අප එදිනෙදා සිරුරේ මනා පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ගනු ලබන ආහාර පාන විශ්මිත ගුණ සහිත ය. එය ශරීරයේ බොහෝ ලෙඩ රෝග සුවපත් භාවය පිණිස හේතුපාදක වේ.
එවැනි විශ්මිත ගුණ සහිත එළවළුවක් ලෙස රාබු හඳුනාගත හැකිය. මෙය විවිධාකාරයට අපගේ බත්පතට එක් කර ගැනීමට හැකියාව පවතී. ඒ කෙසේද යත්,
රාබු ව්‍යංජනය

රාබු මැල්ලුම්
රාබු සලාදය

රාබු බැදුම
රාබු අච්චාරු
ආදී වශයෙන් රාබු අපගේ බත්පත රසවත් කරයි.
කෙසේ නමුත් බොහෝ දෙනෙක් රාබු ආහාරයට එක්කර ගැනීමට එතරම් කැමැත්තක් නොදක්වයි. එයට ප්‍රධාන හේතුව එම එළවළුවෙන් වහනය වන ගන්ධයයි. එම ගන්ධයට හේතුව වන්නේ රාබුවල ගෙන්දගම් හා පොස්පරස් බහුලව අන්තර්ගත වීම නිසාවෙනි. නමුත් ඊට එහා ගිය ගුණ රාශියක් රාබු වල අන්තර්ගත වේ.

