මුත්‍රා ආසාදනයක් හැදීගෙන එනවිට කල්තියා දැනගත හැකි ක්‍රම 10 ක්

health tips

ලොකු කුඩා හැමෝටම වැළදෙන්නට  හැකියාව  තියෙන  මුත්‍රා ආසාදන ඔබේ ජීවිත කාලය තුළත්  එක් වරක් හෝ වැළදිලා ඇතිවාට  සැකයක් නැහැ.නමුත්  තමන්ට එවැනි  තත්ත්වයක් වැළදුණු  වගක් බොහෝවිට ඒ පුද්ගලයා  දන්නෙත් නැහැ. එහි සුලභතාවය නිසා තමන් මුත්‍ර ආසාදනයක් ඇති රෝගියෙක් වුණත් ඒ බව ඒ පුද්ගලයා දන්නේ නැහැ.නමුත් අපේ ශරීරයේ ප්‍රධාන බහිශ්‍රාවීය ද්‍රව්‍ය පිට කරන පද්ධතිය වන මුත්‍ර පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ආසාදනයන් මොනවාද යන්න සෑමදෙනා තුළ හොඳ අවබෝධයක් තිබිය යුතු වෙනවා. එනිසා  මෙවැනි  තත්ත්වයක් කල්තියා හඳුනා ගැනීම බරපතල ගැටළු ඇති නොවෙන්නට උදව්වක්  වෙනවා. අපි  අද කතා  කරමු  මුත්‍රා ආසාදන  ගැන.

මුත්‍රා ආසාදනයක් කියන්නේ මෞත්‍ර ලිංගික පද්ධතියට එහෙම නැත්නම් වකුගඩු , මුත්‍ර වාහිනී , මුත්‍රාශයට  බැක්ටීරියා , දිලීර හෝ කලාතුරකින් වෛරස් ඇතුළු වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. මුත්‍රා ආසාදන ඇති කරන්නට මූලික වෙන්නේ (E Coll ) ඊ කෝල් කියන බැක්ටීරීයාව. මේ බැක්ටීරියාව  හැරුණාම වෙනත් බැක්ටීරියාවන් ද මේ මුත්‍රා ආසාදන ඇති කරන්නට හේතු වෙන්නට පුළුවන්. මේ බැක්ටීරියාවන්ට හැකියාව පවතිනවා එහි ඕනෑම ස්ථානයක් ආසාදනයට ලක් කරන්නට. යම් විටෙක ඒ බැක්ටීරියාවන් නිසා මුත්‍රාශය ආසාදනයට ලක් වුණොත් ඒ තත්ත්වය හඳුන්වනු ලබන්නේ සිස්ටයිටිස් (Cystitis ) යන නමින්. ඒ හැරුණාම ඊට ඉහළට මේ ආසාදන ගමන් කළොත් වකුගඩු පවා ආසාදනයට ලක් වෙන්නට ඉඩකඩ පවතිනවා. එවැනි අවස්ථාවක් තරමක් බැරූරුම් වන්නට පුළුවන්.එවැනි තත්ත්වයක් හඳුන්වනු ලබන්නේ පයොලොනෙප්ට්රයිටිස් (Pyelonephritis ) යන නමින්.මේ මුත්‍රා ආසාදන  වැඩි වශයෙන් වැළදෙන්නේ පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයට. ඒ හැරුණාම 

  • මුත්‍රාශයේ හෝ  වකුගඩු ගල් සහිත රෝගීන් 
  • මුත්‍රාශයේ යම් වෙනස්කම් ඇති පුද්ගලයන් 
  • ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකරන පුද්ගලයන් 
  • මල බද්ධයෙන් පීඩා විදින පුද්ගලයන් 
  • මුත්‍රාශය නිසිපරිදි හිස් නොකරන සහ එසේ මුත්‍රා නිසි ලෙස පිටකිරීමට අපහසුතා ඇති රෝගීන් 
  • අපිරිසිදුව ජීවත්වන පුද්ගලයන් 
  • මුත්‍රා බට දැමූ රෝගීන් 
  • ගර්භනී කාන්තාවන් 
  • දියවැඩියා රෝගීන් 
  • ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් 

මේ තත්ත්වයට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

මුත්‍රා ආසාදනයක රෝග ලක්ෂණ ආසාදනයට  ලක්වුණු ස්ථානය අනුව වෙනස් වෙනවා.

