පොතු කබර රෝගය කල්තියා හඳුනා ගත හැකි ලක්ෂණ 7 ක්

health tips

වයස් භේදයකින් තොරව, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැමෝම විවිධ ලෙඩ රෝගවලට ගොදුරු  වෙනවා. ඇතැම් ලෙඩරෝග අපිට ජන්මයෙන් උරුම වෙනවා. තවත් ලෙඩ රෝග තමා විසින් කරන ලද කුසලාකුසල මත පදනම් වෙන කර්මය අනුව ඇති වෙනවා. තවත් ඒවා විවිධ බාහිර උපද්‍රව හේතුකරගෙනත් ඇති වෙනවා.

කුමන හේතුවක් මත පදනම්ව ඇතිවන රෝග තත්ත්වයක් වුණත් ඇතිවන වේගයෙන්ම ඒවා ඉක්මනින් සුව කරගන්න අපිට අපහසුයි. ඉතින් ඒ නිසා වේදනාවක් නැති ජීවිතයක් උරුම කරගන්නා එක නම්  හරිම අපහසුයි. නමුත් අපට පුළුවන් යම් යම් ලෙඩ රෝග පිළිබඳව හොඳ දැනුවත්වීමක් ලබා ගෙන යම් රෝගයක් මුල් කාලයේදීම හඳුනාගෙන පමා නොවී ප්‍රතිකාර කරා යොමු වෙන්න. එමගින් අපිට හැකියාව තියෙනවා ඒ රෝග තත්ත්වයන් වඩාත් උත්සන්න නොවී හොඳින් පාලනය කර ගන්නට හෝ සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට.

 ඉතින් අපි සූදානම් වෙන්නේ අපේ සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විඳින චර්ම රෝගයක් ගැන ඔබට කියන්නට. ඒ තමයි පොතු කබර. එහෙමත් නැත්නම් සොරයිසිස් කියන්නේ. මෙවැනි රෝගියෙක් දැක්කම බොහෝ දෙනෙක් බියට පත්වෙනවා. මොකද මේ රෝගය තවත් අයෙක්ට බෝ වන්නට පුළුවන් කියන වැරදි වැටහීමෙන් ඉන්නා නිසා. නමුත් මේ පොතු කබර රෝගය ඒ විදිහට බෝ වෙන්නේ නැහැ. මේ රෝගය  සාමාන්‍යයෙන් ඇති වෙන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය ශරීරයට විරුද්ධව කටයුතු කිරීම හේතුකරගෙන .

මේ සොරයිසිස් කියන්නේ දීර්ඝකාලයක් පවතින නිදන්ගත චර්ම රෝගයක්.සාමාන්‍යයෙන් අපේ  සම අලුත්වැඩියා වෙන්නේ දින 18 කට පමණ කාලයකට පසුව. නමුත් මේ පොතු කබර රෝගයේදී සම දිනපතා අලුත්වීම සිදුවෙනවා. දේහයේ ඇතිවන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ අසාමාන්‍යතා  නිසා සමේ  සෛල  වේගයෙන් වර්ධනය වීමක් සිදු වෙනවා. එහිදී ඇතිවන අසාත්මිකතා අනුව අලුත් සම ඇතිවෙද්දි පරණ සම මැරී ඉවත්ව යනවා.  පොතු  රෝගයේ දී පොතු වශයෙන් මේ මැරුණු  සෛල ගැලවී යනවා. 

මේ තත්ත්වය හිස් කබලේ, අත්වල, පාවල, බෙල්ලේ, මුහුණේ යෝනිය අවට ප්‍රදේශවල, කන්පෙති,   තුනටිය අවට ආදි ප්‍රදේශවලත් දකින්නට පුළුවන්. මේ තත්ත්වයේ දී අභ්‍යන්තර ඉන්ද්‍රියන්ටත් හානි සිදු වෙනවා. මේ රෝගය කුඩා දරුවන්ටත් මහලු වයසේ පුද්ගලයන්ටත් වැළදීමේ ඉඩකඩ පවතිනවා. නමුත් මේ පොතු කබර රෝගය වැඩි වශයෙන් අවුරුදු 20- 50 ත් අතර පුද්ගලයන් අතරේ දැක ගන්නට පුළුවන්.