රාබූ ප්‍රධාන ප්‍රභේද දෙකක් පවතී. එනම්,
බෝල රාබු
බීරලු රාබු
ආදී වශයෙනි. රාබුවල කොළ මෙන්ම අල ද ආහාර පිණිස භාවිත කරයි. රාබු අලය ඇත් දළ පැහැයෙන් යුක්ත වේ. එබැවින් රාබූවලට “හස්ති දන්තක” ලෙස අවශේෂ නමක් ද පවතී. තවද කුසගිනි වැඩවීමේ විශ්මිත ගුණයෙන් යුක්ත වන නිසාම “රුචිරන්” යන නම ද රාබූ හඳුනාගැනීම සඳහා යොදා ගනී.
රාබු බීජ ඕනෑම පරිසර තත්ත්වයක් තුළ ඉතා පහසුවෙන් වගා කරගත හැකි එළවළුවකි. එමෙන්ම පහසුවෙන් ළඟා විය හැකි මිල ගණන් යටතේ ද රාබු මිලදී ගත හැකිය.
ශරීරයට හිතකර අත්‍යවශ්‍ය පෝෂපදාර්ථ රාශියක් රාබු වල අන්තර්ගතව පවතී. ඒවා මොනවාදැයි පහත පරිදි පෙන්වා දිය හැකිය.
යකඩ, කැල්සියම්, පොස්පරස්, රයිබොප්ලෙවින්, විටමින් බී 6, කාබෝහයිඩ්‍රේට්, කැලරි, කැරටීන්, කොපර්, මැග්නීසියම්, ඇස්කෝබික් අම්ලය, මාංශ ජනක ධාතු, ෆෝලික් අම්ලය
යනාදී වශයෙන් සිරුරට හිතකර පෝෂ පදාර්ථ අඩු වැඩි වශයෙන් රාබු වල අන්තර්ගතව පවතී.
සිරුරේ ඇතිවන ලෙඩ රෝග වලට ස්වාභාවික ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස රාබු භාවිතා කළ හැකිය. විශේෂයෙන් මුත්‍රා දෝෂ, සමේ රෝග, ආහාර අරුචිය නැති කිරීම, අණ්ඩවාතය, කන් කැක්කුම, මැලේරියාව, වා පිත් සෙම් නැසීම, අම්ල පිත්ත රෝගය, ක්ෂය රෝගය, දියවැඩියාව, අර්ශස්, පෙනහලු රෝග, වකුගඩු රෝග, අක්ෂි ආබාධ, අධි රුධිර පීඩනය, හෘද රෝග, පිළිකා තත්ත්වයන්, සෙංගමාලය, අපිරිසිදු රුධිරය පිරිසිදු කිරීම ආදී බොහෝ ලෙඩරෝගවලට සහනයක් ලබා ගැනීම සඳහා රාබු ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ.
රාබු අල වල යුෂ වෙන්කර විවිධ ඖෂධ ද නිෂ්පාදනය කරයි. ක්ෂාර තෙල්, මුලකාදී තෙල, කණකක්ෂීර තෙල් ආදිය ඉන් කීපයකි. තවද රාබු අල පෙති කපා අව්වේ වියළා කල් තබා ගෙන ආහාරයට ගැනීමට ද හැකියාව පවතී.
රාබු භාවිතයෙන් ලබා ගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳ පහත පරිදි පැහැදිලි කළ හැකිය.
දියවැඩියාව පාලනය කරයි.
රුධිරයේ මිශ්‍රව පවතින වැඩි සීනි ඉවත් කිරීම සඳහා සුදුසු ආහාරයක් ලෙස රාබු පෙන්වාදිය හැකිය. විශේෂයෙන් මේ සඳහා රාබු අල වඩාත් සුදුසු වන අතර සිහින්ව ලියා අමු මිරිස් රතුළූණු ආදිය එක්කර සලාදයක් ආකාරයට සකසා ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ.
අර්ශස් සඳහා ගුණදායක වේ.
ලොකු කුඩා සෑම කෙනෙක්ම අපහසුතාවයට පත්කරන රෝගී තත්ත්වයක් ලෙස අර්ශස් රෝගය පෙන්වාදිය හැකිය. ඒ සඳහා රාබු අල හා කොළ සිහින් වන සේ ලියා ලුණුද මිශ්‍රකර තම්බා මද උණුසුමක් සහිතව එම තැම්බූ ජලයෙන් අර්ශස් ගෙඩි සේදීමෙන් ගුණයක් ලබාගත හැකිය.
අණ්ඩවාතයට ගුණ ගෙන දේ.
මේ සඳහා රාබු අල වඩාත් යෝග්‍ය වන අතර සිහින්ව පෙති කපා අමු කහ කැබැල්ලක් සහ ලුණු කැට ස්වල්පයක් මිශ්‍රකර හොඳින් කොටා ගත යුතුය. අනතුරුව ඊට කොහොඹ තෙල් ස්වල්පයක් මිශ්‍ර කර මලවා අණ්ඩවාත පවතින ස්ථානයේ රෙදි පටියකින් වේලීම වඩාත් යෝග්‍ය වේ.
කල්ගත වූ කැස්සට ගුණ ගෙන දේ.
මෙම ඖෂධය සැකසීම සඳහා රාබු අල යුෂ, තිප්පිලි කුඩු, සහිද ලුණු හා මී පැණි දමා රත් කොට මේස හැඳි 2 බැගින් උදේ හා හවස පානය කිරීම කල් ගතවූ කැස්ස සුවපත් වීම සඳහා වඩාත් යෝග්‍ය වේ.
අක්මා රෝග සුවපත් කරයි.
අක්මාව ආශ්‍රිතව බොහෝ රෝගී තත්ත්වයන් ඇති වන්නේ විවිධ විෂ වර්ග අක්මාවේ තැන්පත් වීම නිසාවෙනි. මෙවැනි තත්ත්වයන් යටතේ අක්මාවේ විශ ඉවත් වීම සඳහා සුදුසු ආහාරයක් ලෙස රාබු ව්‍යංජනය භාවිතා කළ හැකිය.
මුත්‍රා රෝග සුව කරයි.
මුත්‍රා ගල්, මුත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල ආදී වශයෙන් ඇතිවන මුත්‍රා රෝග සඳහා භාවිතා කළ හැකි ඖෂධයක් වන්නේ රාබු වේ. මේ සඳහා රාබු තම්බා එම ජලය පානය කිරීම හෝ රාබු අල කොටා යුෂ වෙන්කර එම යුෂ වලට වතුර මිශ්‍රකර තනුක කර පානය කිරීම මගින් ද මුත්‍රා රෝගවලට සුවයක් සලසා ගත හැකිය.
සුදු කබර රෝගයට ගුණ ගෙන දේ.
මේ සඳහා රාබු අල පෙති කපා හොඳින් වියළා කුඩු කර ගත යුතුය. එම කුඩු විනාකිරි ස්වල්පයක මිශ්‍රකර වියලෙන්නට හැර පසුව ඉඟුරු යුෂ වලින් හෝ ගව මුත්‍රාවලින් අනා සුදු කබර පවතින ස්ථානවල ආලේප කිරීමෙන් සුවයක් සලසා ගත හැකිය.
මලබද්ධය සුව කරයි.
මල බද්ධය යනු දැඩි පීඩාකාරී රෝගී තත්ත්වයකි. මෙම රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින් රාබු ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වන අතර එහි පවතින ආහාරමය තන්තු කොටස් මලබද්ධය සුව කිරීමට දායක වේ.
ඉහත දක්වා ඇති කරුණු පිළිබඳ විමසා බැලීමේදී පැහැදිලි වන්නේ රාබු යනු ශරීරයට ඉතා ගුණ දෙන ආහාරයක් බවයි. එබැවින් එය අපගේ දෛනික ආහාර වේල් සඳහා එක්කර ගැනීම වඩාත් යෝග්‍ය වේ.