම කුරුඳු පොතු රාත්‍රියට වතුරේ දමා පසුවදා පානය කරන්නටත් පුළුවන්. මේ ක්‍රම දෙකෙන් කුමන ආකාරයෙන් කුරුඳු ලබා ගත්තත් එය අපේ ශරීරයේ නීරෝගි පැවැත්මට ඉතා වැදගත් වෙනවා. කුරුඳු සතු ප්‍රතිප්‍රදාහක ගුණය වගේම ප්‍රතිඔක්සිකාරක ගුණයත් අපේ ශරීරයේ ඇති අහිතකර කොලෙසටරෝල් මට්ටම් අඩු කරන්නට හේතු වෙනවා.

බෙරි වර්ගවලින් සැකසූ වතුර ස්ට්රෝබෙරි, බ්ලූ බෙරි ආදී ඕනෑම බෙරි වර්ගයක් කුඩා කැබලිවලට කපා වතුරට එකතු කර පසුවදාට පෙරා පානය කරන්න පුළුවන්. බෙරි නිසා මේ  ජලයට පැණි රසක් ලැබෙනවා. බෙරි වර්ගවල තියෙන ඇන්තොසයින් වගේ  ස්වාභාවික සංයෝගවලින් පිළිකා වැළදීමේ අවදානමත් අඩු කර ගන්නට පුළුවන්. බෙරිවල ප්‍රතිඔක්සිකාරකත් අන්තර්ගත වන අතර බෙරි දැමූ ජලය පානය කිරීමෙන් ඔබේ තරුණ පෙනුම රැක ගන්නටත් හැකියාව ලැබෙනවා. ඉතා හොඳ ජවසම්පන්නභාවයකුත් ශරීරයට ලබා ගන්නට එයින් ඔබට පුළුවන්.

කිවි පෙතිවලින් සැකසූ වතුර සාමාන්‍යයෙන් පානය කරන වතුර එකකට වඩා ආකර්ශණීය පැහැයක් වගේම මිහිරි රසකුත් මේ කිවි මගින් ලබා ගන්නට පුළුවන්. කිවි ලංකාවේ ඇති සුපර් මාකට්වලින් ලබා ගන්නට හැකියාව තියෙනවා. මේ කිවි පෙති වශයෙන් කපා වතුරට එකතු කර පෙරා ගැනීමෙන් මේ වෙනස්ම රසයේ වතුර වීදුරුවක් සකසා ගන්නට පුළුවන්. ඇදුම, හුස්ම ගැනීමේ අපහසුතාවය, සුව කරගන්නට වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය නීරෝගීව තබා ගන්නටත් මේ කිවි ජලය ඔබට වැදගත් වේවි.

කොමඩු කොමඩුවල ලයිකොපීන් කියන ප්‍රතිඔක්සිකාරකය අඩංගු වෙනවා.පිළිකා වළක්වා ගන්නට, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සුවපත් කර ගන්නටත් මේ සංයෝගයට අපූරු හැකියාවක් පවතිනවා.විටමින් A, C, පොටෑසියම් මැග්නීසියම්, සිට්රොලීන් ඇතුළු පෝෂක කොටස් රාශියක්ම මේ කොමඩුවල අන්තර්ගත වෙනවා. වතුරවලට කොමඩු එකතු කිරීමෙන් වෙනස්ම රසයක් සමඟ ජලය පානය කරන්නට වගේම සෞඛ්‍යාරක්ෂිත ජීවිතයක් ගත කිරීමටත් හැකියාව ලැබෙනවා.

පිපිඤ්ඤා පෙති දැමූ වතුර පිපිඤ්ඤා පෙති කපා වතුරට දමා ටික වේලාවකින් බීමට ගැනීමෙන් පිපිඤ්ඤා සතු ප්‍රතිඔක්සිකාරක ඇතුළු පෝෂක බොහොමයක් ඉතා පහසුවෙන් අපේ ශරීරයට ලබා ගන්නට පුළුවන්.අක්ෂි රෝග, පිළිකා රෝග, හදවත් රෝග හා දියවැඩියාව ආදී රෝගවලට එරෙහිවීමේ හැකියාව එයින් අපේ ශරීරයට ලබා ගන්නට පුළුවන්. මෙහි අඩංගු විටමින් K, අස්ථි හා පටක වර්ධනය කරන අතර හදිසි ලේ ගැලීමකදී පහසුවෙන් රුධිරය කැටි ගැසෙන්නටත් එය උපකාරී වෙනවා.

ඉතින් අපි බොහෝදෙනා ශක්තිජනක පානයන් මිලදී ගන්නට පුරුදු වෙලා ඉන්නවා. ගෙදරදී සකසා ගන්නට හැකි මේ වගේ ස්වාභාවික ගුණාත්මක පානයන් වෙනුවට වෙළදපොළේ ඉතා පහසුවෙන් මිලට ගත හැකි පානයන් ගැනීම අපේ ශරීර සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇති කරන්නට සමත් වෙනවා. විශේෂයෙන්ම එවැනි පානයන්වල සීනි වගේම කාබෝහයිඩ්රේට් ප්‍රමාණයත් ඉතා ඉහළ අගයක් ගනු ලබනවා. ඒ නිසාම මෙවැනි කෘතීම බීම පානය දියවැඩියාව, පිළිකා ආදී රෝග ඇතිවීමේ අවදානම වැඩි කරනු ලබනවා. ඒ නිසා ලෙඩක් දුකක් නැතුව දීර්ඝායුෂ ලබා ගන්නට නම් අපි පානය කළ යුතු වෙන්නේ මේ ඉහත සඳහන් කළ ආකාරයේ වතුරවලින් ස්වභාවිකව සකස් කරගත් පානයන් පමණයි. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් වෙනස් රසයන්වලින් ශරීරයේ නීරෝගීභාවය උදෙසා මේ රසවත් වතුර පහසුවෙන් සකසා ගන්නට ඔබට පුළුවන්.