මේ පොතු කබර රෝගය ඇති වෙන්න බලපාන හේතු නිශ්චිතවම නැතත්  බොහෝ දෙනෙක් පිළිගන්නා කාරණාව තමයි ජානමය බලපෑම් හේතු කරගෙන මේ රෝග තත්ත්වය වැළඳෙනවා  කියන කාරණාව. ඒ  හැරුණාම තවත් හේතු මේ රෝගයට මුල් වෙන්නට පුළුවන්. 

පොතු කබර රෝගය ඇති වෙන්නට බලපෑ හැකි හේතු

  • ජානමය සාධක 
  • රසායනික ද්‍රව්‍ය වැටීම හෝ  සීරීම් ආසාදන නිසා ඇතිවන තුවාලය 
  • අක්මාවේ තෙල් අධික වීම 
  • අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය හා දුම්පානය 
  • මානසික ආතතිය 
  • නිතර කලබලකාරී හැසිරීම, කෝපය, ඉරිසියාව ආදියෙන් නිතර මනස පාලනය කරගත නොහැකි වීම 
  • ජලය ප්‍රමාණවත් පරිදි පානය නොකිරීම 
  • දේහ උෂ්ණත්වය අධික වීම 
  • බඳ පටි, අත් ඔරලෝසු  හා තිසර පටි තදින් බැඳීම
  • පච්ච කෙටීම, එන්නත් විදීම 
  • ව්‍යායාම් නොකිරීම 
  • වියළි සමක් පැවතීම 
  • ඇතැම් බැක්ටීරියා ආසාදන හෝ වෛරස් ආසාදන (එච් අයි වී)
  • ඇතැම් ඖෂධ වර්ග

Lithium, Sysyemic Corticosteroids  ආදි ඖෂධ කාලයක් භාවිතා කර නතර කිරීම, මැලේරියාව සඳහා ලබා දෙන ඇතැම් ඖෂධ වර්ග වගේම රුධිර පීඩනය සඳහා ලබාදෙන ඖෂධත්  මේ සඳහා හේතු වෙන්න පුළුවන්.

හෝමෝනවල වෙනස්කම් මෙහි සඳහන් කළ අනපේක්ෂිත ආරම්භක උත්තේජනයන් හේතුකරගෙන ශරීරයෙන් නිෂ්පාදනය වන ප්‍රතිශක්තිකරණයට අදාල. ප්‍රෝටීන වර්ග මගින් ශරීරයට ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. ඉහත සඳහන් කරපු දේවල් ශරීරයට සතුරු දෙයක් විදිහට හඳුනාගත්තොත් ඒවාට විරුද්ධව ක්‍රියා කරන්නටත් පටන් ගන්නවා. එවිට මූලික වශයෙන් පහරදීමට ලක් වෙන්නේ සම. මේ නිසා මේ  රෝග ලක්ෂණ ඇති වෙනවා.

සොරයිසීස් රෝගයේ  රෝග ලක්ෂණ

සමේ කැළලැල් ඇති වීම මුලින්ම රෝග ලක්ෂණ මතු වෙන්නේ තොල්වල හෝ ලිංග ආශ්‍රිතව ඇත්දළ පාට වර්ණයට හුරු සුදු ලපයක් ලෙසයි .මෙසේ ඇතිවන කැළැල් පැහැදිලි සීමාවන් සහිතයි. මෙලනින් අඩු පුද්ගලයෙකුට  කැපීමක් තුවාලයක් පිළිස්සීමක් ඇති වුණොත් හෝ දියවැඩියාව ආතතිය ආදියෙන් පෙළෙන අයෙකුට නම්  ඉතා ඉක්මනින් රෝග තත්ත්වය වැළඳෙන්නට පුළුවන්. ඒ නිසා මේ  මූලික ලක්ෂණය ඇති වන අවස්ථාවේදීම ප්‍රතිකාර කරා යොමු වීම තමයි ඉතාම සුදුසු. 