මුත්‍ර  මාර්ගය සහ මුත්‍රාශය ආසාදනයට ලක්වූ විට 

  • මුත්‍රා කරනවාර ගණන වැඩිවීම 
  • මුත්‍රා බර දරා සිටීමට නොහැකි වීම 
  • මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම 
  • මුත්‍රා දුර්වර්ණ වීම
  • රාත්‍රියේදී නින්දෙන් ඇහැරී මුත්‍ර  පිට කරන්නට දැනෙන අවශ්‍යතාවය  
  • මුත්‍රා  දැවිල්ල 
  • මුත්‍රා  තද දුර්ගන්ධයකින්  යුක්ත වීම 
  • මුත්‍රා සමඟ ලේ පිටවීම 
  • යටි බඩ හෝ ගුදය ආශ්‍රිත වේදනාව 

වකුගඩුවට ආසන්නව ඇති ආසාදන  තත්වයකින් වකුගඩුවලට විෂබීජ පැතිරෙන්නට හැකියාව  පවතිනවා. එවිට පහත ලක්ෂණ දැකගන්නට  ලැබේවි.

  • කොන්ද දෙපැත්තේ වේදනාව 
  • ඔක්කාරය සහ වමනය 
  • වෙව්ලීම සමඟ ඇතිවන තද උණ 

කුඩා දරුවෙකුට මුත්‍ර ආසාදනයක් ඇතිවිට මතුවන ලක්ෂන 

  • මුත්‍රා පිටකිරීමෙන් පසුව හැඩීම 
  • උණ 
  • කෑම අරුචිය
  • වයසින් වැඩි අයෙකුට නොදැනී මුත්‍ර පිටවීම් සිහි මද ස්වභාවයක් කල්පනා ශක්තිය අඩුවීමක් හා චර්යාවේ වෙනස්කම්  ආදිය ඇති වෙන්නට පුළුවන්.

මුත්‍ර  ආසාදන වළක්වා ගන්නේ කොහොමද 

  • දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම 
  • නිතර මුත්‍ර  පිට කිරීම 
  • වෙනත් පුද්ගලයන්ගේ යට ඇදුම් භාවිතයෙන් වැළකීම 
  • ලිංගික සංසර්ගයකින් පසුව මුත්‍ර පිටකිරීම
  • බාහිරව ශරීරය පිරිසිදුව තබා ගැනීම 
  • මුත්‍රා  පිට කරන ස්ථානය  ආශ්‍රිතව විවිධ සුවඳ විලවුන් ආදිය ගැල්වීමෙන් වැළකීම 

හදිසියෙන් මුත්‍ර ආසාදනයන් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් වුණත් එවැනි මුත්‍රා ආසාදන නිතර ඇති වන්නේ නම් එය අසාමාන්‍ය තත්ත්වයක් බව මතක තබා ගන්න. ඒ වගේම ඉතා දරුණු ආසාදන නිසා වකුගඩු අකර්මණ්‍ය  වීම , ලේ වලට විෂබීජ පැතිරීම නිසා මරණය  පවා සිද්ධ  වෙන්න පුළුවන්. යම් අවස්ථාවක ගර්භනී කාන්තාවකට මුත්‍රා ආසාදනයක් නිසා මෙවැනි සංකූලතාවයක් ඇතිවුණොත් දරුවා බිහිවිය යුතු කාලයට පෙර දරුවා ප්‍රසූත වීමේ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්.

එනිසා සැමවිටකම මුත්‍රා ආසාදනයන් සුළුවට ගන්නට බැහැ. හැකිතාක් එයින් වැළකී සිටීම වගේම එවැනි ආසාදනයක් ඇත්නම් වහාම වෛද්‍ය  ප්‍රතිකාර කරා යොමුවීමත් අතිශයින්ම  වැදගත් බව සිහියේ තබා ගන්න.

 නිවසේදී මෙවැනි  මුත්‍රා ආසාදනයකදී  ඔබ කළ යුත්තේ විවේක ගැනීම සහ  වැඩිපුර දියර  වර්ග පානයට  ගැනීම . එයින් සිරුරේ  බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම අවශ්‍ය නම් පැරසිටමෝල් ඔබට ලබාගන්නත් පුළුවන්.