  • කබොලක් වැනි පහසුවෙන් ගැලවී යන කොටසක් උඩට මතු වී තිබෙන තිබීම.ඒවායේ හැඩය වෘතාකාර හෝ වලයාකාර හැඩයකින් යුක්ත වීමක් දැක ගන්න පුළුවන්.
  • කැලල මතුපිට රතු හෝ රෝස පැහැයක් ගැනීම මේ කැලැල් බහුලවම දණහිසත්  ඊට පහලින් කකුලේ ඉදිරිපසත්, වැලමිටේ සහ වැලමිටට පහලින් අතේ පිටුපසත් , අතැඟිලිවලත්  ,හිස්කබලේ  සහ කන් පෙත්තේත් ඇති වෙන්නට පුළුවන්. 
  • අත්ලේ සහ යටි පත්ල ගොරෝසු වීම එහි අතුරු විපාකයක් විදිහට යටි පතුල් පැලීම් ඇති  සිදුවෙන්නට පුළුවන්
  • නියපොතු කඩතොළු වී කැඩීයාම සහ  නියපොතු විරූපී වීම මේ තත්ත්වය බොහෝ විට රෝගය කාලයක් පවතින විට සිදුවෙන්නට පුළුවන්. ඒ වගේම නියපොතු කහ පාට වීම සහ රෝස පාට මිශ්‍ර වූ දුර්වර්ණ ස්වභාවයක් ගැනීම, නියපොතු යටින් සුදු ලප මතුවීම සහ නියපොතු වටා ඇති සම රතු පැහැයක් ගැනීම සිදුවෙන්නට පුළුවන්. මේවායේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ නියපොත්ත ගැලවී යාමට ලක් වීම. 
  • අධික දාහය සහ ශරීරයෙන් අධික රස්නයක් පිටවීම
  • සමෙන් ඉස්ම ගැලීම
  • සමේ පොතු ගැලවීම
  • අධික ලෙස කැසීම
  • සම ඝනවීම
  • ඝන වූ සම කළු පැහැ වී හැලීම 
  • හිස ආශ්‍රිත පොතු කබර තත්ත්වයකදී නිතර හිස කසන අතර හිසේ හිස්සොරි මෙන් පොතු ගැලවී යාමට පටන් ගන්නවා. ඒ නිසා එවැනි රෝගීන් එක් දිනක් හෝ ස්නානය නොකොට සිටියොත් ඒ තත්වය තවදුරටත් වැඩි වෙන්නට පුළුවන්. 
  • ඇතැම් අවස්ථාවල අස්ථිවලට බලපෑම් සිදුවීම නිසා හන්දිපත්වල කැක්කුම් ඇතිවීම.මේ රෝග ලක්ෂණ කාලයත් සමඟ කාලගුණය, ආහාර පාන සහ මානසික ආතතිය කියන සාධකවල බලපෑම් අනුව රෝගය අඩු වැඩිවීම් සිදු වෙනවා. ඒ නිසා රෝග ලක්ෂණ යටපත් වීම වගේම මතුවවීමත් නැවත නැවත සිදු වෙන්නට පුළුවන්. 

මේ පොතු කබර රෝගය සමට විතරක් නෙමෙයි. අපේ ශරීරයේ වෙනත් ඉන්ද්‍රියන්ටත් බලපෑම් කරනවා. විශේෂයෙන්ම වකුගඩු රෝග ඇති වෙන්නටත්, ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වයටත්  යම් බලපෑමක්  මේ නිසා සිදුවෙනවා.

වැළඳුණොත් සුවකර සුවකරගන්නට දීර්ඝ කාලයක් ගතවෙන මේ රෝගය සැබැවින්ම පීඩාකාරී රෝගයක්. සාමාන්‍යයෙන් මේ රෝගය සුව වෙන්න මාස හයක පමණ කාලයක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙන්නට පුළුවන්. ඇතැම්විට සුව නොවෙන්නත් පුළුවන්. එය රෝගියා මත තීරණය වෙන දෙයක්. 

ඒ සඳහා  වෛද්‍යවරයා ලබාදෙන ප්‍රතිකාර සහ උපදෙස් නිසි පරිදි සිදුකිරීම සහ ඔබගේ කැපවීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම දවසකට ජලය බෝතල් අටක් පමණ පානය කරන්නට ඕන. උෂ්ණ මස් මාංශවලින් තොර වෙන තරමට හොඳයි. ඒ වගේම ප්‍රමාණවත් පරිදි නින්ද ලබා ගැනීම අනිවාර්යයි. ඒ වගේම පොතු කබර තත්ත්වය වැඩි කරන්නට හේතු වන ආහාරපානවලින් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්වීමත් රෝගය ඉතා ඉක්මනින් සුවපත් කරගන්නට අතිශයින්ම වැදගත්.